අමුතු අමුතු පළමු කතුන් | දිනමිණ

අමුතු අමුතු පළමු කතුන්

චම්පිකා දීපානි රණසිංහ

ඕනෑම ක්ෂේත්‍රයක අංක එකේ ස්ථානයට පත්වීම බොහෝදෙනකුගේ සිහිනයකි. ඒ සෑම සිහිනයක්ම උත්සාහයෙන් කැපවීමෙන් නැණ නුවනින් සැබෑකරගත යුත්තකි. එහෙත් ආදරය නිසාම අංක එකේ ස්ථානයට පත්වන්නෝ සිටිති. ලොව ජාතියේ අංක එකේ කාන්තාව වූ සෑම කාන්තාවක්ම එතැනට පත්වූයේ ආදරයට අංක එක ලබාදීම නිසා ය.

ධවල මන්දිරයේ අග රැජනන් වූ බිරින්දෑවරුන් අතරින් සුවිශේෂී කාන්තාවන්ද රැසක් සිටිති. ඒ අතරින් සුරූපී ජැකී කෙනඩි සුවිශේෂීය. ඇය තමන් රටේ පළමු කාන්තාව වේ යැයි සිහිනෙන් හෝ නොසිතූ අයෙකි. මුලින්ම ඇය පෙම්බැන්දේ දෙවැනි ලෝක යුද්ධයේ අත්දැකීම් ඇති බැංකුකරුවකු වූ ජෝන් හස්ටඩ් සමඟය. එහෙත් තමන්ට බිරියක වීමට හැකිවේවි දැයි යන සැකය නිසා 1952 වසරේදී ජැකී ඔහු සමඟ බැඳි විවාහ ගිවිසුම අවලංගු කරන ලදී. ඊළඟට ඇය අමෙරිකානු කොංග්‍රස් සාමාජික ජෝන් එෆ්.කෙනඩිට පෙම් බැන්දේ ය. රටේ විලාසිතා රැජනක් වීමට පෙර ජැකී ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රතිරූපයක් වීමට පෙර ඉතිහාසගත වූවා ය. ඒ 1962 දී එමී සම්මානය දිනා ගැනීමෙනි. ඇය ධවල මන්දිරයේ කළ චාරිකාව රූපවාහිනීගත කෙරිණි. ඒ සඳහා ඇයට එමී සම්මානය හිමි වූ අතර එම රූගත කිරීමට ඇය ‍ඩොලර් 50,000ක් (අද මුදලින් ඩොලර් හාරලක්ෂයක්) වියදම් කර තිබේ. ධවල මන්දිරයට මුල්වරට මාධ්‍ය ලේකම්වරයකු කුලියට ගත්තේ ද ඇයය.

අදටත් වසන්ත සමයේ අමෙරිකානු අධිවේග මාර්ගයන්හි ගමන් කරද්දී විවිධ පැහැති මල් නෙත ගැටෙන විට සිහියට නැ‍ඟෙන පළමු කාන්තාවක සිටියි. ඇය ක්ලෝඩියා ජොන්සන්ය. ළමාවියේ සිට කැළෑ මල්වලට ප්‍රිය කළ ක්ලෝඩියා සැමියා ලින්ඩන් බී.ජොන්සන් ජනපති ධුරය දරන විට අධිවේග මාර්ග කැලෑ මලින් විචිත්‍රවත් කළා ය. අදටද විවිධ පැහැයන්ගේ මලින් වෛවර්ණ වූ අධිවේගී මාර්ග දකින විට අමෙරිකානුවන්ට ඇයගේ නම සිහිවේ. පළමු කත ක්ලෝඩියාද මලක් මෙන් හැඩකාරියක වූවා ය.

පළමු කාන්තාව වීම එක් කතකට මුළු ලොවම ලැබුණා හා සමාන වුවත් තවත් කාන්තාවකට එය කටු ඔටුන්නක් හා සමාන විය. ජෙරල්ඩ් ෆෝඩ්ගේ බිරිය බෙටී බ්ලූමර්ට සැමියාගේ ජනපති පදවිය කෙතරම් නීරස වූවාද කිවහොත් ඇය ඔහු නිල නිවෙසේ ගතකරන අවසන් දිනයේ ඇය අමාත්‍ය මණ්ඩල කාමරයේ සම්මන්ත්‍රණ මේසය මතට නැඟ හැකිතරම් නර්තනයේ යෙදී ඇත්තේ උතුරා යන සතුටිනි.

සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක සිටින්නීය. රොසලින් කාටර් ඊට හොඳම උදාහරණයකි. ධනවත් රටකජු ගොවිපවුලක උපන් ජිමී කාටර් අමෙරිකාවේ තිස් නවවැනි ජනපතිවරයා ය. ඔහුගේ බිරිය රොසලින් කාටර් කැබිනට් රැස්වීම්වල අසුන්ගැනීමේ සම්ප්‍රදාය බිඳ දැමූ පළමු කාන්තාවයි. ඇය ජනාධිපති සැමියාටද උපදෙස් ලබාදුන් අතර ටයිම්ස් සඟරාව මඟින් අමෙරිකාවේ දෙවැනියාට වඩාත් බලසම්පන්න පුද්ගලයා ලෙසද නම්කර තිබිණි.

පළමු කාන්තාව යන නිල නාමය සමඟ අවසන් හුස්ම හෙළූ ආර්යාවකද ධවල මන්දිරියේ ඉතිහාස පොතේ සඳහන් වී ඇත. ඇය ජෝන් ටිලර් බිරිය ලෙටීටියා ය. දියණියගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වෙමින් සිටියදී ඇය ආඝාතයට ගොදුරුවී මිය ගියා ය. කෙටිම කාලයකට ජනපති බිරිය කිරුළට හිමිකම් කී කත ඇනා හැරිසන් ය. ඇයගේ සැමියා විලියම් හෙන්රි හැරිසන් ය. නව වැනි ජනපතිවරයා වූ ඔහු ජනපති ධුරයට පත්වී ජීවත් වූයේ දින තිස් එකකි. නියුමෝනියාවෙන් ඔහු මිය ගියේ ය. මේ නිසා ඇනා හැරිසන්ට ධවල මන්දිරයේ ඇතුළත දක්නට වරම් නොලැබිණි. 1841 දී ඇය රටේ පළමු කාන්තාව වුණත් සැමියාගේ මරණයත් සමඟ ධවල මැදුරේ පළමු වැන්දඹු කතද වූවාය. එලෙසම පළමු කාන්තාව වූ වයස්ගතම පළමු කාන්තාවද ඇයයි. ජනපති බිරිය වනවිට ඇය හැට පස් හැවිරිදිය.

ධවල මන්දිරයේ ළාබාලම පළමු කාන්තාව ෆ්‍රාන්සස් ෆෝල්සම් ක්ලීව්ලන්ඩ් ප්‍රෙස්ටන්ය ජනපති ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්ගේ අතගන්නා විට විසි එක් හැවිරිදිය. මුලින්ම ධවල මන්දිරය කිරි සුවඳින් නැහැවූයේ ද ඇයයි. තමන්ට වඩා විසි හත් වසරක් වැඩිමල් ග්‍රෝවර් සමඟ විවාහ වූ ඇය වයස අවුරුදු හතළිස් අටේදී වැන්දඹු වූවා ය. පුරා විද්‍යා මහාචාර්යවරයකු සමඟ යළි විවාහවීමෙන් නැවත විවාහයක් කරගත් ප්‍රථම අමෙරිකානු වැන්දඹු පළමු කත ලෙසද ඉතිහාසයට එක්විය.

බොහෝ අමෙරිකානු තරුණියන්ගේ සිහිනය පළමු කාන්තාව වීම වුවත් ෆ්‍රෑන්ක්ලීන් පියර්ස්ගේ බිරියට නම් එය එසේ වූයේ නැත. ඇය ජනාධිපතිවරණය පුරාම යාච්ඤා කළේ සැමියා ජනපතිවරණයෙන් පරදීවා කියායි. එහෙත් ඇයට අමෙරිකාවේ දාහතර වැනි ජනපතිවරයාගේ බිරිය වීමට සිදුවිය.

