පසුගිය වසර තුනේ දී අපරාධවල අඩුවීමක් සිදු වී තිබෙනවා | දිනමිණ

පසුගිය වසර තුනේ දී අපරාධවල අඩුවීමක් සිදු වී තිබෙනවා

ඉන්දික පොල්කො­ටුව

ඇතැම් වකවානුවලට වඩා පසුගිය වසර තුන හමාර තුළ මෙරට මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධවල විශාල අඩුවක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අනූව ගෙවුණ දස වසරෙහි අනෙකුත් වකවානු වලට වඩා මෙම වසර තුන තුළ අපරාධවල විශාල අඩු විමක් තිබුණද ඇතැම් මාධ්‍ය හා ආණ්ඩු විරෝධි දේශපාලන කණ්ඩායම් වත්මන් ආණ්ඩු සමයෙහි අපරාධ වැඩි වි ඇති බවට පදනම් විරහිත චෝදනා නඟන බව ජනාධිපතිවරයා මෙහිදි කීය.

ජනාධිපති කාර්යාලය හා මත් ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය එක්ව ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බැව් පැවසිය. මේ සදහා පැසල් සිසු සිසුවියන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ග්‍රාමිය මට්ටමේ මත් ද්‍රව්‍ය නිවාරණ නියෝජිත පිරිස් අතුළු අට දහසක පමණ එක්ව සිටියහ. විවිධ අංශ ඔස්සේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ මෙහිදි දැනුවත් කිරීම් සිදු විය. ජාතික ආරක්ෂක මණ්ඩලයට පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව මෙරට පසුගිය වකවානුවේ සිදු වු අපරාධ පිළිබඳ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බව මෙහිදි පැවසූ ජනාධිපතිවරයා එය මුළුමනින්ම සත්‍ය බවද කීය.

මෙරට සිදු වන මිනීමැරුම් වලින් සියයට අනු නවයක්ම පිටුපස ඇත්තේ අරක්කු, කසිප්පු, හෙරෝයින්, ගංජා, විස්කි, බ්‍රැන්ඩි වැනි මත්පැන්, මත්ද්‍රව්‍ය බවද එහෙත් ස්ත්‍රි දූෂණ පිටුපස මත්ද්‍රව්‍ය වලට වඩා ඇත්තේ සමාජ වෙබ් අඩවි බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එහිදි වැඩි දුරටත් කතා කළ ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

ඒ අනූව මෙරට මිනීමැරුම් ගත් කළ 2008 දී 1378 ක්, 2010 දී 741 ක්, 2013 දී 586 ක් , 2014 දී 548 ක්, 2015 දී 476 ක් මෙන්ම, 2017 දී 452ක්. මින් පැහැදිලි වෙනවා පසුගිය වකවානුවේ විශේෂයෙන් ගෙවුණු වසර තුන හමාර තුළ මෙරට මිනී මැරුම්හි විශාල අඩුවක් පවතින බව. එමෙන්ම ස්ත්‍රි දූෂණ ගත් කල

2012 දී 2212ක්, 2014 දී 2008 ක් , 2016 දී 1996 ක්, 2017 දී 1732 ක් හා මේ වසරේ ගෙවුණු මාස හය තුළ 714 ක් වශයෙන් ස්ත්‍රී දූෂණ සිදුව ඇති අතර එහිද පැහැදිලි අඩුවක් ගෙවුණු වසර තුන හමාර තුළ තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍ය හා ආණ්ඩු විරෝධි කණ්ඩායම් මේවා වැඩි වශයෙන් උළුප්පුවා

පෙන්වනවා මත් ද්‍රව්‍ය නිසා දරුවන් පුනරුත්ථාපනය වන ආයතනවලට අනූව ඒවායේ මනෝ වෛද්‍යවරුන් පෙන්වා දෙන ආකාරයට මත්ද්‍රව්‍ය නිසා දරුවන්ගේ මනස ව්‍යාකූල වීම හා මානසික රෝග ඇති වීම හොඳින්ම පැහැදිලි කැර පෙන්වනවා. මත්ද්‍රව්‍ය මෙන්ම සමාජ වෙබ් අඩවිද අද භයානකයි. සමාජ වෙබ් අඩවි හරහා අද මිතුරු සමාජ ක්‍රියාත්මක වෙනවා. තැනක් පිරිසක් දන්නේ නැති මෙම ස්ථානවල තිබෙන්නේ සිගරට්. අරක්කු, මත්ද්‍රව්‍ය හා මත් පෙති ආදියයි.

