පාකිස්තානයේ උණ්ඩ මැද ඡන්දය | දිනමිණ

පාකිස්තානයේ උණ්ඩ මැද ඡන්දය

ධම්මික සෙනෙවිරත්න
පාකිස්තාන තෙරික් ඉ. ඉන්සාෆ් පක්ෂය - ඉම්රාන් ඛාන්, පාකිස්තාන ජනතා පක්ෂය - බිලවල් භූතෝ සර්දාරි සහ පාකිස්තාන මුස්ලිම් ලීගය - ෂෙබාස් ෂරීෆ්

මැතිවරණයට දෙසතියකටත් අඩු කාලයක් තිබියදී සහ ආරක්ෂාව දැඩි කර තිබියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවීම කැළැඹිලි සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව පෙනෙන්නට තිබේ. මේ ප්‍රහාරයෙන් 20 දෙනකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඒ අතර අවාමි ජාතික පක්ෂයේ (ANP) දේශපාලනඥයකු වන හරූන් අහමඩ් බිලොර් ද සිටී. ඔහුගේ පියා වන බෂීර් අහමඩ් බිලොර්ද 2012 වසරේදී මෙබඳුම ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ‍ෙපෂාවර් නගරයේදී සිදු වූ මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් බාරගෙන ඇත.

පාකිස්තාන පාර්ලිමේන්තු මැතිවරණය 25 වැනිදා පැවැත්වේ. ආසන්න පස්වසර තිස්සේ බලයේ සිටින හිටපු අගමැති නවාෂ් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය යළිත් බලයට ඒමේ අරමුණින් තරග බිමට පිවිස සිටී. මුස්ලිම් ලීගයට අභියෝග කරමින් හිටපු අගමැතිනි දිවංගත බෙනාසීර් භූතෝගේ පාකිස්තාන ජනතා පක්ෂය භූතෝගේ පුත් බිලවල් භූතෝ සර්දාරිගේ නායකත්වය යටතේ ද හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තෙරික් ඉ. ඉන්සාෆ් පක්ෂයද මැතිවරණ සිටී. නවාෂ් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගයට නායකත්වය දෙමින් සිටින්නේ ඔහුගේ බාල සොහොයුරු ෂෙබාස් ෂරීෆ්ය. පාකිස්තාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 342කි. ඉන් 272 දෙනකුම මැතිවරණයෙන් තෝරා ගැනේ. ඉතිරි 70 දෙනා කාන්තා නියෝජනය සහ සුළු ජනකොටස් වෙනුවෙන් පත්කරයි. ආණ්ඩුවක් පිහිටුවීමට නම් කිසියම් දේශපාලන පක්ෂයක් ආසන 172ක් අවම වශයෙන් ලබාගත යුතුය. දැනට බලයේ සිටින නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගයට ආසන 166ක් හිමිය. ෂරීෆ්, ආණ්ඩුව පිහිටුවූයේ ස්වාධීන අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ සහාය ලබාගනිමිනි.

තුන්වන බලවේගය

ඉකුත් මැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ තෙරික් ඉ. ඉන්සාෆ් පක්ෂය පාකිස්තාන මුස්ලිම් ලීගයට සටනක් දෙන අයුරු පෙනෙන්නට තිබුණද දිනාගත්තේ ආසන 35ක් පමණි. ඔවුන් තුන්වැනි බලවේගය බවට පත්විය. ඩයිබර් ප්‍රදේශයේ සභාග පාලනයක් ඇති කිරීමටද ඉම්රාන්ගේ පක්ෂයට හැකි විණි.

