“වියත් මඟ” “හරි මඟ” සහ අතරමඟ | දිනමිණ

“වියත් මඟ” “හරි මඟ” සහ අතරමඟ

කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කර හා දයාන් ජයතිලක හරහා එළියට පනින විරෝධයේ පදනම අපට පහසුවෙන් අවබෝධ කර ගත හැකියි. එහි මතවාදී සහ සැබෑ පදනම වන්නේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රායෝගික දේශපාලනඥයන් විසින් මහත් ආයාසයෙන් නඩත්තු කළ ජන පදනම අන්තවාදීන් හා අවස්ථාවාදීන් විසින් ක්ෂණිකව ඩැහැගැනීමට ගන්නා උත්සාහයට එරෙහි විරෝධයයි. මේ විරෝධය මෝරා වැඩෙනු මිස සමහන් වී ගෝඨාගමනය තහවුරු වන බවක් අපට විශ්වාස කළ නොහැකියි.

2020 දී අපේ ජනාධිපතිතුමා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්වත් නොවුණාට නම් ප්‍රශ්නයක් නැහැ බ්‍රෝ. ඒත් රෙද්දක් ඇඳගෙන අපේ ජනාධිපතිතුමා අමෙරිකන්කාරයෙක් කියලා කියන්නේ කොහොමද බ්‍රෝ. මේක පට්ට වැඩක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකු අධිපතිකම සිංගප්පූරු පුරවැසියෙකුට දුන්නා කියලා පට්ට කතා කියන උන් මහින්ද මහත්තයා ආරක්ෂක ලේකම්කම අමෙරිකන් පුරවැසියෙක්ට දුන්නා කියලා කටක් ඇරලා කියන්නේ නැති එකනේ බ්‍රෝ

මේ පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් වන කුමාර වෙල්ගම කළ කතාවට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබන මගේ මිතුරෙක් මුහුණු පොතට එක්කළ ප්‍රතිචාරයක්. මෙහිදී ඔහු සඳහන් කළ මේ කෙටි ප්‍රතිචාරය තුළ හිතන්න බොහෝ දේ තිබුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය සිංහල බෞද්ධ අන්තවාදීන්ට නම් ප්‍රශ්නයක්ව තිබෙන බවක් පේන්නම නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්නය (නඩු කන්ද වගේම) විසඳා ගැනීම කාලයාට භාරදීලා ගෝඨාභය රාජපක්ෂ මහතා කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට සිංහල බෞද්ධ සමාජය තුළ ඇවිළෙමින් තිබෙන ගින්න ගැන අපි අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ පසුගිය රාජපක්ෂ දශකය තුළ රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් පමණක් සිටිමින් මේ රටේ සැලකිය යුතු පිරිසකගේ ඉරණම තීරණය කළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට වඩා විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමස්ත ජාතියේම ඉරණම තීරණය කරන්නා බවට වන නිසයි.

ගෝඨාභය ගැන අභ්‍යන්තර විවේචන

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් තම ඉදිරිපත් වීම ගැන අදහස එළිපිට ප්‍රකාශයට පත් කිරීම සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතාට විවිධ පාර්ශ්වයන් වෙතින් දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී දැකිය හැකි වූ විශේෂත්වයක් වන්නේ එජාපය, ශ්‍රීලනිපය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව තුළින් මේ ප්‍රහාර එල්ල වීම වෙනුවට ඒකාබද්ධ විපක්ෂය, පොහොට්ටුව සහ දැඩි මහින්ද රාජපක්ෂවාදීන් වෙතින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රබල ප්‍රහාරයක් සහ විවේචනයක් එල්ලවීමයි. එහිදීත් මහින්ද රාජපක්ෂ මහතාට වඩාත් සමීපතමයන් රැසක් දැඩි ගෝඨා විරෝධයක සිටින බවක් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වුණා.

