එල්ලුම් ගහසූදානම් ! | දිනමිණ

එල්ලුම් ගහසූදානම් !

“මේ දවස්වල චැපල් වාට්ටුවේ රැඳී සිටින මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් ගැස්සිලා ඉන්නේ. සමහරුන්ට බඩේ අමාරුව“ “ඉස්සෙල්ලම එල්ලන්නේ කවුද ?” කා ටත් ඇති ප්‍රශ්නය එයයි.

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන ආකාරයට මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින පිරිස දහ අට දෙනෙකි. මේ අතර එක් කාන්තාවක් ද වේ. නමුත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ මේ දහ අට දෙනා අතර කුඩු ලෝකයේ නම් දැරූ කුඩුකාරයන් නොමැති බවය.

ඊට හේතු වී ඇත්තේ ‘වෙලේ සුදා’ වැනි අය ද අභියාචනා ඉදිරිපත් කර ඇති නිසා ඔහුට එරෙහිව තවමත් නඩු විභාග වෙමින් පවතින බවය. කෙසේ වුවද රටේ සිදුවන මත්ද්‍රව්‍ය රැල්ල පාලනය කිරීම හමුවේ ඇති එකම විසඳුම ලෙස සාමාන්‍ය ජනතාව දකින්නේ ‘මරණීය දණ්ඩනය’ ක්‍රියාත්මක කිරීමය.

කාලයෙන් කාලයට රටේම අවධානය දිනා ගනිමින් මකුළු දැල් ඉවත් කැර පිළිසකර කැරෙන, අලුත් වන එල්ලුම් ගහ මෙවර නම් ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි බොහෝ අයගේ අදහසයි. එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට සුදුසු වටපිටාව කුමක් ද යන්න ගැන වගකිව යුත්තෝ මේ දිනවල විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා කරමින් සිටිති.

“ඇත්තටම එල්ලුම් ගහ නැවතත් ක්‍රියාත්මක වේවිද?” “රටේ අපරාධ අඩු කරන්න එල්ලුම් ගහ අවශ්‍යයි” ඒ ජනතා මතයයි. කවුරු කොහොම කිව්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක වුණොත් උද්ගත වන තත්ත්වය කෙබඳු වේවිද? “මේ දවස්වල චැපල් වාට්ටුවේ රැඳී සිටින මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් ගැස්සිලා ඉන්නේ.

සමහරුන්ට බඩේ අමාරුව“ ඒ බන්ධනාගාර නිලධාරියකු කියූ කතාවකි. ඇත්තටම මරණීය දඬුවම ලැබූ රැඳවියන්ට ‘’බඩේ අමාරුව“ හැදෙන්නට තරම් ‘එල්ලුම් ගහ’ ප්‍රබලය. මීට කලකට පෙර මෙරට බන්ධනාගාර දෙකක එල්ලුම් ගස් දෙකක් තිබිණි. එකක් බෝගම්බර බන්ධනාගරයේය. අනෙක වැලිකඩ බන්ධනාගාරයේය.

බෝගම්බර බන්ධනාගාරය මහනුවරින් ඉවත් කිරීමත් සමඟ එහි තිබූ එල්ලුම් ගහ ද ඉවත් කෙරිණි. දැන් රටටම තියෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහ පමණි. මීට වසර දහඅටකට පෙර එනම් දෙදහ වසරේදී බෝගම්බර එල්ලම් ගහ තිබූ ස්ථානයට නැඟ එය පරීක්ෂා කිරීමේ අවස්ථාව අපට අහම්බයෙන් ලැබුණි. එල්ලුම් ගහ දුටු මොහොතේ සිතට නැඟුණේ හදවත සසල කරවන හැඟීමකි. චකිතයකි. කනස්සල්ලකි.

මින් වසර තුනකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටු සංකීර්ණයේ ඇති එල්ලුම් ගහ ළඟටම යන්නට හා එය බලන්නට ද අවස්ථාව ලදිමි. චැපල් වාට්ටු සංකීර්ණයේ මරණීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන් ගණන හාරසිය අසූ අටකි. ඒ පිරිමින්ය. කාන්තවෝ ද ඒ අතර වෙති.