මීළඟ ආණ්ඩුව පිහිටුවීමේ අපේක්ෂාව ඇතිව තරඟ බිමේ සිටින, තුන් වතාවක්ම අගමැතිධුරය දරා ඇති නවාෂ් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගයේ අගමැති අපේක්ෂක ෂේබාස් ෂරිෆ් එරට විශාලම ප්‍රාන්තය වන පන්ජාබයේ මහ ඇමැතිවරයාය. දැනට දශකයක් තිස්සේ ඔහු එය පාලනය කරන අතර දක්ෂ පාලකයකු ලෙස ජනප්‍රියත්වයට ලක්ව සිටී. එසේ වූවද ඔහුගේ විරුද්ධවාදීහු හිටපු අගමැති ෂරිෆ්ට එල්ල කළ දූෂණ චෝදනාව ඔහුටද එල්ල කරති. ෂෙබාස් ෂරිෆ් 66 හැවිරිදිය.

ක්‍රීඩා පිටියෙන් දේශපාලන පිටියට අවතීර්ණ වූ 65 හැවිරිදි ඉම්රාන් ඛාන් ජී. ටී. අයි. පක්ෂයේ අගමැති අපේක්ෂකයාය. මැතිවරණ අක්‍රමිකතා සිදුවූ බව කියමින් ඔහු රජයට එරෙහිව 2014 වසරේදී විරෝධතා ක්‍රියාමාර්ගවලට නායකත්වය දුන්නේය. ගත වූ පස්වසර තිස්සේ කජිබර් පස්තුන්ක්වා ප්‍රාන්ත පාලනය කරන ඔහුගේ පක්ෂය, ආණ්ඩුකරණයේදී ප්‍රතිසංස්කරණයද හඳුන්වා දුන්නේය. යටිතල පහසුකම් සංවර්ධන කිරීමේදී දූෂණ සිදුවූ බවට ඔහුගේ පක්ෂයටද චෝදනා එල්ල වී තිබේ.

භූතෝ දේශපාලන පෙළපතේ වර්තමානිකයා ලෙස පාකිස්තාන ජනතා පක්ෂය නියෝජනය කරමින් අගමැති සටනට පිවිස සිටින්නේ බෙනාසීර් භූතෝ - අසීෆ් අලිසර්දාරි යුවළගේ පුතු 29 හැවිරිදි බිලාවල් භූතෝ සර්දාරිය.

ඉකුත් මැතිවරණයේදී සිය පක්ෂයෙන් ගිලිහී ගිය ආණ්ඩු බලය යළි ලබා ගැනීම ඔහුගේ අපේක්ෂාවය. බිලාවල්ගේ දේශපාලන අනාගතය උරගා බලන උරගල බවට මෙවර මහ මැතිවරණය පත්ව ඇත. දැනට සින්ද් ප්‍රාන්තය පාලනය කරන්නේ පාකිස්තාන ජනතා පක්ෂයයි. දශකයක් තිස්සේ එහි බලය අත්කරගෙන සිටින ඔවුන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු නොකළ බවට ඇතැම් විවේචකයෝ චෝදනා නඟති.

අපේක්ෂකයන්ගේ අඩුවක්

ඡන්ද කොට්ඨාස 849ක් සඳහා තරඟ වැදී සිටින අපේක්ෂක සංඛ්‍යාව 11855කි. මැතිවරණයේදී ජාතික සභාවට මෙන්ම පළාත් සභා 4ට ද නියෝජිතයන් පත්කර ගැනීම එරට මැතිවරණ ක්‍රමයේ ස්වභාවයය. පාකිස්තානයේ ජනගහනය කෝටි 20කට ආසන්නය. මෙවර මැතිවරණයේදී ද වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් තරග කරනනේ පන්ජාබයෙනි. එය 1623කි. කෙසේ වුවද 2013 දී පැවැති මැතිවරණයට වඩා මෙවර තරඟ වදින අපේක්ෂක සංඛ්‍යාව ප්‍රමාණාත්මකව අඩුය. ජනගහනයෙන් හරි අඩකට පමණ ඡන්ද බලය හිමි වී ඇත. අපේක්ෂක සංඛ්‍යාවේ අඩුවක් තිබුණද 2013 පාර්ලිමේන්තු මැතිවරණයට වඩා පස්ගුණයකින් ආරක්ෂාව දැඩි කිරීමට පියවරගෙන තිබේ. ඡන්ද මධ්‍යස්ථාන සඳහා 370,000ට වැඩි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇත.