“මේ රටේ ජනාධිපති වෙන්න නම් අඩුම ගානේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න ඕනෑ. එහෙම කෙනෙකුට විතරයි ජනතාවගේ ප්‍රශ්න, දුක තේරෙන්නේ” ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් වගේම කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිපයේ හිටපු ප්‍රබලයෙක් වන කුමාර වෙල්ගම මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී මේ ආකාරයෙන් අවධාරණය කොට තිබුණ ඒකාබද්ධ විපක්ෂයේ තවත් ප්‍රබලයෙක් වගේම දැඩි මහින්දවාදියෙක් වන වාසුදේව නානායක්කාර මහතා අවධාරණාත්මකව ප්‍රකාශ කළේ ලංකාවට හිට්ලර් කෙනෙක් ගැළපෙන්නේ නැති බවත් 2020 දී ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා විය යුත්තේ මධ්‍යස්ථ මතධාරියෙක් වන, සියලු ජන කොටස්වල සහාය ලබා ගත හැකි, දූෂණ චෝදනා නැති චමල් රාජපක්ෂ මහතා බවයි. මේ අතර තවත් දැඩි මහින්දවාදියෙක් වන ප්‍රවීණ දේශපාලන විචාරකයෙක් වන දයාන් ජයතිලක මහතා ද පසුගියදා අවධාරණාත්මකව ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතට යම්කිසි ආකාරයකින් බලය ලැබුණොත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අර්බුදයකට ලක්වන බවයි.

ඉතාම කෙටි කාලයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා කේන්ද්‍ර කර ගනිමින් මෙවැනි දැඩි ප්‍රහාරාත්මක විවේචන රාජපක්ෂ කල්ලිය තුළින්ම එල්ලවීම දේශපාලනඥයන්ගේ පමණක් නොවෙයි පොදු ජනතාව අතර ද දැඩි විමතියක් ඇති කිරීමට හේතු වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ කම්පනය දැඩි රාජපක්ෂවාදීන්ට වඩා මධ්‍යස්ථ ජනතාව අතර දැඩි කම්පනයක් ඇති කිරීමට හේතු වෙලා තිබෙනවා.

අනුකම්පා විරහිත පුද්ගලයෙක්

ගෝඨාගමනය ගැන ප්‍රජාතන්ත්‍රවාදී හා සුළුජන සමාජය තුළ දැඩි කම්පනයක් හා භීතියක් ඇතිවීම හුදු අහඹු සිදුවීමක් වශයෙන් අපට සැලකිය නොහැකියි. මේ සඳහා බලපෑ දීර්ඝ කාලීන හේතු රැසක් පැහැදිලිව හඳුනා ගත හැකිව තිබෙනවා. ඒ අතර ප්‍රධාන වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනය හා එකී දර්ශනය පෝෂණය කිරීමට පදනම් වන කල්ලිය විසින් පසුගිය කාලය තුළ භාවිතයෙන්ම රට හමුවේ නිර්මාණය කළ භීතියයි. මේ තත්ත්වය අපට කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර සහ දයාන් ජයතිලක මහත්වරුන්ෙග් ප්‍රකාශ හරහා පැහැදිලි කරගත හැකියි.

මෙහිදී පොදුජන සමාජයේ බොහෝ දෙනකුගේ සාකච්ඡාවට ලක්වෙලා තිබෙන්නේ කුමාර වෙල්ගම මහතා කළ සංවේදී කතාවයි. කුමාර වෙල්ගම මහතා කියන්නේ දීර්ඝ කාලීනව තෘණ මූල මට්ටම (ගමේ ගොඩේ ජනතාව) සමඟ සමීපව දේශපාලනය කළ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ප්‍රායෝගික දේශපාලනඥයෙක් වීම තුළයි ඔහුගේ ප්‍රකාශයට වැඩි වටිනාකමක් හිමිවෙලා තිබෙන්නේ. කුමාර වෙල්ගම මහතා අවධාරණාත්මකව ප්‍රකාශ කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රායෝගික දේශපාලනය ගැන කිසිදු ආකාරයක අත්දැකීමක් නැහැ. ඒ නිසා ඔහුට කිසිදාක සාමාන්‍ය ජනතාවගේ ආකල්ප, දුක වටහා ගැනීමට හැකියාවක් නැහැ.

