ශ්‍රී ලංකා-තායිලන්ත වෙළෙඳ සහයෝගීතාව ඉහළ නැංවීමට අවධානය | දිනමිණ

ශ්‍රී ලංකා-තායිලන්ත වෙළෙඳ සහයෝගීතාව ඉහළ නැංවීමට අවධානය

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වෙයි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ(12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. 2016 වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ කළ සංචාරයේ දී ජනාධිපතිවරයා විසින් කරන ලද නිල ආරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව එම පිළිගැනීම සිදුවිය.

නායකයන් අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. ථේරවාදි බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ රටවල් ලෙස දෙරට අතර පවතින සබඳතා අගය කළ නායකයන් එම සබඳතා සෑම ක්ෂේත්‍රයකින්ම තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සබදතා මේ වන විට සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී තිබෙන අතර, ඒ පිළිබඳ සිය සතුට පළ කළ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දෙරට අතර වෙළෙඳ පරතරය අඩුකර ගැනීම පිළිබඳ ද සාකච්ඡා කළහ.

කෘෂිකාර්මික, කාර්මික සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍ර තුළ තායිලන්තය ලබා ඇති ප්‍රගතිය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ද එම ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය සඳහා සහයවන ලෙස කළ ඉල්ලීමට සිය එකඟතාව පළ කළ අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගන්නා බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ තේ සඳහා තායිලන්තය තුළ ඉදිරියේදී වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව සොයා බලන බවට ද අග්‍රාමාත්‍යවරයා සහතික විය.

දෙරටේ බෞද්ධ උරුමය ලොවට ගෙනයාම සඳහා ඒකාබද්ධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. දෙරට අතර සහයෝගිතාව සහ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නැවත වරක් තායිලන්තයේ නිල සංචාරයකට එක්වන ලෙස මෙහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනා කළේය. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04 කට ද මින් අනතුරුව නායකයන් ඉදිරියේ අත්සන් තැබීම සිදුවිය. නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හුවමාරුවට අදාළ නෛතික ගිවිසුමකට පළමුව අත්සන් තැබුණු අතර ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය සහ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා අතර එම ගිවිසුමට අත්සන් තැබීය.

දෙරට අතර ක්‍රමෝපායික ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳව ගිවිසුමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ තායිලන්ත නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍යවරිය අත්සන් තැබීය.

තායිලන්ත රජු විසින් ප්‍රචලිත කරන ලද ප්‍රමාණාත්මක භාවය පිළිබඳ ආර්ථික දර්ශනය මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සඳහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරකම් වැඩසටහන පිළිබඳ සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් තැබිණි.

එමෙන්ම ප්‍රාථමික නිෂ්පාදනවල අගය එකතු කිරීම සඳහා තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ගිවිසුමට තායිලන්තයේ Kasetsart විශ්වවිද්‍යාලය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අතර අත්සන් තැබීම සිදුවිය.

නව අදහස දක්වන්න