සමනල රජදහන | දිනමිණ

සමනල රජදහන

මලක් මත වසා සිටින සමනලයකුගෙන් චංචල සිතකට ලැබෙන්නේ මහත් අස්වැසිල්ලකි. එමෙන් ම විසිතුරු මෝස්තර රටාවලින් හා විචිත්‍ර වර්ණවලින් සමන්විත සමනල්ලු අවට පරිසර සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි. සත්ත්ව ලෝකයේ සිටින අනෙකුත් සත්ත්වයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වුවත් සමනලුන් බොහෝ දෙනාගේ නෙතට ප්‍රිය දසුනක් වන්නේ එනිසාවෙනි. වැසි වනාන්තරවල ජීවත්වන සහ විවිධ රටවල සමනල් වර්ග රැසක් ආරක්ෂාකාරීව ජීවත්වන, විනෝදකාමී සමනල ගොවිපළක් පිළිබඳ පුවතක් පසුගිය දිනක වාර්තා විය.

එංගලන්තයේ වෝවික්ෂයර් ප්‍රදේශයෙහි "Stratford Butterfly Farm" නමැති සමනල ගොවිපළ පිහිටා ඇත. ‍රටවල් විස්සකට වැඩි ප්‍රමාණයක ජීවත්වන සමනල වර්ග දෙසිය පනහක් මෙම ගොවිපළෙහි ජීවත් වේ. තව ද වැසි වනාන්තරවල ජීවත්වන දුර්ලභ ගණයේ සමනලුන් විශේෂ කිහිපයක් ද මෙහි ආරක්ෂාකාරී ලෙස ජීවත් වේ. එංගලන්තයේ පිහිටා තිබෙන විශාලතම නිවර්තන කලාපීය සමනල රජ දහන ලෙස ද මෙය හදුන්වනු ලබයි. මෙම ගොවිපළෙහි වෙසෙන ඇතැම් සමනලුන් නිවර්තන රටවල්වලින් ආනයනය කර තිබේ. එංගලන්තයේ ගම්මාන ආශ්‍රිතව ජීවත්වන මිනිසුන් ජීවනෝපාය මාර්ගයක් වශයෙන් සමනලුන් බෝ කීරීම සිදු කරනු ලබයි. ඔවුන් බෝ කරන විවිධ විශේෂයන්ට අයත් සමනලුන් ද මෙම ගොවිපළෙහි ජීවත් වේ.

සමනලුන් බෝ කිරීම එංගලන්තයේ ගම්මාන ආශ්‍රිතව ජීවත්වන මිනිසුන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් බවට පිළිගෙන තිබේ. තිරසාර පරිසර සංවර්ධනය අරමුණු කර ගනිමින් , සමනලුන් සංරක්ෂණය කිරීම මෙහි කරන මූලික කාර්යභාර්ය වේ.මෙම ගොවිපළ පිහිටා ඇති භූමියෙහි නිවර්තන කලාපීය ශාඛ විශාල වපසරියක වගා කර ඇත. ලන්ටනා නමැති පැළැටි වර්ගය සමනලුන්ගේ ප්‍රධානතම ආහාරය වශයෙන් පිළිගන්නා නිසා මෙහි වැඩිවශයෙන් ලන්ටනා පැළෑටි දැකගත හැක. මෙම ලන්ටනා පැළෑටිය ආසියානු රටවල ප්‍රචලිත වල් පැළෑටියක් ලෙස ද හදුන්වනු ලබයි. සමනලුන්ට පමණක් විශේෂිත වූ ගොවිපළක් වුවද මෙහි හරිත පරිසරයට අනුගතව සිටින සමනලුන්ට හානි නොවන විවිධ කෘමි විශේෂ සිටියි. කොළ පැහැති ඉගුවානස් නමැති සත්ත්වයා මීට අවුරුදු හතකට ඉහතදී දකුණු ඇමරිකාවෙන් පරිත්‍යාග කර තිබේ. ගොවිපොළේ අවට පරිසරය සිත්ගන්නා පරිදි සැකසීම සඳහා සමනලුන්ට හානි නොකරන විශේෂිත කුරුළු විශේෂ ද මෙහි යොදා ගෙන ඇත. අපූරු ආකාරයේ කොණ්ඩා මෝස්තරවලින් ,විවිධ වර්ණයන්ගෙන් සහ එකිනෙකට වෙනස් පිහාටුවලින් යුක්ත කුරුල්ලන් මෙම ගොවිපළ තුළදී දැක ගත හැක. පසුගිය ජුලි මාසයේ පස් වන දින ‍ලෝකයේ දැනට දක්නට ලැබෙන දුර්ලභ ගණයේ මකුළුවන් වර්ග කිහිපයක් මෙහි ප්‍රදර්ශනයේ තබන ලදී. ඒ ප්‍රදර්ශනයේ දී ඹස්ට්‍රේලියානු මකුළුවන් විශේෂ තුනක් මිනිසුන් බොහෝමයකගේ සිත් ගත්හ.

