පමණට වඩා ආශාව හොඳ ද ? නරකද? | දිනමිණ

පමණට වඩා ආශාව හොඳ ද ? නරකද?

පුද්ගලයාගේ සිතේ විවිධාකාර හැඟීම් ඇති වේ.එම හැඟීම් උපරිම ලෙස රස විඳීමට යාම නිසා, ජීවිතය බිඳ වැටීමට ද ඉඩ ඇත. මෙය බෞද්ධාගමික පැහැදිලි කිරීම තුළ කදිමට විස්තර කර තිබේ. ඉන් ප්‍රධාන වශයෙන් ම පවසන්නේ, යම් දෙයක් ගැන වැඩි වශයෙන් ඇලී ගැලී සිටීම, පරිහානියට හේතු වන බව ය. මෙය මනෝ විද්‍යාව තුළ, යම් ප්‍රමාණයකට , යම් දෙයක් ගැන ආශා ඇති කර ගත්තාට වරදක් නැති බවත්, එහි උපරිමයට යාම නොකළ යුතු බවත්, බෞද්ධ විග්‍රහයට සමාන්තරව යමින් පවසා ඇත. විලියම් මැක්ඩුගල් නමැති මනෝ විද්‍යාඥයා , සහජ ලැදියා පිළිබඳ විස්තර කර ඇත. ඔහු, මූලික ලැදියා(ආශා) 12/14 පමණ ඉදිරිපත් කළ ද, පසුව ඔහුගේ අනුගාමිකයන් එය 6000 දක්වා වැඩි කර ඇත. උපතින් ම ගෙන එන සහජ ලැදියා භුක්ති විදින්නේ කොහොමද? මේ ඒ පිළිබඳ සටහනකි.

ලැදියාව (Instine)

කුසගින්න, කුතුහලය, ආක්‍රමණ,ජුගුප්සාව,ගැලවීම, මසුරුකම, නිර්මාණාත්මක, මාතෘ, පීතෘ, ලිංගික, රංචු ගැසීම , අධිරෝපණය, යටත් වීම

අරමුණ ( Object)

ආහාර, ද්‍රව්‍ය, සිදුවීම්, අනතුර, පිළිකුල් සහගත දේ, භයානක සිදුවීම්, ද්‍රව්‍ය හෝ මුදල්, ද්‍රව්‍ය, ළමයි, ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්, තම වර්ගයන්, තමන්, තමාට වඩා ප්‍රභල අය

චිත්ත වේග (Emotion)

සාගින්න, පුදුමය, කෝපය, පිළිකුළ, බිය, අයත්කර ගැනීම, නිර්මාණ, ආදරය, රාගය, සමාජ ආරක්ෂාව, හීනමානය, අල්පේච්ඡතාව

ක්‍රියාවලිය ( Action)

අනුභවය, ප්‍රත්‍යක්ෂ කිරීම, සටන් කිරීම, ප්‍රතික්ෂේප කිරීම, දිවීම, පැන යාම, රැස් කිරීම, නිපදවීම, හදාවඩා ගැනීම, සංසර්ගය, සාමූහික ක්‍රියා, අධීක්ෂණය, අනුගමනය

ඉහත ආකාරයට විවිධ ආශා ඇති අතර, එය යම් ප්‍රමාණයකට අත්විඳීමෙන්, ජීවිතය රසවත් වේ. උදාහරණයක් ලෙස, මසුරු බව ගත් විට, එහි අරමුණ වන්නේ ද්‍රව්‍ය හෝ මුදල් සෙවීම ය. ජීවිතය සුන්දරව ගත කිරීමට, මුදල්, ද්‍රව්‍ය යම් ප්‍රමාණයකට අවශ්‍ය ය. ඒ ඔස්සේ යමින්, ධනය, වස්තුව රැස්කර ගැනීමේ සීමා තබා ගත යුතු ය.එවිට ඉන් ලැබෙන සතුට අත්විඳිය හැකි ය. එසේ නොවී, අසීමාන්තිකව අත්පත් කර ගැනීම, රැස් කිරීම, මුළු ජීවිත කාලය පුරා සිදු කළ විට, රැස් කර ගත් දෙයින් සතුටක් විඳීමට කාලයක් නොමැති වෙයි. මෙය, ලිංගික සහජ ලැදියාව තුළ ද එසේ ම ය. මන්ද, විරුද්ධ ලිංගික ආකර්ෂණය සහ සංසර්ගයේ යෙදීම අත්‍යවශ්‍ය අංගයක් වුව ද, සීමාසහිතව විවාහය මුල් කර ගෙන එය කළ යුතු ය . රංචු ගැසීම ද වයස් බේදයකින තොරව, ගැහැනු - පිරිමි තමන්ගේ යහළුවන් සමඟ විනෝද වීමට විවිධ තැන්වලට එක් වේ. එයින් සමාජශීලිභාවය, සමාජයේ හුදෙකලා නොවීම සිදු වේ. එසේ ම, රංචු ගැසීම නිසා, යහපත්, සාමූහික ක්‍රියා රැසක් කිරීමට ද පුළුවන. මෙය, යහපත් පැත්ත ය. එහෙත් සොරුන්, කණ්ඩායමක් ලෙස රංචු ගැසීම කරන අතර, ඔවුන් එකතු වී කරන්නේ සමාජ අයහපතකි. එය වැරැදි ය. මෙය තවත් පැත්තකින් ගත් විට, ඉගෙන ගන්නා වයසේ තම යහළුවන් සමඟ රංචු ගැසීම, පාඩම් කළ යුතු කාලය නිකරුනේ නාස්ති කර ගැනීමකි. යහළුවන් සමඟ සිටීමටත්, ඉගෙනීමටත් කාලය වෙන් කර ගත යුතු ය. වර්තමානය වන විට, සමාජ මාධ්‍යයන්ට , අන්තර්ජාලයට අධික ලෙස ඇලීම, බහුතර දරුවන්ගේ පරිහානියට හේතුවකි. එම නිසා,

අපි අපේ ආශා ඇලෙන තැන ගැන ටිකක් නොව, හුඟක් කල්පනා කර බැලිය යුතු ය. එයට සීමා දමා ගත යුතු ය. බුදු දහමට අනුව සිත දමනය , මනෝ විද්‍යාත්මකව ද සාර්ථක ජයග්‍රහණයක ආරම්භය ය.

මනෝ උපදේශක හා මානව හැකියා සංවර්ධන උපදේශක
ධනුෂ්ක ආරියවංශ

නව අදහස දක්වන්න