ප්‍රංශය දශක 2කට පසුව ලෝක පාපන්දු කිරුළ දිනයි | දිනමිණ

ප්‍රංශය දශක 2කට පසුව ලෝක පාපන්දු කිරුළ දිනයි

ෆවුස් මොහොමඩ්

වාසනාව මතින් ජයග්‍රහණයේ මාවත විවර කරගත් ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ගෝල් 4-2කින් ක්‍රොඒෂියාව පරාජය කරමින් දශක දෙකකට පසුව සිය දෙවැනි ලෝක කුසලානය දිනාගත්තේය. ඔවුන් පළමු වරට ලෝක කුසලානයක් දිනාගත්තේ 1998 වසරේදීය.

තරගයේ පළමු භාගයේදී ක්‍රොඒෂියානු ක්‍රීඩකයන්ගේ පිහිටෙන් ගෝල 2ක් ලබා හිස ඔසවාගත් ප්‍රංශය දෙවැනි භාගයේදී පරිණත ක්‍රීඩා විලාශයක නිරතවෙමින් ශුරයන් බවට පත්වූවත් ඊයේ මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයට රැස්වූ අසූදහසකට ආසන්න අතිවිශාල ක්‍රීඩාලෝලින් පිරිසකගේ සිත් දිනාගැනීමට ක්‍රොඒෂියාව සමත්විය. සිය ක්‍රීඩා ඉතිහාසයේ පළමු වතාවට අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ මේ කුඩා රට තරගයේ පළමු භාගයේදී ප්‍රංශය අනපේක්ෂිත ලෙස අන්දමන්ද කිරීම නිසා කාගෙත් අවධානය දිනාගත් සිදුවීමක් විය.

ගෝල 2-1කින් පළමු භාගයේ පෙරමුණ ගත් ප්‍රංශය දෙවැනි භාගයේදී ඉහළට ඔසවා තබමින් පෝල් පොග්බා සහ කයිලාන් බපේ මිනිත්තු 6ක් ඇතුළත පිට පිට ගෝල 2ක් වාර්තා කිරීමෙන් තරගයේ වාසිය එහෙම පිටින්ම ප්‍රංශය දෙසට හැරිණි. තරගයේ 59 වැනි මිනිත්තුවේදී පොග්බාගේ ගෝලය වාර්තා වූයේ බපේ ලබාදුන් පන්දුවට එල්ල කළ වේගවත් පහර ක්‍රොඒෂියානු ක්‍රීඩකයකුගේ සිරුරේ ගැටී නැවත ඔහු වෙතටම ඇදී යාමෙන් පසුව දෙවැනි වතාවටත් වේගවත් පහරක් එල්ල කිරීමෙනි. එය නතර කරගැනීමට ගෝල් රකින ඩැනිජෙල් සුබාසික් සමත්වූයේ නැත. අනතුරුව ඊට මිනිත්තු 5කට පසුව බපේ විසින් යාර 25ක දුරක සිට නිවැරැදි ඉලක්කයට එල්ල කළ පහරින් ප්‍රංශයේ සිවුවැනි ගෝලය වාර්තා විය.

මේ ගෝලයත් සමග බපේ 1958 වසරේ දී ස්විඩනයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ස්විඩනයට එරෙහිව ගෝල දෙකක්ම වාර්තා කරමින් එවකට 18 හැවිරිදි වියෙහි පසුවූ බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක පේලේගෙන් පසුව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයක ගෝලයක් වාර්තා කළ පළමු ලාබාලතම ක්‍රීඩකයා බවට පත්විය.

ඉන් අනතුරුව 69 වැනි මිනිත්තුවේදී මරියෝ මැන්ඩ්සුකික් ඉතා හාස්‍යජනක ගෝලයක් වාර්තා කිරීමට සමත්වූයේ ප්‍රංශ පිලේ ගෝල් රකින නායක හියුගෝ ලෝරිස්ගේ දුර්වලතාවකින් ඵල නෙලා ගනිමිනි. එය සිදුවූයේ ඔලිවර් ගිරෝඩ් විසින් යොමු කරන ලැබු පන්දුව අතට නොගෙන නැවත පා පහරකින් ඔහු වෙතට එල්ල කිරීමට ලෝරිස් උත්සාහ කිරීමේදි ඉදිරියට පැන එය දැල තුළට යොමු කිරීමට මැන්ඩ්සුකික් සමත්වීමෙනි.