මත්ද්‍රව්‍ය මෙන්ම එයින් සිදුවන හානිය, විනාශය පිළිබඳව මෙන්ම එය සමාජයේ ඛේදවාචකයක් වි තිබීම පිළිබඳ අද බොහෝ දෙනා හොඳින්ම දන්නවා. මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 1188ක නියෝජිතයන් අද මෙහි සිටිනවා. අද මේ දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කිරීමට මාස තුනකට පෙර දිසාපතිවරයා විසින් දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මට්ටමේ සිට ගෙයක් ගෙයක් පාසා සිට මෙම වැඩසටහන සඳහා මූලික කටයුතු සංවිධානය කළා. ගම දැනුවත් කළා. පාසල දැනුවත් කළා. රාජ්‍ය ආයතන දැනුවත් කළා. මෙය වැඩසටහනේ අවසානය නොවේ මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව ගෙන යන වැඩපිළිවෙළක ආරම්භක ප්‍රවේශයකි.

මෙහි ප්‍රශ්නය කෙසේ කොහොම කීවත් දෙමාපියනි දරුවනි ඉතාමත් භයනකයි. මත්ද්‍රව්‍ය රට වෙළාගෙන තිබෙනවා. අමැතිවරයෙක් කාලයේ මං වැඩියෙන්ම කතා කළේ සිගරට් නැත්නම් දුම්කොළ මධ්‍යසාර පිළිබදවයි. මේ රටේ දුම්කොළ සිගරට් අලෙවිය මේ වැඩපිළිවෙළවල ප්‍රතිඵලයක් ලෙස

අද පහළ වැටී තිබෙනවා. දුම්කොළ සමාගම් සිගරට් සමාගම් පසුගිය දිනවල රජයට දැන්වුවා ගෙවියයුතු රජයේ ආදායම් බදු අඩු වේගන යනවා සිගරට් අලෙවිය පහත බැසී ඇති නිසා කියලා. නමුත් මත්ද්‍රව්‍ය වලදී මධ්‍යසාර භාවිත කරන්නේ මෙරට ජනගහනයෙන් 14% කියා මෙයට පෙර කිය වුණා. සිගරට් භාවිත කරනනේ 18% කීවා. හෂීස් ,කොකේන්,මර්ජුවානා භාවිත කරන්නේ ජනගහනයෙන් එකයි දශම ගණනක් ලෙස කිය වුණා. නමුත් 14%ක් මේ රටේ අරක්කු. කසිප්පු බ්‍රැන්ඩි බොන අය ඒ සියට සීයක් ඉන්න තැන 14ක් ඉන්න උවමනාවක් නෑ එක්කෙනෙක් හිටියනම් ඇති ඉතා වැදගත් අවස්ථාවලදිත් අනෙක් අනු නවයම යටපත් කරන්න. මත්ද්‍රව්‍ය මේ රටේ භාවිත කෙරෙන්නේ සියයට එකයි දශම ගණනක් ලෙස කිය වුණා එහෙත් එය සුඵ පටු ගණනක් නොවේ. මේ සමාජ ව්‍යසනයේදී මින් දරුවන් බේරා ගැනීමේ කාරණයේදී අපි මේ වැඩසටහන 2015 ආරම්භ කළ වෙලාවේ පාසල්වලට පළමු චක්‍රලේඛය නිකුත් කළා. දෙවනි චක්‍රලේඛය 2018-07-06 නිකුත් කළා. මෙහි සිටින විදුහල්පතිතුමන්ලාගේ විශේෂ අවධානය යොමු කරනවා මේ චක්‍රලේඛ දෙකම පාසල් සදහා යොදා ගන්න කියලා. සියයට දහ අටක් වන සිගරට් බොන අයත් සියයට දහ හතරක් වන අරක්කු බොන අයත් මෙම ස්ථානයේ ඇති කියා මං හිතනවා. අපි වැඩියෙන් කතා කරන දෙයක් තමයි වැඩිහිටියන් හදා ගන්න අමාරුයි ඒ නිසා දරුවෝ ටිකවත් හදාගමු කියලා. යහපත් සමාජයක්, විනය ගරුක සමාජයක් අධ්‍යාත්මික සමාජයක් සඳහා වූ වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යංශය හැරුණු විට වෙනත් රාජ්‍ය ආයතන ආගමික සමාජීය ආයතන ගොඩක් ක්‍රියාත්මක කරනවා. ඒ දරුවෝ හදා ගන්න කියලා. නමුත් ඒ වගේම අපිට කියන්න සිදුවෙලා තියනවා, කොහොමද දෙමාපියෝ හදාගන්නේ කියන කාරණාව. දෙමාපියෝ හදා ගන්න කියන කාරණාවේදී ඔබේ අවධානය යොමු කරනවා විශේෂයෙන් දරුවන් යොමුවන වැරැදි පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම සම්බන්ධයෙන් දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිතතාව පිළිබඳව සිතන විට දරුවන්ට ආරක්ෂිතම තැන පාසලයි. පාසලෙන් පිට වැඩි කාලයක් දෙමාපියන් සමඟ සිටින කාලය තමයි දරුවන්ට අනාරක්ෂිතම කාලය. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ වැඩසටහන් දිගට ගෙන යන්න කියලා.