කුමාර වෙල්ගම මහතාගේ තනි පෞද්ගලික ප්‍රකාශයක් ලෙස මෙය සමාජගත වුවත් බොහෝ දෙනෙක් කියන්නේ මේ ප්‍රකාශය බැසිල් රාජපක්ෂ මහතා සමඟ දේශපාලනය කළ පාර්ශ්ව විසින් ද දරන පොදු අදහස බවයි. මේ වන විට එජාපය තුළ ද නායකත්වය සම්බන්ධ තෘණ මූල මට්ටමේ පාක්ෂිකයන් අතර සිදුවන සංවාදයට හේතු වෙලා තිබෙන කරුණම ඒකාබද්ධ විපක්ෂය තුළත් ගැටලුවක් බවට පත් නොවිය යුතු බවයි බැසිල් රාජපක්ෂ මහතාගේ වෘත්තීය දේශපාලනඥයන් වශයෙන් සැලකිය හැකි බිම් මට්ටමේ සක්‍රීය හා බලවත් කණ්ඩායමේ අදහස . ඒ බව බැසිල් රාජපක්ෂ මහතා ද ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයන්ගේ කතා සියුම්ව නිරීක්ෂණය කරන විට අපට පහසුවෙන් වටහා ගත හැකියි.

පොදු ජනතාවගේ දුක හඳුනා ගැනීම සම්බන්ධයෙන් ද කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කරන චෝදනාව ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වඩාත් අදාළයි. ඒ බව ඔහු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් බලයේ සිටියදී කොළඹ මුඩුක්කු හා වතු ජනතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ අනුකම්පා විරහිතභාවය තුළින් සේම රතුපස්වල, වැලිකඩ, කටුනායක, හලාවත ඇතුළු පොදුජන ගැටුම් මර්දනය කිරීමට යොදා ගත් දැඩි මර්දනකාරී පිළිවෙත මගින් මනාව පැහැදිලි කර තිබෙනවා. අද අන්තවාදීන්ගේ ප්‍රීතියට හේතු වෙලා තිබෙන මේ අනුකම්පා විරහිතභාවයෙන් වින්දිතයන් බවට පත් වුණු ජනතාවගේ නම් ප්‍රීතියට හේතු නොවුණු බව පසුගිය ජනාධිපතිවරණයේදී මනාව පැහැදිලි වුණා. අද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව රාජපක්ෂ කල්ලිය තුළින්ම ක්‍රමයෙන් මෝරා එන විරෝධයට අවශ්‍ය ශක්තිමත් පදනම සකස් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ අනුකම්පා විරහිතභාවය ද ඇතුළත් කරුණු එකතුවයි.

ගෝඨාභයට දිනන්නම බැහැ

මීළඟට වාමංශික දේශපාලනඥයෙක්, මහින්දවාදියෙක් සේම දැඩි එජාප විරෝධියෙක් වශයෙන් ප්‍රකට වාසුදේව නානායක්කාර මහතා වෙත අපගේ අවධානය යොමු කළ යුතුයි. වාසුදේව නානායක්කාර මහතා හිට්ලර් සම්බන්ධයෙන් වන අන්තවාදී කැමැත්තට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූවා පමණක් නොව එවැනි මිලේච්ඡ පාලකයෙක් යළි බිහි නොවිය යුතු බවට ප්‍රාර්ථනයක් ද කළා. මේ ප්‍රකාශය අන්තවාදීන් හා අවස්ථාවාදීන්ගේ ප්‍රබල විවේචනයට ලක් වුණත් එම ප්‍රකාශයට ප්‍රබල සමාජ වටිනාකමක් හිමි වුණා.

ඒ අතරේ වාසුදේව නානායක්කාර මහතා පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අසාර්ථක වන අනාවැකි (නියත) තුනක් අවධාරණය කළා.

