ශ්‍රී ලංකාව හා තායිලන්තය වෙළෙඳ හා සහයෝගීතා ගිවිසුම් රැසකට අස්සන් තබති | දිනමිණ

ශ්‍රී ලංකාව හා තායිලන්තය වෙළෙඳ හා සහයෝගීතා ගිවිසුම් රැසකට අස්සන් තබති

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වී ඇත.

දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා අතර නිල හමුව පෙරේදා (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබද දීර්ඝ වශයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා විය.

2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සිදු කළ සංචාරයේදී ජනාධිපතිතුමා විසින් සිදු කරන ලද නිල ආරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩි මුර සහිතව එම පිළිගැනීම සිදුවිය.

නායකයන් අතර සුහඳ කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04 කට ද මින් අනතුරුව දෙරට නායකයන් ඉදිරියේ අත්සන් තැබීම සිදුවිය.

නීතිමය වශයෙන් වැරැදි සිදු කරන පුද්ගලයන් හුවමාරුවට අදාළ නෛතික ගිවිසුමකට පළමුව අත්සන් තැබුණු අතර ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය සහ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා අතර එම ගිවිසුමට අත්සන් තැබීණි.

දෙරට අතර ක්‍රමෝපායික ආර්ථීක හවුල්කාරිත්වය පිළිබදව ගිවිසුමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ තායිලන්ත නියෝජ්‍ය වෙළෙද අමාත්‍යවරිය අත්සන් තැබූහ.

තායිලන්ත රජු විසින් ප්‍රචලිත කරන ලද ප්‍රමාණාත්මක භාවය පිළිබද ආර්ථීක දර්ශනය මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සදහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරම් වැඩසටහන පිළිබඳ සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් තැබිණි. එමෙන්ම ප්‍රාථමික නිෂ්පාදනවල අගය එකතු කිරීම සදහා තාක්ෂණික සහයෝගිතාවය පිළිබද ගිවිසුමට තායිලන්තයේ කැසෙට්සැට් විශ්වවිද්‍යාලය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අතර අත්සන් තැබීම සිදුවිය.

ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න