තරගයේ 18 වැනි මිනිත්තුවේදී ප්‍රංශයට පළමු ගෝලය ලැබුණේ ඇන්ටෝනියෝ ග්‍රීස්මාන් එල්ල කළ නිදහස් පහරකින් පන්දුව ගෝල් කණුව කරා ඇදී යද්දී එක පොදියට ප්‍රංශ ක්‍රීඩකයන් සමග ගැටුණු මරියෝ මැන්ඩ්සුකික්ගේ හිසෙහි වැදීමෙනි. එය මෙවර තරගාවලියේ 12 වැනි ‘ඕන් ගෝලය‘ (Own Goal) වූ අතර එතෙක් මෙතෙක් වසර 88ක ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ අවසන් මහා තරගයක වාර්තා වූ පළමු ‘ඕන් ගෝලය‘ මෙය විය.

මේ වාසනාවන්ත ගෝලයෙන් පෙරමුණ ගත් ප්‍රංශයට වැඩි වේලාවක් යාමට පෙර ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ ක්‍රොඒෂියාව ගෝල 1-1කින් තරගය සමකර ගැනීමට සමත්වූයේ 28 වැනි මිනිත්තුවේදී ඉවාන් පෙරසික් එල්ල කළ සුපිරි ගෝලයෙනි. නායක ලූකා මොඩ්රික් ඈත සිට ප්‍රංශ ගෝල කණුව දෙසට එල්ල කළ පන්දුවට සයිම් ව්රැසල්කෝ හිසින් ගැසූ පහරින් තම දකුණු පාදයට පන්දුව ලබාගත් පෙරිසික් ඊළඟට වම් පාදයෙන් ඉලක්කයට එල්ල කරමින් ක්‍රොඒෂියාවට යම් සහනයක් ගෙන දුන්නේය.

වාසනාව නැවත වාරයක් ප්‍රංශය සොයා පැමිණියේ 33 වැනි මිනිත්තුවේදීය. එවර අවාසනාවන්තයා බවට පත්වූයේ තරගය සමකළ පෙරිසික්මය. ග්‍රීස්මාන් එල්ල කළ පහරකින් පන්දුව තම ගෝල් සීමාව දෙසට ඇදී යද්දී එය ඉතා අවාසනාවන්ත ලෙස පෙරිසික්ගේ දකුණතේ වැදීම නිසා ප්‍රංශයට දඬුවම් පහරක් හිමිවිය. කෙසේ වුවත් මේ දඬුවම් පහර පිරිනැමීමට පෙර රූපවාහිනි සහය විනිසුරුගේ පිහිට පැතීමට ප්‍රධාන විනිසුරුවරයා පියවර ගත්තේය. ඒ අනුව ග්‍රීස්මාන් විසින් එල්ල කරනු ලැබූ දඬුවම් පහරින් දෙවැනි ගෝලය වාර්තා කළ ප්‍රංශය පළමු භාගය නිමාවෙද්දී ගෝල 2-1කින් පෙරමුණ ගත්තේය.

ත්‍යාග ප්‍රදානෝත්සවයට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් සහ ක්‍රොඒෂියාවේ ජනාධිපතිනිය කොලින්ඩා ග්‍රාබර් සමග ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එක්වූහ.

තරගාවලියේ වීරයා - ලූකා මොඩ්රික් (නායක ක්‍රොඒෂියානු පිල)

වැඩිම ගෝල සඳහා රන් සපත්තුව - හැරී කේන් (එංගලන්ත පිලේ නායක)

හොඳම ගෝල් රකින්නා - තිබෝට් කෝටොයිස් (බෙල්ජියම)

තරගාවලියේ යොවුන් ක්‍රීඩකයා - කයිලාන් බපේ (ප්‍රංශය)

 

නව අදහස දක්වන්න