ධවල මන්දිරයේ පුස්තකාලයට යන්නෙකුට මිලඩ් ෆිල්මෝ ජනපති බිරිය ඇබ්ගේල් පවර්ස් අමතක කළ නොහැකිය. ප්‍රථම කාන්තාව වීමට පෙර ගුරුවරියක වූ ඇබ්ගේල් ධවල මන්දිරයේ පුස්තකාලයක් ඇරඹීමට ඩොලර් දෙදහසක අරමුදලක් පිහිටුවීය. අද වෙන විට ධවල මන්දිර පුස්තකාලයේ පොත් මිලියන දෙකකට වැඩි එකතුවක් තිබේ.ඉඩා මැක්කින්ලේ , විලියම් මැක්කින්ලේ ජනපතිවරයාගේ බිරියයි. විලියම් මැක්කින්ලේ ජනාධිපතිවරණයට ඉල්ලද්දී රෝගී වී ඔත්පොළ වී සිටි ඇය ඇඳට වී වූල් පාවහන් 3,500ක් ගෙතුවාය. අළු හා නිල් පැහැයන්ගෙන් පමණක් ගෙතූ එම පාවහන් ඇය සමාජ සේවා කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කළා ය.

ජනපති ෆ්‍රෑන්ක්ලීන් ඩිලානෝ රූස්වෙල්ට් බිරිය, එලිනෝ රූස්වෙල්ට් ගුවනින් ගමන් කළ ප්‍රථම පළමු කාන්තාවයි.

ප්‍රසිද්ධ ගුවන් යාත්‍රිකාවක වූ අමේලියා ඉයර්හර්ට් සමඟ එලිනෝ රූස්වේල්ට් ගුවන් යානයකින් බැහැරට ගියේ ධවල මන්දිරයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකින් ගැලවීමටය. පසුව එලිනෝට ගුවන් යානා පැදවීම ඉගැන්වීමට ද ඉයර්හර්ට් පොරොන්දු වී තිබේ.

දොළොස් වසරක් තරම් දිගු කාලයක් පළමු කත වීමට වරම් ලැබූ එකම කත ද එළීනෝ ය. විවිධ මේනියා තත්ත්වයන්ගෙන් පීඩාවිඳි අමෙරිකාවේ පළමු කතුන් අතර ඩ්වයිට් ඩී.ඊසන්හෝවර්ගේ බිරිය මාමී ඊසන්හෝවර් සුවිශේෂීය. ඒ ඇයගේ රෝස ප්‍රේමය නිසයි. විවිධ වූ රෝස පැහැයන්ට ඇය මොනතරම් ඇලුම් කළාද කිවහොත් ඇයගේ පළමු කාන්තා නිල නාමයට ‘රෝස’ යන විශේෂණ පදයද එක්කර තිබිණි. ‘මාමී’ රෝස කියා එකල රෝස පැහැය ජනප්‍රිය වී තිබූ අර පනහ දශකයේ ජනප්‍රියම පැහැය බවට රෝස පැහැය පත්වී තිබිණි.

ධවල මන්දිරයේ උසින් රජකළ කාන්තාවන් අතර පෙරමුණ ගෙන සිටින්නේ ඔබාමා බිරිය මිෂෙල් සහ එලිනෝ රූස්වෙල්ට්ය. දෙදෙනාම අඩි 5 අඟල් 11 ක් උසය.

ධවල මන්දිරයේ තණ පිට්ටනියට ගවයන් රැගෙන ආ පළමු කාන්තාව එලිසා ජොන්සන්ය. ඇන්ඩෲ ජොන්සන් ජනපතිව සිටි කාලයේ බිරිය එලිසා ධවල මන්දිරය ඉදිරිපස තණ පිට්ටනිය ගවයන්ගෙන් පිරවීය.

උස් මිටි යුවළක ලෙස ධවල මන්දිරයේ ඉතිහාසගතවී සිටින්නේ ඒබ්‍රහම් ලින්කන් සහ මේරි ටොඩ් ලින්කන්ය. ඒබ්‍රහම් ලින්කන්ගේ උස අඩි 6 අඟල් 4ක් වූ අතර මේරිගේ උස අඩි 5 අඟල් 2ක් විය.

අන්තර්ජාලයෙනි.


නව අදහස දක්වන්න