මැතිවරණයට දෙසතියකටත් අඩු කාලයක් තිබියදී සහ ආරක්ෂාව දැඩි කර තිබියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවීම කැළැඹිලි සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව පෙනෙන්නට තිබේ. මේ ප්‍රහාරයෙන් 20 දෙනකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඒ අතර අවාමි ජාතික පක්ෂයේ (ANP) දේශපාලනඥයකු වන හරූන් අහමඩ් බිලොර් ද සිටී. ඔහුගේ පියා වන බෂීර් අහමඩ් බිලොර්ද 2012 වසරේදී මෙබඳුම ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ‍ෙපෂාවර් නගරයේදී සිදු වූ මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් බාරගෙන ඇත. 2008 – 2013 වකවානුවේ කයිබර් පත්තුන්ක්වා පළාතේ අගනුවර වන පෙෂාවර් හි පාලනය ANP ය යටතේ විය. ඒ අවධියේ පටන්ම තලේබාන්වරු එම පක්ෂය සමඟ වෛර බැඳගෙන තිබිණි. ස්වෑම් නිම්නයේ සන්නද්ධ කල්ලිවලට එරෙහිව ආරක්ෂක අංශ දියත් කළ දැඩි ක්‍රියාමාර්ග ඊට බලපෑවේය. 2013 මැතිවරණ සමයේදීද ANP ආධාරකරුවන් සිය ගණනක් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්විය. ඉකුත් අඟහරුවාදා සිදුකළ ප්‍රහාරය ANP යෙන් පළිගැනීමක් බව පවසන තලේබාන් සංවිධානය එම ප්‍රචාරක රැලිවලට සහභාගිවීමෙන් වළකින ලෙසට ජනතාවට අනතුරු අඟවා තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සිටින බි‍ෙලාර්ගේ 16 හැවිරිදි පුත්‍රයා වන ඩැනියෙල් බිලොර් සන්සුන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. ‘ඔබේ අයිතීන් වෙනුවෙන් ජීවිතය වුවත් පරිත්‍යාග කිරීමට මා සූදානම්’ යනුවෙන් ඔහු පවසා තිබිණි.

පාකිස්තාන රජය මෙන්ම දේශපාලන පක්ෂ ද මෙම ප්‍රහාරය හෙළා දැක ඇත. බාරකාර අගමැති නස්රුල් මලික් ආරක්ෂක විධිවිධාන දැඩි කරන ලෙසට අදාළ අංශවලට නියෝග කර තිබේ. ANP යේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මිලාන් ඉෆ්තිකාර් හසන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට හා මැතිවරණය කල්දැමීම අරමුණු ‍කොට සිදුකළ එකක් බවයි. PTI පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රහාරය හෙළා දුටුවේය. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ සියලු අපේක්ෂකයන්ගේ හා දේශපාලන පක්ෂවල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ආරක්ෂක හමුදාව

පාකිස්තාන හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් අසීෆ් ගෆූර් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ආරක්ෂක හමුදාවන්ගේ කැපවීම තහවුරු කළේය. දූෂණ චෝදනා හේතුවෙන් ඉකුත් සතියේදී 10 අවුරුදු සිර දඬුවමක් නියම වූ හිටපු අගමැති නවාෂ් ෂරිෆ් හමුදාවට චෝදනාවක් නඟා ඇත. ඔහු පවසන්නේ පාකිස්තාන හමුදාව ඉම්රාන් ඛාන්ට වාසිදායක වන අන්දමින් මැතිවරණයේදී ක්‍රියාත්මක වෙමින් ඇති බවය. ඊට ප්‍රතිචාර දක්වමින් මේජර් ජෙනරාල් ගෆූර් පවසන්නේ, හමුදාවට දේශපාලන පක්ෂයක් නොමැති බව සහ කිසිවකුටත් පක්ෂපාතී වීමට අවශ්‍යතාවක්ද නැති බවය. පාකිස්තානයේ වසර 71ක ඉතිහාසයේ අඩක් පමණ ගෙවී ගොස් ඇත්තේ හමුදා පාලනය යටතේය. ප්‍රජාතන්ත්‍රවාදීව බල වෙනසක් සිදුවන දෙවන අවස්ථාව ඉදිරි මහ මැතිවරණයයි.