මේ වන විට දිවයින පුරා බන්ධනාගාර ගත රැඳවියන් අතරින හයසිය දෙනකු මරණීය දණ්ඩනය අභියාචනා ඉදිරිපත් කර තිබේ. අභියාචනා ඉදිරිපත් කළ කාන්තාවෝ ද සිටිති. වරදක් කළ පමණින් මරණීය දණ්ඩනය නියම වූ පමණින් කොළ නැති ගහේ යන්නට ද නිකම්ම බැරිය.

ඊට සුදුසුකම් තිබිය යුතුය. කොළ නැති ගහ අසනීපයෙන් සිටින, යම් මානසික ව්‍යාකුලතා තිබෙන අය එල්ලා මරන්නේ නැත. මරණීය දණ්ඩනය නියම වූ යම් කෙනෙක් ඒ දඬුවම ලබන මොහොතේ නිරෝගී බවින් සිටිය යුතුය. ඒ බන්ධනාගර උසස් නිලධාරියකුගේ අදහසයි. එය එසේ නම් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය නියම වී සිටින රැඳවියන් අතර වැඩිපුරම සිටින්නේ වයස අවුරුදු හැට පහට වැඩි, ඇස් නොපෙනෙන, කන් නොඇසෙන විවිධ ශාරීරික දුබලතා ඇති රැඳවියන්ය.

“ඉස්සෙල්ලම කවුරු එල්ලයිද?” එල්ලම් ගහ ගැන කතා කරන විට මහජනතාව නඟන ඊළඟ ප්‍රශ්නය වන්නේ ප්‍රථමයෙන් එල්ලන්නේ කවුරුන්ද යන්නයි. එල්ලුම් ගහේ යන්නට පෝලිමේ සිටිය ද මරණීය දණ්ඩනය නියම වූ තැනැත්තා තිරණය කරනු ලබන්නේ එකල නම් අග්‍රාණ්ඩුකාරවරයාය. වර්තමානයේ නම් ජනාධිපතිවරයාය. මරණ දඬුවම ක්‍රියාත්මක වූ පසු පුද්ගලයකු එල්ලා මරන්නට බන්ධනාගාරයටම ආවේණික ක්‍රම පටිපාටියක් ඇත්තේය. ක්‍රියා පටිපාටිය “ඒ කාලේ මරණීය දණ්ඩනයට නියම වූ තැනැත්තාට සිර මැදිරියක් දෙනවා.

එය තියෙන්නේ එල්ලුම් ගහ තිබෙන ගොඩනැගිල්ලේම සිර මැදිරි පේළියේ. මරණීය දණ්ඩනයට නියම වූ අය දවසට පැය භාගයක් එළියට ගන්නවා. ඒ ව්‍යායාම කරන්න හා ඉර එළිය වැටෙන්නට. මරණීය දණ්ඩනයට නියම වූ කෙනකුට සිරගෙදරට ආවාම අඳින්න දෙන්නේ නිල් ඉරි වැටුණ කොටු රෙද්දයි, අමු රෙද්දෙන් මහපු ජම්පරයයි (කමිසය).

මරණීය දණ්ඩනය ලැබු කෙනා හිරගෙදරට ගෙනාවට පස්සේ ඔහුගේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ බන්ධනාගාරයට. ඔහුට නමක් නැහැ. හිරගෙදර දී ලැබෙන්නේ අංකයක්. වැලිකඩ හිරගෙදරදී අන්තිමට එල්ලා මැරුවේ ‘හොඳ පපුවා’ හෙවත් ඇඹිලිපිටියේ ජේ. ඒ. චන්ද්‍රදාසව. මට ඔහුගේ අවසන් දවස් ටික හොඳට මතකයි.

“ “සිරකරුවකු බන්ධනාගාරයට ගෙනාවට පස්සේ ඔහු සම්පූර්ණ නිරුවත් කර ශරීරය සෝදිසි කරනවා. සිරුරේ ඇති ලප, කැළැල් ඔහුගේ ලිපිගොනුවේ සටහන් කරනවා. මොහු බන්ධනාගාරයේදී බාර ගන්නේ නිලධාරීන් දෙදෙනෙක්.