මධ්‍යස්ථ මතධාරියෙක්
සියලු ජන කොටස්වල සහාය ලබාගත හැකි පුද්ගලයෙක් දූෂණ චෝදනා නැති පුද්ගලයෙක්

කුමාර වෙල්ගම මහතාට වඩා වෙනස් දේශපාලනයක් කරන වාසුදේව නානායක්කාර මහතා හඳුනාගෙන ඇති ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉහත සඳහන් සුදුසුකම් කිසිවක් නැහැ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා බෞද්ධ හා මිලිටරි අන්තවාදීන්ගේ සහ දේශපාලන අවස්ථාවාදීන්ගේ ගොදුරක් බවට පත්ව සිටින නිසයි. මේ තත්ත්වය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැනි කණ්ඩායම් විසින් නායකත්වය දෙන බොදුබල සේනා, රාවණා බලය ඇතුළු ප්‍රසිද්ධ බෞද්ධ අන්තවාදී බලවේගවල සිට හිට්ලර් ගැන සිහින දකින වෙඬරුවේ උපාලි හිමියන් දක්වා වන බෞද්ධ අන්තවාදීන්ගේ ද මිලිටරි අන්තවාදීන්ගේ එකතුවක් වශයෙන් සැලකිය හැකි “වියත් මඟ ” “එළිය” “හරි මඟ” දක්වා පුළුල් වෙනවා.

අනෙක් අතින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටියදී තම සහාය හා ආශිර්වාදය දැක්වූ දේශපාලනඥයන් සම්බන්ධයෙන් ද දැඩි මැසිවිල්ලක් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් තුළ තිබෙනවා. ඔවුන්ට අනුව අමාත්‍යාංශ ලේකම්වරයෙකුට දේශපාලන කටයුතු සඳහා සක්‍රීය මැදිහත්වීම නීති විරෝධී තත්ත්වයක් තුළ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා, ගම්මන්පිල ආදීන්ගේ මැතිවරණ වේදිකාවලට නැඟ තිබුණා. ඒ වගේම බොදුබල සේනා ඇතුළු අන්තවාදී කණ්ඩායම්වලට නොනිල හා නිල අනුග්‍රහය ලබාදී තිබුණ.

ඉහත සඳහන් කළ ආගමික හා මිලිටරි අන්තවාදි කල්ලි සමඟ පමණක් එක්ව කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ මහතාට සියලු ජන කොටස්වල සහාය ලබා ගැනීම සිහිනයක් පමණක් බවයි වාසුදේව නානායක්කාර මහතාගේ අදහස්වල පොදු හරය වන්නේ. එහිදී වාසුදේව නානායක්කාර මහතා නොකියා කියන ප්‍රකාශය වන්නේ සුළුජන කොටස්වල සේම වාමාංශික පක්ෂවල සහාය ලබා ගැනීමට නොහැකි අපේක්ෂකයෙක් 2020 දී නියත පරාජයකට මුහුණ දෙන බවයි. සාමාන්‍ය දේශපාලන දැනුමක් ඇති අයෙකුට වුවත් වාසුදේව නානායක්කාර මහතා කරන මේ අනතුරු ඇගයීම සත්‍ය බව මනාව පැහැදිලි වෙනවා. ඒ යළිත් 2010 දී මෙන් තනි අශ්වයාගේ තරගයක් ලංකාවේ මැතිවරණ තුළ යළි කිසිදා උදා නොවන නිසයි.