පක්ෂ ප්‍රතිපත්ති

පාකිස්තාන ජනතා පක්ෂයේ නායකයා මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වන අසීෆ් අලි සර්දාරි ද මෙවර මැතිවරණ සටන් බිමේ නොමැත. ඔහු හිටපු අගමැතිනි බෙනාසිර් භූතෝගේ සැමියාය. බෙනාසීර් ඝාතනය වූයේද මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියදී බෝම්බ ප්‍රහාරයකිනි.

මේ වන විට මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රධාන දේශපාලන පක්ෂ 3 විසින්ම ඉදිරිපත්කොට අවසන්ය. ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය සිය මෙහෙවර වශයෙන් සඳහන් කරන්නේ, පාකිස්තානය ඉස්ලාමීය සුබසාධනවාදී රාජ්‍යයක් ලෙස ගොඩනැගීමය. රැකියා දසලක්ෂයක වැඩපිළිවෙළක්ද ඔවුන්ගේ පොරොන්දු අතර තිබේ.

පාකිස්තාන මුස්ලිම් ලීගය (N) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින්, ඡන්දයට ගරු කරන ලෙස සහ කාර්ය සාධනය මතය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි. පාකිස්තාන ජනමාධ්‍ය මැතිවරණ ප්‍රකාශන 3 ගැනම සැලකිය යුතු අවධානයක් යොමුකරමින් වාර්තා කර තිබිණි. ඒවා සන්සන්දනාත්මකව සලකා බැලීමටද ඇතැම් පුවත්පත් කටයුතු කර ඇත. තමන් ඉටු කළ වැඩකොටස පිළිබඳ වැඩි ඉඩක් වෙන්කර දක්වා ඇත්තේ ෂරීෆ්ගේ පක්ෂයේ ප්‍රකාශනයේ බව ඒ ඇතැම් පුවත්පත්වල සඳහන් විය. 2013 වසරේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා සසඳමින් මෙවර එම ප්‍රකාශනය විග්‍රහ කිරීමටද ‘ද නිව්ස් ඉන්ටර්නැෂනල්’ පුවත්පත වගබලාගෙන තිබිණි.

පාකිස්තාන ජනතා පක්ෂය (PPP) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් හඬක් නැති, වරප්‍රසාද නොලත් පංතිය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවද එය වාර්තා කළේය. පාකිස්තානයට ඇත්තේ කෘෂිකාර්මික ආර්ථිකයක් බව අවධානයට ගනිමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළියෙළ කර ඇත්තේ ජනතා පක්ෂය පමණක් බවද ‘ ද නිව්ස් ඉන්ටර්නැෂනල්’ සඳහන් කර තිබිණි. පාකිස්තාන මැතිවරණය ක්‍රමයෙන් උණුසුම් වෙමින් ඇත. ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් බිය මෙන්ම සැක සංකා මතුව තිබුණද ප්‍රධාන දේශපාලන පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාර පෙරට ගෙනයමින් සිටී. බලයේ සිටින පක්ෂය යළිත් රටේ අනාගතය බාරගනු ඇතිද, නව නායකයකුට හා පක්ෂයකට රට බාරදෙනු ඇතිද යන වග තවත් දින කිහිපයකින් පැහැදිළි වනු ඇත.

නව අදහස දක්වන්න