ඔහු එල්ලා මරන දවසට ඒ නිලධාරින්ගෙන් කෙනෙක් ළඟ සිටිය යුතුයි. එල්ලුම් ගහට නියම වූ සිරකරුවාට තම නම අයිති නැහැ. අඩුම තරමේ ඔහුට තම මංගල මුදුව හෝ ළඟ තබාගන්න බැහැ. කොහු මෙට්ටයක්, ඇතිරිල්ලක්, තොප්පියක්, බෙලෙක් පිඟානක්, තුවායක්, ජලය තබා ගන්නට භාජනයක්, වැසිකිළි කැසිකිළි යන්නට පෝච්චියක් සිරකරුට ලබා දෙනවා.

හොඳ පපුවා හෙවත් චන්ද්‍රදාස මරන්න නියම වූ දින ඒ බව ඔහුට කියන්නට සිදු වූ දිනයේ මං පුදුම මානසික අවුලකට පත් වුණේ.

ඔහුට ඒ බව කියාගන්න බැරිව මං විසි තිස් වරක් විතර ඒ හිර මැදිරිය අසලින් එහාට මෙහාට යන්න ඇති. ” “ඇයි සර් ප්‍රශ්නයක් ද අපේ නමක් තියෙනවද?” කියලා සිර මැදිරිවලින් ඔළුව දාගෙන හිරකරුවෝ අහනවා. මම බොහොම අමාරුවෙන් චන්ද්‍රදාසට පණිවුඩය දුන්නා. චන්ද්‍රදාසගේ අම්මා දිනපතාම ඔහු බලන්න ආවා.

චන්ද්‍රදාස අම්මට නම් ලැයිස්තුවක් දුන්නා ඔහු බේරගන්න ඒ අයට කියන්න කියලා. ඒත් ප්‍රතිඵලයක් වුණේ නැහැ. චන්ද්‍රදාස අම්මගේ ගුණ සිහිකරමින් ඇඬුවා. නියමිත දිනය ආවා. එදා උදෙන්ම එයා අවදි වෙලා මුහුණ සේදුවා. පිරිසුදු වුණා. රුවුල කැපුවා. උදේ ආහාර ගත්තා. ඉන් පස්සේ එයාට ඇඳුම් ඇන්දුවා. අවසන් බණ අහන්න සැලැස්සුවා.

මේ බණ අහන්න දෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් සිර මැදිරියට ගෙන්නලයි.සමහරු එල්ලුම් ගහ ළඟට යන කොටි බාගෙට මැරිලා. ඒත් චන්ද්‍රදාසට එහෙම වුණේ නැහැ. “ “කෙනෙක් එල්ලුම් ගහට යද්දී ප්‍රධාන ජේලර් සිරකරු භාරගත්ත නිලධාරින් දෙදෙනා, අංශ භාර නිලධාරියා, බන්ධනාගාර අධිකාරි, වෛද්‍යවරයා යන අය පෝරකය ළඟ සිටිය යුතුයි. ඒ වගේම අලුගෝසුවන් දෙදෙනා.

“ හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වූ ලාල් ඒ. වික්‍රමසිංහ මහතා එසේ කීවේය. කලකට පෙර එල්ලුම් ගහ ළඟ සිටි අලුගෝසුවන් දෙදෙනා ලුවිස් සිංඤෝ හා පවුලිස් සිංඤෝය. ඔවුන් දෙදෙනා බෝගම්බර හා වැලිකඩ බන්ධනාගාරය යන දෙකේම අලුගෝසු තනතුරේ කටයුතු කළහ. ලුවිස් සිංඤෝ විශ්‍රාම යාමෙන් පසුව එම තනතුරට පත් වුණේ සුමේධ විජේතුංග නමැත්තෙකි.

ඒ දෙදහස් එක වසරේදීය. සුමේධ බන්ධනාගාර නියාමක තනතුරකට පත්වීමත් සමග අලුගෝසු තනතුර පුරප්පාඩු විය. යළි බඳවා ගැනීම් ද සිදු විය. නමුත් බඳවා ගැනීමෙන් පසුව එල්ලුම් ගහ තිබෙන මැදිරිය දුටු පමණින්ම නව අලුගෝසුවා රැකියාව අත්හැර යන්නට ගියේය. පසුගිය කාලයේ යළිත් අයදුම්පත් කැඳවන ලදී.

