ගුරු තරුව මැකී ගියා හිත් අහස පාළුයි | දිනමිණ

ගුරු තරුව මැකී ගියා හිත් අහස පාළුයි

නිහතමානී බව, මුවෙන් නැගෙන සිනහව, තවත් පරපුරකට දැනුම ‍ලබා දෙන්නට තිබූ ඕනෑකම නිසාවෙන් සිසුන්ට පමණක් නොව බොහෝ දෙනකු ඇලුම් කළ ‍නදීරා චන්ද්‍රමානි ලියනගේ මහත්මිය සැබැවින්ම නර්තනය ජිවිතයේ ආත්මය කර ගත් උපදේශිකාවක බව කිවහොත් නිවැරදිය. තාරුණ්‍යයේ මහගෙදර හඬවා ඇය ජීවන ගමනින් සමුගත්ත ද ඇගේ ජිවන ගමනේ කළ කී දෑ මෙන්ම නර්තන ක්ෂේත්‍රයේ හැකියාවන් ද ‍තවත් බොහෝ කලකට ජාතික තරුණ සේවා සභාවේ මතක සටහන් තුළ ගිළිහී‍ නොයනු ඇත.

පාදුක්ක, වේරගල සුන්දර ගම්මානයේ ජිවිකාව ගෙවූ නදීරා පාදුක්ක පියරතන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූවාය. ඉන් අනතුරුව ගෝතමී බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ,බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට ඇතුළත් වූයේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ ද ස්වර්ණමය යුගයේදීය. චන්ද්‍රසේන, සෝමසිරි, ප්‍රින්ස්, සේනක ඔබේසිංහ ඇතුළු ජාතික තරුණ සේවා සභාවෙන් බිහිවූ විශිෂ්ට කලාකරුවන් අතර නර්තන ක්ෂේත්‍රයෙන් ඩිප්ලෝමාලාභිනියක ලෙස ශිල්ප අවසන් කරන ඇය තෝරා ගත්තේ තවත් පරපුරකට තම දැනුම ලබා දෙන්නට ජාතික තරුණ සේවා සභාවයි. නර්තන ක්ෂේත්‍රය ප්‍රගුණ කරන්නට ඇය දැක්වූ සුවිශේෂී කැපවීම එවකට බෙල්වුඩ්හි අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනා වර්තමානයේ ද සිහිපත් කරති. තමනට සෙවණ වූ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට ඇය දැක්වූයේ ‍හදවතින්ම නැගෙන ආදරයකි.

නදීරා චන්ද්‍රමානි මහත්මියගේ ස්වාමි පුරුෂයා මේ රටේ කලක් රසික සිත ඇද බැඳ ගත් සෙනෙත් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදන ශිල්පි සනත් ගමගේ මහතා ය. ඇගේ දියණිය කොළඹ අනුලා දේවි විද්‍යාලයේ ඉගෙනුම ලබයි. නදීරා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ නැටුම් කණ්ඩායම සමඟ විදේශ රටවල් ගණනාවකම සංචාරය කළාය. දේශීය මෙන්ම විදේශීය රටවල් බොහොමයක ප්‍රසංග ඉදිරිපත් කිරීමට සිය නිර්මාණශීලි දායකත්වය ලබා දුන්නාය. එහිදී තමාටත් වඩා ආයතනයේ ගෞරවය ආරක්ෂා කරන්නට දැක්වූ කැපවීම ඉමහත්ය.

මේ රටේ ජාතික උත්සව රැසක දී ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීමේදී ද නර්තන නිර්මාණ රැසක හිමිකාරත්වය ද ඇය සතුය. ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම ඉහළටම ඔසවා තැබීම නිබඳවම ඇගේ අරමුණ විය. මේ නිසාවෙන් ජාතික තරුණ සේවා සභාවේ පාලන අධිකාරි‍යේ ද විශ්වාසය දිනා ගැනීමට සෑම අවස්ථාවකම ඇය සමත් වුවාය. එසේම ඇගෙන් ශිල්ප හැදෑරූ යෞවන, යෞවනියෝද එම චරිතයට බොහෝ ආදරය ‍කළෝය. තමන්ගේ දරුවන් ලෙස සලකා ඔවුන්ගේ ජීවන ගමනට අවශ්‍ය අවවාද හා යායුතු මඟ පෙන්වා දුන්නාය.

ඇගෙන් ශිල්ප හැදැරූ දරු, දැරියන්ගේ හා ජාතික තරුණ සේවා සභාවේ සහෝදර කාර්ය මණ්ඩලයේද නෙතින් නැගෙන කඳුළු ගලා යද්දී වේරගල ගම්මානයේ හැම කෙනකුගේ හදවතින්ම නැඟෙන සෝ සුසුම් මැද නදීරා චන්දිමානි ලියනගේ මහත්මියගේ අවසන් කටයුතු පාදුක්ක පොදු සුසාන භුමියේදී සිදු කෙරිණි. ඇය වැනි චරිත ඇවැසි යුගයක ඇගේ නික්ම යාම ජාතික තරුණ සේවා සභාවට පමණක් නොව නර්තන ක්ෂේත්‍රයට දැනෙන පාඩුවක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඇයට නිවන් සුව පතමු.

ටී.කේ.මහින්ද
වැලිගම සමූහ


නව අදහස දක්වන්න

Or log in with...