වන ඝනත්වය නංවා ගැනීමට රජය කැපවී සිටිනවා | දිනමිණ

වන ඝනත්වය නංවා ගැනීමට රජය කැපවී සිටිනවා

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප‍්‍රමූඛ පියවරක් වශයෙන්, දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහා එය සියයට 32‍ දක්වා වර්ධනය කර ගැනීම සඳහාත් වඩා සුදුසු පියවර අනුගමනය කිරීමට ශ‍්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසයි. 

හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවේ හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයේ විශේෂ දේශනය සිදුකරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේය.

සමුළුව රෝමයේ පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී අද පෙරවරුවේ ආරම්භ කෙරිණි. 

මේ එහි දී වැඩිදුරටත් සමුළුව ඇමතූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන -

වනාන්තරවලින් මිනිසාට සමාජ, ආර්ථික ප‍්‍රතිලාභ රැසක් උදාවන අතර ආහාර, බලශක්ති, වාසස්ථාන ඇතුළු මානුෂිය අවශ්‍යතා සපුරාලන වන පද්ධතිය තිරසර ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත්.

ඒ සඳහා පුළුල් සංවාදයකට සහ තීන්දු තීරණ ගැනීමට හොඳම වේදිකාව මෙම ලෝක වන සංරක්ෂණ කමිටුවයි.

එය ඉදිරියේ ඇති න්‍යාය පත‍්‍රය ඉතා සංකීර්ණ මෙන්ම අභියෝගාත්මක වුව ද, ඒවා ජය ගැනීම සඳහා සියලූ සාමාජික රටවල් සාමුහිකව කැපවිය යුතුයි.

ශතවර්ෂ කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවේ තිබූ සියයට 50‍කට වැඩි වන ආවරණය වර්තමානය වන විට සියයට සියයට 29‍ දක්වා පහතට පැමිණ ඇත.

විශාල වශයෙන් සිදුවන කෘෂිකාර්මික කටයුතු සහ ජනාවාස ඉදිකිරීම සඳහා ඉඩම් භාවිතය හේතුවෙන් මෙම වන ආවරණය අහිමිවී ඇති අතර, මේ හේතුවෙන් දැඩි පාරිසරික උවදුරුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

වනාන්තර ප‍්‍රතිරෝපණය රජයේ ප‍්‍රධාන වගකීමක් ලෙස ඉටුකරන අතර 2020 වන විට පැළ මිලියන 05 ක් වගා කිරීම, පරිසරය හා ජල පද්ධති ආරක්ෂා කිරීම සඳහා මුහුදු මට්ටමින් අඩි 5000කට ඉහළින් පිහිටා ඇති ගස් කපා පහත හෙළීම තහනම් කිරීම, සෑම පාසල් දරුවෙකුම එක් පැළයක් රෝපණය කිරීමට දිරිමත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ වන විට රජය කි‍්‍රයාත්මක කරමින් සිටිනවා.

ශ‍්‍රී ලංකාවට සහ එහි ජනතාවට එක්සත් ජාතින්ගේ අහාර හා කෘෂිකර්ම සංවිධානය නිරන්තයෙන් ලබාදෙන සහය පිළිබඳ ස්තූතියි පළ කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙම සමුළුව සංවිධානය කරයි.

මේ අතර එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් José Graziano da Silva මෙම සමුළුව අමතමින් කියා සිටියේ සාමාජික රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සහය දැක්වීම තම සංවිධානයේ අරමුණ බවයි. 

පරිසරය රැක ගැනීම වෙනුවෙන් දැඩි කැපකිරීමකින් සහ  ඕනෑකමකින් කටයුතු කරන නායකයෙකු ලෙස මෙම සමුළුවට ශ‍්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සහභාගිත්වය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇගයීමට ලක්විය.

 

නව අදහස දක්වන්න