එහි සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවද යළිත් අලුගෝසු තනතුර පුරප්පාඩුය. දැන් අලුගෝසුවාට අලුගෝසුවා යැයි කියන්නේ ද නැත. ඔහුට දී ඇති තනතුරු නාමය “වධක තනතුර” යන්නයි.

ගෙලට තොණ්ඩුව මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවකුට දිනකට බුලත්, පුවක්, හුණු, දුම්කොල ඇතුළත් බුලත් විට තුනක් නැතහොත් සිගරට් තුනක් හෝ සුරුට්ටු තුනක් හෝ තුන් වතාවක් පයිප්පය පුරවා ගැනීමට හැකි තරම් දුම්කොළ ද ලබා දෙනු ලැබේ. සිරකරුගේ අනුමැතිය ඇත්නම් ඔහු කැමැති අයට ඔහු බැලීමට අවසර ලැබේ.

සිරකරු එල්ලා මැරීමෙන් පසුව ඔහුගේ සිරුර ඥාතීන් විසින් භාර ගන්නේ නැත්නම් ඒ පිළිබඳව තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ බන්ධනාගාර අධිකාරීවරයාටය. එක්කෝ සිරකරුගේ සිරුර වෛද්‍ය විද්‍යාලයට භාර දිය හැකිය. එසේත් නැත්නම් රජයේ වියදමින් පොදු සුසාන භුමියක වළ දමනු ඇත. සාමාන්‍යයෙන් සිරකරුවකු එල්ලා මරන්නේ උදෑසන අටයි පහටය.

උදෑසන හයේ සිට අට පසුවන තුරුම සිරකරුවකු එල්ලා මරණ දින සිරගෙදර කිසිදු ශබ්දයක් නැත. එදිනට මනිය ගසන්නේ ද නැත. අවසන් මොහොත දක්වා හෝ බලා හිඳින්නේ මරණීය දණ්ඩනය නතර කරන්නට යම් පණිවුඩයක් ලැබේ ද කියාය. සිරකරු එල්ලා මරන්නට පෙර දින සිරකරුගේ උස, බර මැන ඒ අනුව ලීවරය කි‍්‍රයාත්මක වේද, කඹය හොඳින් තිබේ ද යන්න පිළිබඳව අධිකාරිවරයා, වෛද්‍යවරයා, අලුගෝසුවා විසින් සෝදිසි කර බලනු ලැබේ.

නියමිත සිරකරු එල්ලුම් ගහ ළඟට ගෙන ආපසු හරියටම උදේ අටයි පහට අධිකාරීවරයා විසින් සංඥාවක් නිකුත් කරනු ලැබේ. එවිට අලුගෝසුවා ලීවරය අදියි. සිරකරු සිටගෙන සිටින ලෑලි දෙක ඈත් වෙයි. සිරකරුගේ ගෙලට තොණ්ඩුව සිර වේ. සිරකරුගේ ගෙල සිරවීම නිසා මොළයට ලේ ගමන් කරන ප්‍රධාන නහර දෙක සහ ස්වරාලය තද වීමෙන් කශේරුකා 7 න් කිනම් හෝ ස්ථානයකින් විසන්ධි වීමෙන් සුසුම්නාව කැඩී යයි. එවිට සිරකරු තද වෙව්ලීමකට ලක් වේ.

පපුව විශාල ලෙස පළල් වේ. විනාඩි පහකට පමණ පසුව වෙව්ලිල්ල නතර වී පළල් වූ පපුව සාමාන්‍ය තත්ත්වයට පත්වේ. එම අවස්ථාවේදී බෙල්ල පැත්තකට කඩා වැටේ. එක් අලුගෝසුවකු පහළට පැමිණෙන අතර ඉහළ සිටින අලුගෝසුවා කඹය හෙමිහිට පහළට යවයි.

එවිට සිරකරුගේ මෘතදේහය පහළ ඇති ලෑල්ල මත වැටෙයි. ඉන් පසුව වෛද්‍ය වරයා විසින් මරණ පරීක්ෂණය පවත්වනු ලැබේ. එක්දහස් අටසිය හැත්තෑ හතේ සිට ක්‍රියාත්මක වූ එල්ලුම් ගහ වරින්වර ක්‍රියාත්මක වීම නතර කරන ලදී.

