ටික ටික වැටෙන කඩවත වෙළෙඳ පොළ | දිනමිණ

ටික ටික වැටෙන කඩවත වෙළෙඳ පොළ

ජනාකීර්ණ නගරයක්වන කඩවත නගරයේ ඉදිකර ඇති පොදු වෙළෙඳ සංකීර්ණයේ සහ සති පොළේ ගොඩනැගිලි අබලන් තත්ත්වයෙන් පැවතීම හේතුවෙන් එහි වෙළෙඳුන් සහ පාරිභෝගික ජනතාව විවිධ පීඩාවලට ලක්ව සිටිති. මේ වන විට මෙම පොදු වෙළෙඳ සංකීර්ණයේ ඉදිකර ඇති සමහර ගොඩනැගිලිවල බිත්ති බොල්වි පුපුරා වහලයට සෙවිලිකර ඇති තහඩු හා සමහර දැවමය කොටස් දිරා අබලන් තත්ත්වයෙන් පවතී. වෙළෙඳ සැල්වල දැවමය කොටස් දිරා අබලන් තත්ත්වයෙන් පැවතීම හේතුවෙන් එහි වෙ‍ළෙඳුන් සහ පාරිභෝගික ජනතාව අව්වෙන් සහ වැස්සෙන් ගැටලුවලට මුහුණපා සිටිති.

සමහර කානු කැඩි අවහිර වීම හේතුවෙන් සුළු වර්ෂාවකදී පවා ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවදානමක් මතුව පවතියි. භූමියට විවිධ පුද්ගලයන් විසින් මස් මාළු සහ විවිධ කැළි කසළ බැහැර කිරීම හේතුවෙන් දැඩි දුගඳක් හමයි. පැරණි වැසිකිළි පද්ධතියද කැඩි අපිරිසුදු තත්ත්වයෙන් පවතින බව වෙළෙඳුන් පෙන්වා දෙති. රාත්‍රී කාලයේ මෙම භූමිය මත්ද්‍රව්‍ය ලෝලීන් හා විවිධ අපචාර ක්‍රියා සඳහා යොදා ගන්නා බවද කියති.

පොදු වෙළෙඳ සංකීර්ණයේ සමහර කොටස්වල තාවකාලික වෙළෙඳ සැල් පවත්වා ගෙන යාම නිසා පාරිභෝගික ජනතාව විවිධ ගැටලුවලට මුහුණපාති. කඩවත නගරය ආශ්‍රිතව අධිකරණ සංකීර්ණය, ප්‍රධාන බස් නැවතුම්පොළ, කඩවත පොලීසිය සහ විදුහල් රැසක් තිබෙන අතර කඩවත නගරයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශ දක්වා අධිවේගී මාර්ගයේ බස් රථ රැසක් ප්‍රවාහන කටයුතු සලසා ඇති බැවින් ප්‍රදේශයට ජනතාව වැඩි වශයෙන් පැමිණෙති. ඒ අනුව කඩවත පොදු වෙළෙඳ සංකීර්ණය සහ සති පොළ පිහිටි භූමියේ පවතින අඩුපාඩු සකස් කර දෙන ලෙසට ප්‍රදේශවාසීහූ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ පිළිබඳ අදහස් දැක්වූ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතා -

කඩවත පොදු වෙළෙඳ සංකීර්ණය පිහිටි භූමියේ තට්ටු දහයකින් සමන්විත නව පොදු වෙළෙඳ සංකීර්ණයක් ඉඳිකර එහි පහත මාලයේ සති පොළ ඉදි කිරීමට නියමිතයි. එහෙත් මේ වනවිට මෙහි වෙළෙඳ සල් දෙකක් සම්බන්ධව නිතීමය ගැටලුවක් පවතින නිසා ඉදි කිරීම් කටයුතු තාවකාලිකව නවතා තිබෙනවා. ඒ නීතිමය කටයුතු අවසන් වීමෙන් අනතුරුව මෙම ස්ථානයේ අංග සම්පූර්ණ පොදු වෙළෙඳ සංකීර්ණයක් සහ සති පොළක් ඉදි කිරීමට කටයුතු කරනවා.

ගණිදු රෝචන සමරතුංග
මහර සමූහ

නව අදහස දක්වන්න