වාසුදේව නානායක්කාර මහතා කරන අනතුරු ඇඟවීම තුළ පොදුවේ ජනමතය කෙරෙහි ප්‍රබල බලපෑමක් කළ හැකි උගත් මධ්‍යම පන්තියේ ඡන්ද කෙරෙහි වඩාත් සංවේදී වන්නේ තෙවැනි කරුණයි. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ දශකය තුළ සාමාන්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකුට කිසිදා එල්ල නොවූ තරමේ දූෂණ චෝදනා එල්ල වී තිබෙන නිසයි. ප්‍රකට මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ චෝදනා, ඩී.එම්. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම පමණක් නොවෙයි කතරගම මාළිඟාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද රාජපක්ෂ මහතාට මූල්‍ය හා බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් දැවැන්ත චෝදනා තිබෙනවා. පසුගිය කාලය පුරාම ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති ප්‍රකට චෝදනා වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වැලිකඩ රිමාන්ඩ් සිරකරුවන් ඝාතනය, රතුපස්වල, කටුනායක ආදි සිවිල් ජන ඝාතන ද ඇතුළත් කළ විට මධ්‍යස්ථ ජනතාව තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ඇති චිත්‍රය කිසිසේත් වෙඬරුවේ උපාලි හිමියන් ඇතුළු කණ්ඩායම් තුළ තිබෙන විචිත්‍ර චිත්‍රය තරම් සුන්දර නැහැ.

දයාන් ජයතිලක මහතා විසින් ද ඉදිරිපත් කර ඇති විවේචනයේ පොදු හරය ඉහත සඳහන් කළ ඒවා හා සමපාත තත්ත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොදුවේ නිර්මාණය කළ හැකි චිත්‍රය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හෝ සුළු ජාතීන්ගේ හිතසුව පිණිස නම් හේතු වන්නේ නැහැ.

පොහොට්ටුවේ සරණ යාම

මේ තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අපූරු තීන්දුවක් පසුගියදා ගත්තා. ඒ පොහොට්ටු පක්ෂයේ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු කිහිප දෙනකු අමන්දානන්දයට පත් කරමින් පොහොට්ටු කාර්යාලයට පැමිණීමයි. ඇතැම් දේශපාලන විචාරකයන් මේ තත්ත්වය අති උත්කර්ෂවත් සිදුවීමක් ලෙස ඔසවා තැබීමට කැමැත්තක් දැක්වුවත් පොදුවේ මේ තත්ත්වය සැලකෙන්නේ දේශපාලන සටකපටකමක් නැතහොත් අවස්ථාවාදී පියවරක් ලෙසයි. ඊට හේතුව වන්නේ අන්තවාදීන් හා අවස්ථාවාදීන් සමඟ කල්ලි ගැසී ගෝඨාභය රාජපක්ෂ මහතා කාලයක් පුරා රහසේ කළ රංගනය තවදුරටත් රහසේ කළ නොහැකි තත්ත්වය පත්ව තිබීමයි. කඩිනම් තෝරා ගැනීමක් වෙත යාමට බල කරන ප්‍රායෝගික අභියෝග රැසක් දිනෙන් දින වර්ධනය වීමයි.

මේ තත්ත්වය අපට වටහා ගත හැකි වන්නේ රෙජිම මාධ්‍ය විසින් පුන පුනා අවධාරණය කරන රාජපක්ෂ පවුල් ගැටුම හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය තුළ ක්‍රමයෙන් මෝදු වෙමින් පවතින විරෝධය යටත් පත් කිරීමට ගන්නා වෑයම හඳුනා ගැනීම තුළයි.