එක්දහස් නවසිය හැත්තෑ හතෙන් පසුව මේ දක්වාම මරණීය දණ්ඩනය දඬුවමක් ලෙස පැන වුව ද කි‍්‍රයාත්මක කර නැත. එක්දහස් නවසිය පහළොව වසරේ එල්ලා මරා දමා ඇති සංඛ්‍යාව අනූවකි. ඒ මුස්ලිම් සිංහල කෝලාහලය ඇතිවීමේ හේතුවෙන් වරදකරුවන් රැසක් සිටීමය. මරලා එල්ලුවද ?

එල්ලුම් ගහට ගිය පුද්ගලයන් අතර එකල මෙරට කතාබහ වූ කිහිප දෙනෙකුම වෙති. එක් අයකු ‘මරු සිරා’ය. එල්ලා මැරුවා ද, මරා එල්ලුවාද? ඒ සිරිපාල ගැන ඇති කතාවය. ඔහු පිළිබඳව කතා පොතක් ලියැවුණ අතර චිත්‍රපට දෙකක් ද නිෂ්පාදනය විය.

අගමැති බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයට සම්බන්ධ වූ සෝමාරාම හිමියන් එල්ලුම් ගහට ගියේ බෞද්ධයකු ලෙස නොව කතෝලිකයකු ලෙසය. පොළොන්නරුව ප්‍රදේ්ශයේ ද්විත්ව මිනීමැරුමකට සම්බන්ධ වූ සුමතිපාල නැමැත්තා තුන් වරක්ම එල්ලුම් ගහෙන් බේරුණේය.

එක වරක් ඔහු එල්ලා මරන්නට නියමිත දිනට පෙර දින රාත්‍රියේ බෙලෙක් පිඟානෙන් බඩ කපා ගත්තේය. රෝගී නිසා මරණය කල් ගියේය. තවත් වරෙක එල්ලා මරන්නට නියමිත දිනට පෙරදින රාත්‍රියේ දුරකථන ඇමතුමකින් එය වැළකුණි. තුන්වැනි වර ජනරජ දිනය මරණ දිනයට යෙදී තිබූ නිසා යළිත් මරණය කල් ගියේය.

තුන් වරක්ම එල්ලුම් ගහට යන සිරකරුවකුට විශේෂයෙන් දෙන කෑම වේල ද ඔහුට කෑමට ලැබිණ. අවසන් බණ අසන්නට ද ලැබිණි. පසු කාලෙක ජීවිත සමාව ලැබ නිදහස්ව ගිය ‘සුමතිපාල’ කොටි ප්‍රහාරයකින් මිය ගියේය. ඒ කෙන්ට්ෆාම් ඩොලර්ෆාම් කොටි ප්‍රහාරවලදීය.

එල්ලුම් ගහ ගැන කතා සිරගෙදරින් මෙපිට ඉන්න ඇත්තන් අපරාධකරුවන් එල්ලා මරන්නේ කවරදාදැයි බලා සිටින යුගයක අතීතයේ එල්ලම් ගස ගැන රස කතා ද ඇත. දිනක් අලුගෝසුවා රාජකාරියට පැමිණ ඇත්තේ බීමත්වය.

අධිකාරීවරයා ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. ඔහු පවසා ඇත්තේ බීමත්ව මෙවැනි දෙයක් කළ නොහැකි බවය. ඔහුට විනයානුකූලව කටයුතු කළත් එදින කාර්යය කර ඇත්තේ ඔහුම විසිනි. ගැටය දැමීම, සිරකර එල්ලා මැරීම සියල්ල පිළිවෙළට කළ අලුගෝසුවා අවසානයේ කඹයේ එල්ලී සිරකරුගේ මෘත දේහය සමඟම පහළට බැස ඇත.

එල්ලුම් ගහ, හිරගෙදර, මරණීය දණ්ඩනය ගැන කතා බොහෝය. එල්ලුම් ගහ ඇති කාමරය මකුළු දැල් කඩා, ලණු සෝදිසි කර පිළිසකර කර අලුත් කිරිම තව නොබෝ දිනකින් සිදුවනු ඇත. බොහෝ දෙනා බලා සිටින්නේ එල්ලුම්ගහ යළි ක්‍රියාත්මක වන දිනය එළඹෙන තුරුය. 

(ඉනෝකා සමරවීක්‍රම)


නව අදහස දක්වන්න