මෙම ගොවිපළ නත්තල් දින ඇතුළුව අවුරුද්දේ සෑම දිනකම විවෘතව තබයි. උදෑසන 10 සිට සවස 6 වන තෙක් මෙය විවෘතව තබනු ලබයි. මෙම ගොවිපොළ සංචාරකයින් ඇතුළු කිරීම අවසන් කරන්නේ සවස සවස 5.30 ය. ඒ වුව ද අවුරුද්දේ මාස දොළහේදී ගොවිපළ විවෘතව තබන ලද වේලාවන් වෙනස් වේ. මෙම වර්ෂයේදී මෙම ගොවිපළට පැමිණෙන වැඩිහිටියෙකුගෙන් ඇතුළත් වීමේ ගාස්තුව සඳහා පවුම් 7.25 ක මුදලක් ද , අවුරුදු තුනේ සිට අවුරුදු දහසය දක්වා දරුවන් සඳහා පවුම් 6. 75 ක මුදලක් අය කරනු ලබයි. තව ද වැඩිහිටියන් දෙදෙනකු සහ දරුවන් දෙදෙනෙකුගෙන් යුක්ත පවුලක් සඳහා පවුම් 22.50 ක මුදලක් අය කරනු ලබයි. කෘමිනාෂක භාවිතා කිරීමේ විධි ක්‍රම, පිළිබඳව සති අන්තයේ විවිධ සාකච්ජා පැවැත්වීම සිදු කරනු ලබන්නේ ද මෙම ගොවිපළෙහි අනුග්‍රහයෙනි. ‍නිවර්තන කලාපීය දේශගුණයට හිතකර කෘමි සතුන් පිළිබඳව අධ්‍යනයන් සිදු කරන පුද්ගලයින්ට අවශ්‍ය දැනුම මෙම ගොවිපළේ දී ලබා ගැනීමට සියලු පහසුකම් සපයා ඇත. විශේෂයෙන් කුඩා දරුවන්ට මෙහි වෙසෙන කෘමි සතුන් කිසිඳු බියක් නැතිව සමීපව ස්පර්ශ කිරීමට ද මෙහි දී අවස්ථාව උදා කර දී තිබේ.

‍ "සමනල ගොවිපළට අලුතින් පැමිණි මකුළු විශේෂ හේතුවෙන් මෙම ගොවිපලේ තවත් විනෝදශීලී අංගයක් වැඩිවුණා. මුළු පවුලම සමඟ මෙම ගොවිපළේ සිදු වී තිබෙන වෙනස අත්දැකීමෙන් විඳ ගන්න දැන් අවස්ථාව උදා වෙලා තියනවා" යනුවෙන් මෙම සමනල ගොවිපළේ වෙළෙඳ කළමණාකරු වන ජේන් කේන්ඩ්‍රික් මහතා වෙඩ් අඩවියෙහි අදහස් දක්වන ලදී.

අන්තර්ජාලය ඇසුරිණි .

 


නව අදහස දක්වන්න