මෙහි සිටන වැඩිහිටියන් අද ගෙදර ගිහින් තමන් නිදා ගන්න කලින් නිවසෙහි කණ්ණාඩිය ළඟට ගිහින් සියයට දහ හතරේ අය මෙතන ඉන්නවනම් සියයට දහ අටේ අය මෙතන ඉන්නවනම් අහන්න කණ්ණාඩිය ඉදිරියෙන් සිට මං සියයට දහ අටෙන් ඉවත් වෙනවද සියයට දහ හතරෙන් ඉවත් වෙනවද කියලා. ඒ අාදර්ශය අපිට අවශ්‍යයි. දෙමාපියන්ගේ ආදර්ශය දරුවන්ගේ ආරක්ෂාවයි. ඒ නිසා මේ වැඩසටහනේ සාර්ථකවීමේ පියවර ලෙස අපි දකින්නේ මේ පිළිබඳව ඔබ දක්වන ඔබේ කැපවීමයි. දෙමාපියන්, විදුහල්පතිතුමන්ලා, ගුරු මණ්ඩලය ආයතන ප්‍රධානින් ක්ෂේත්‍ර නිලධාරීන් දරුවන් සමඟ මෙහි වගකීම ගන්න කියා මා ඉල්ලා සිටිනවා. දරුවා තමයි සමාජයේ සිටින හොඳම නිවැරැදිම පණිවුඩකරුවා. බොහෝ වෙලාවට දරුවන් කියන බොහෝ අය අහනවා. ඒ නිසා මතින් නිදහස් රටක් හදන්න හොඳ සමාජයක් හදන්න ගෙන යන වැඩපිළිවෙළේදී දරුවන් දැනුවත් කරමින් දරුවන් සමාජයේ ප්‍රධාන පණිවුඩකරුවකු කළ යුතුයි.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභානායක අධිනීතිඥ ලක්ෂමන් කිරිඇල්ල මහතා:

මතින් තොර රටක් බිහි කිරීම සඳහා ජනාධිපතිතුමා නායකත්වය ලබා දෙමින් ගෙන යන වැඩපිළිවෙළ අගය කළ යුතුය. දරුවන් රැක බලා ගැනීමේ වගකිම පැවරෙන්නේ දෙමාපියන්ටය. මතින් තොර රටක් බිහි කිරීම නිවසින් ආරම්භ කළ යුතුය. මහනුවර අධිකරණයේ නීතිඥවරයකු ලෙස මං වසර විසි පහක් කටයුතු කළා. එවකට සිටි හමුදාපතිවරයකුගේ පුත්‍රයකු මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. හොඳ වැදගත් ප්‍රභූ පවුලක දරුවකු වන ඔහු එහෙත් මේ ජාවාරමට ඇබ්බැහි වී සිටියා. මත්ද්‍රව්‍ය සඳහා දැඩි නීති රීති ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කැර තිබෙනවා. ඒ සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමටද තීරණය කිරීම සුවිශේෂියි. 1815 ට පෙර මේ ප්‍රදේශවල බාර් සංස්කෘතියක් තිබුණේ නැහැ. නමුත් ඉන්පසු විදේශිකයන් මේ සංස්කෘතියට මෙහි ජනයා පුරුදු කළා. බ්‍රිතාන්‍ය හමුදාව උඩරට පැමිණ කළ සටනේදී ඔවුන්ව සමූළ ඝාතනය කළද පසුව එම උඩරට පාලකයා මත්පැන් සඳහා ඇබිබැහි කැර 1815 දී බ්‍රිතාන්‍යයන් සූක්ෂම ලෙස උඩරට අල්ලා ගන්නවා. මේ නිසා අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා:

අපි පහසු දේවල් නොවේ අපහසු දේවල් කීරීමට අභියෝගවලට මුහුණ දී කටයුතු කළ යුතුයි. මතින් තොර රටක් නිර්මාණය කිරීම ගොඩනැගිම යනු මේ වැඩපිළිවෙළ එතරම් පහසු නොවේ; එය අභියෝගයකි. දුම්වැටිවලට ප්‍රචාරක නීතිය ගෙන ආ මොහොතේ ජාත්‍යන්තර අභියෝග රැසක් එල්ල වුවද නොසැලී එයට මුහුණ දෙමින් රට වෙනුවෙන් ජනාධිපතිතුමා ඒ අභියෝග ජයගෙන දෙනු ලැබුවා. පොලීසිය සිදු කරන වැටලීම් අද නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබෙනවා.

මේවා පසුගිය කාලයේ තිබුණේ නැහැ. බළපෑම් හෝ තොරතුරු හෙළිවීම් වැනි දේවල් නිසා මේවා සිදු වුණේ නැහැ. අද මේ වැඩපිළිවෙළ ගම් මට්ටමින් ක්‍රියාත්මකයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර, මත්ද්‍රව්‍ය, මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමණසේකර යන මහත්වරුද මෙහිදි කතා කළ අතර මහනුවර මහමායා බාලිකා විද්‍යාලයීය චමරි කන්නන්ගර ශිෂ්‍යාව හා සාන්ත සිල්වෙස්තර් විදුහලේ එස් ෂෙහාන් ප්‍රනීත් සිසුවා මෙහිදී සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පිළිගැනිම් කතා ඉදිරිපත් කළ අතර මහනුවර පුෂ්පදාන බාලිකා විදුහල, මහනාම විදුහල හා සරසවි උයන විදුහල නර්ථන විශේෂාංගවලින් මෙම අවස්ථාව වර්ණවත් කරනු ලැබීය. මිතුර මිතුරියෝ පුනරුතථාපන මධ්‍යස්ථානය මගින් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුතථාපනය වන තරුණයන්ද සංවේදී විශේෂාංගයක් ඉදිරිපත් කළේය. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සක්‍රීය දායකත්වය ලබා දුන් සිසු සිසුවියන් සඳහා නිල ලාංඡන පැළදවිම, මත් නිවාරණ ජාතික වැඩසටහන සඳහා කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහතැන්න මහත්මිය ඇතුළු එහි නිලධාරීන්ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය.

ඡායාරූප- ගාමිණි රණසිංහ

නව අදහස දක්වන්න