නූතන විවාහ මංගල නාටක | දිනමිණ

නූතන විවාහ මංගල නාටක

අවුරුද්දක් තිස්සේ ප්ලෑනින් ය. හතර අත ණය ගොඩය. කොහොමින් හරි මඟුල් දවස ආවේය. පාන්දර 12.30 ට අන්දවන්න එන්නී ය. පෙරදා නින්දක් තිබුණේ නැත්තේ හිත මොකක්ද වී නිසාය. නිදිමතද නැත. ඇය ආවා ය. ආපු වෙලේ සිට මූණ පුරා උලනවා ය. තට්ටු හත අටක්ම ඉලුවා ය. කැඩපතින් මූණ දුටු විට මනමාලියම තුෂ්නිම්භූත විය. "මේ මොකාද??" ආයෙමත් උලනවා ය. පාට පාට ගාන්නී ය. ඇස් පාට කරනකම් උඩ බලන්, එහෙ බලන් , මෙහෙ බලන් ඉඳ බෙල්ලද උලුක්කු ය.

තැල්ල තියන නැකතට මවු පැමිණ දෝණි සොයා ගත නොහැකිව අන්දමන්දව ය. හතර පහ වෙනකොට මූණ අලුත් කොර කොණ්ඩය දමා අවසන්ය. මූණේ ⁣බර ග්‍රෑම් 920 කින් පමණ වැඩි වෙලා ය. කොණ්ඩය, කොණ්ඩ කටු, හෙයා(ර්) ස්ප්‍රෙ , හවරි, තැලි, ඉර හඳ සමඟ දැන් ග්‍රෑම් 1200 ක් පමණ වැඩි ය. උදේ හය හමාර පමණ වන විට කිලෝ එක හමාරක් දෙකක් පමණ බර සාරියද, තව කිලෝවක් පමණ බර ආභරණද පැළඳ අවසන්ය.

බෙල්ලට දෙවියන්ගේ පිහිටය.

එයින් ගැලවී හුස්මක් ගන්ඩත් කලියෙන් ෆොටෝ ග්‍රැෆ(ර්) තව දෙන්නෙක් සමඟ කඩා පාත් විය. "මෙයා මාර වෙලාවක්නෙ ගත්තෙ. අපට වෙලාවත් මදි වෙනවා. උන්ගේ දෝස් මුරේ ය"

එහෙට හැරෙන්න, මෙහෙට හැරෙන්න, අංශක හැටට ඔළුව හරවන්න, එකසිය අසූවට කකුල් ඈත් කරන්න, තුන්සිය හැටට අත වනන්න, දිග අරින්න , නැවෙන්න, දුවන්න, පනින්න, ඊසානෙට ඔළුව දාලා කඳ උතුරට හරවන්න, මනමාලයාව කොනිත්තල දුවන්න, මනමාලයට පයින් ගහල දුවන්න, උඩ පැනල හූවක් තියල කැරකිල බල්ටියක් ගහල එන්න. කෙළවරක් නැති නියෝග ය.

අඟල් හතර පහේ අඩි උස දාගත් කකුල්වලට බුදු සරණය. කොන්දට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටය.

පෝරුවේ චාරිත්තර දැන් ඉතින් ස්ටයිල් එකට නිසා පැය භාගෙන් බේරෙගන්නට හැකි විය. හරියටම කළා නම් පැයක් හමාරක් යනවාය. හද්දා පිපාසෙන් බොන්ඩ ගත්ත පැණි බීම වීදුරුවල ලුණු ය. ඒ රැග් ය. හද්දා බඩගිනි වුවත් කන්නට බැරි ය. නියපොතු අලවාපු නිසා අතින් මෙලෝ හත්තිලව්වක් අල්ලන්නට නුහුරු ය. හැඳි ගෑරැප්පු නම් කරුමයක් ය. කන්නෙත් ජායාරූප ශිල්පියාට ඕනෑ විදියටය. කට ළඟට හැන්ද අරන් විනාඩියක් ඒ දෙස බලා සිටිය යුතු ය. ඒ අස්සේ කපල් ඩාන්ස්ය. සෙකන්ඩ් වෙන්නත් බැරි ය. උලව් නැටුම් නටන්නත් බැරි ය. හත්මුතු පරම්පරා දෙකකටම වැඳලා වැඳලා ⁣වැඳලා කොන්දෙ පොට ගොහින්ය. දැන් කොන්ද නිකනුත් නැවෙනවා ය. යන නැකත ආවත් යන්ඩ දෙන්නේම නැත, දෙපැත්තෙන් තර­ෙගට පම්පෝරි කතන්දර ය. ඒ මදිවාට සෝ සුසුම් හඬා වැලපිලි ය. අඩන්නත් පණ නැත. ඇඬෙන්නේ ඇඟේ රුදාවට ය. " නැකත කිට්ටුයි..."

කාටදෝ පිංසිද්ධ වෙන්ඩ බොහොම අමාරුවෙන් පැන ගත්තෝ ය.

කාමරේට ආ වෙලේ සිට ඇඳුම් ගලවනවා, ගලවනවා ඉවරයක් නැත. කොණ්ඩ කටු ගලවන්ඩ විනාඩි ගණක් වැය වේ. මේකප් තට්ටු පිහදාන්ඩ තව වරුවක් ය. දැනටම හොඳ පණ ගොහින් ය. කකුල් ඉදිමී ඇත. කොන්දක් ඇතුවා නැතුවා සේ ය. බෙල්ලේ පොට ගොස් ය, නාන්න ගිය විට වතුර මල යටම නින්ද යන්නේ මහන්සියට ය. ෆොටෝවලට මනමාලි උස්සලාම මනමාලයාගේ ෂොක් ඇබ්සෝබර් බැස ගොස්ය. ඒ මදිවාට හද්දා බඩගින්නක ය. ලස්ස ගණන් වියදම් කරත් හරියක⁣ට බඩට ටිකක් වැටුණේ නැති කරුම දවසක්ය. දැන් මොන පළමු රැයද, පෙරේතයන් පොළේ ගැසුවා සේ වැටුණු වැටුණු තැන්වල උන් නිදි ය.

පූර්ණිමා බණ්ඩාර


නව අදහස දක්වන්න