එහිදී ප්‍රථමයෙන් හඳුනා ගැනීමට හැකි වන්නේ “එළිය” “වියත් මඟ” සහ “හරි මඟ” වැනි කල්ලි සහ කණ්ඩායම් සමඟ ජනාධිපතිවරණයක් වැනි ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීම තවදුරටත් කළ නොහැකි දෙයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා වටහාගෙන ඇති බවයි. ඊට හේතුව වන්නේ මේ කුමනාකාර නාම යටතේ තැන් තැන්වල වැඩමුළු, සංවාද පැවැත්වුව ද මේ කණ්ඩායම් ත්‍රිත්වයම නියෝජනය කරන්නේ එකම පිරිසක් පමණක් වීමයි. ඒ තුළ පසුගිය කාලය පුරාම ගොනුව සිටින්නේ අන්තවාදී විශ්‍රාමික මිලිටරි නායකයන් (ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී විවිධ වරප්‍රසාද ලැබූ) කණ්ඩායමක් සහ විද්වතුන්යැයි කියා ගන්නා, පසුගිය රාජ්‍ය පාලනය තුළ ඍජුව වරප්‍රසාදලාභීන්ව සිටි නාලක ගොඩහේවා වැනි කණ්ඩායම් ද තවත් වරප්‍රසාදලාභී භික්ෂූන් වහන්සේලා පිරිසක් ද පමණයි. මදක් අවධානයෙන් බැලූ විට අපට පැහැදිලි වන්නේ මේ කිසිදු කණ්ඩායමක් පසුගිය කාලය තුළ මතවාදීව හෝ පිරිස් බලයෙන් පුළුල්වීමක්, අලුත්වීමක් සිදු නොවූ බවයි. එකම කල්ලියක් විවිධ නම් හා තනතුරු යටතේ ප්‍රකාශ නිකුත් කිරීමට වඩා දෙයක් නොවූ බවයි. මේ තත්ත්වය තුළ තවදුරටත් වියත් මඟ සමඟ හරි මඟ ගොස් එළියක් දැකීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාවක් නොමැති බව පැහැදිලියි.

පලා බෙදීම ජයටම

එහෙත් මේ තත්ත්වය තුළ තම පැවැත්ම හා තත්ත්වය අභියෝගයට ලක්වීම පසුගිය දශක ගණනාවක් පුරා වෘත්තීය දේශපාලනඥයන් වශයෙන් ක්‍රියා කළ හිටපු ශ්‍රීලනිප හා මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීපව ගනුදෙනු කළ වාමාංශික නායකයන්ගේ තෘප්තියට හේතුවී නැති බව නම් අපට පැහැදිලියි. ඔවුන් එළියෙන් පොහොට්ටුවට සිදුවන මේ ගෝඨාගමනය සලකුණු ඇත්තේ තමන් එළියට විසිවීමක් විදිහටයි. ඔවුන් හැකි සෑම අවස්ථාවක්ම නිර්මාණශීලීව යොදා ගනිමින් ගෝඨාගමනයට එරෙහිව පලා බෙදීමක් කරන්නේ මේ නිසයි.

මේ තත්ත්වය කොතරම් සංකීර්ණ වී තිබේද යන්න ගෝඨාගමනය ගැන මත මුනිවත බිඳිමින් මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය හරහා අපට වටහා ගත හැකියි. “මේ කවුරු ආවත් ක්‍රියාත්මක කරන්නේ මගේ මහින්ද චින්තනයම තමයි” කියමින් මහින්දවාදීන්ට ගෝඨාගමනය ගැන චරිත සහතික නිකුත් කිරීමට සිදුව ඇත්තේ මේ අසහනාත්මක තත්ත්වය මනාව හඳුනාගෙන ඇති නිසයි. ඒ නිසා කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කර හා දයාන් ජයතිලක හරහා එළියට පනින විරෝධයේ පදනම අපට පහසුවෙන් අවබෝධ කර ගත හැකියි. එහි මතවාදී සහ සැබෑ පදනම වන්නේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රායෝගික දේශපාලනඥයන් විසින් මහත් ආයාසයෙන් නඩත්තු කළ ජන පදනම අන්තවාදීන් හා අවස්ථාවාදීන් විසින් ක්ෂණිකව ඩැහැගැනීමට ගන්නා උත්සාහයට එරෙහි විරෝධයයි. මේ විරෝධය මෝරා වැඩෙනු මිස සමහන් වී ගෝඨාගමනය තහවුරු වන බවක් අපට විශ්වාස කළ නොහැකියි. මන්ද යුද ජයග්‍රහණයේ ගෞරවය කොල්ල කෑවා සේ දේශපාලන ජයග්‍රහණයක් කොල්ලකෑම පහසු නොවන නිසයි.

සටහන - භාතිය බරුකන්ද


නව අදහස දක්වන්න