රෝමයේ සමුළුව...! | දිනමිණ

රෝමයේ සමුළුව...!

සැතැපුම් හයදහස් ගණනක් පුරාවට අප්‍රිකානු මහාද්වීපය පුරා කරක්ගසන නයිල් නදිය අවසන් ලෙස කයිරෝ නුවරින් සාගරයට එකතුවෙයි. එතෙක් මේ ගංගාවේ ජල දහර අප්‍රිකානු රටවල් ගණනාවක ජන ජීවිතයේ රිද්මය බවට පත් වැ තිබේ. නයිල් නදියේ නාවුක ගමනාගමනයක් ඇත. එය වෙළෙඳ සංස්කෘතිය, සංචාරය හා ශිෂ්ටාචාරය පිළිබඳ වෘත්තාන්තයක් බඳු ය. කොලරාඩෝ ගංගාව අමෙරිකාවේ බොහෝ ප්‍රදේශ ස්පර්ශ කරමින් සැතැපුම් එක්දහස් හාරසිය ගණනක් ගෙවා අවසන් ලෙස කැලිෆෝනියානු බොක්කෙන් සාගරයට එකතු වෙයි. ග්‍රෑන්ඩ් කැනියන් නම් විස්මිත ආවාටය නිර්මාණය වී ඇත්තේ ද මේ ගංගාවේ ජල දහර නිසා ය.

ගංගා බිහිවන්නේ ද ඒවා සක්‍රීය වන්නේ ද ජල උල්පත් නිසා ය. ජල උල්පත් බිහිවීමට අවශ්‍ය පසුබිම සකස් කරනුයේ ස්වාභාවික වනාන්තර ය. වනාන්තර විනාශවීම යනු මිනිස් ජීවිතයට ද, සත්ත්ව ජීවිතයට ද තර්ජනයකි. එහෙත් මිනිසා වනාන්තරවල ඇති වටිනාකම වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. දැනට ලොව පුරා සිදුවන වන විනාශය දෙස බලනවිට පෙනී යන්නේ මෙය වළක්වාගත නොහැකි නම්; ඉතා කෙටි කාලයක් තුළ සමස්ත ලෝකයම ගිනිගත් කාන්තාරයක් බවට පත්වන බව ය. මේ තත්ත්වය වටහාගත් විශේෂඥයෝ වනාන්තර ගැන කතිකාවක් ආරම්භ කර සිටිති. එහි හයවන සමුළුව ඉතාලියේ රෝම නුවර දී පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සමුළුවට සහභාගීවීම සඳහා තවත් නියෝජිත පිරිසක්ද කැටුව ‘රෝම’ නුවරට ගොස් සිටිති. මෙය විශේෂ අවස්ථාවක් ලෙස සැලැකිය හැකිය. එක අතෙකින් වනාන්තර සංරක්ෂණය සඳහා වූ ලෝක පිළිවෙතට අප ද ඇතුළත් විය යුතුය. තව අතෙකින් අපේ වනාන්තර සංරක්ෂණය සදහා විදේශ ආධාර මෙන් ම විදේශ උපදේශනය ද ලබාගැනීම වැදගත් ය. ඒ හැරත් ලෝක පරිසර සංවිධාන පෙන්වාදෙන සාධක කෙරෙහි අපගේ අවධානය යොමුවීම කොයි අතින් බැලුවද අනාගතයට වැදගත් වනු ඇත. වනාන්තර සංරක්ෂණයට එරෙහිව නැඟී සිටින අනෙක් සාධකය වන්නේ කාන්තාරකරණය යි. කාන්තාරකරණයට ලෝකයේ සියලු මහාද්වීප යටත් වන්නට පටන්ගෙන තිබේ.

අපේ වනාන්තර පද්ධතිය ගැන සලකා බැලුවහොත් එක්දහස් අටසිය ගණන් වනවිට රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 70% කට ආසන්න භූමි ප්‍රමාණක් වනාන්තරවලින් වැසී තිබිණි. ශුෂ්ක කලාපවල පවා දැඩි මූකළාන් තිබිණි. 1956 පමණ වන විට අපේ වනාන්තරවල භූමි ප්‍රමාණය 44% දක්වා පහළ ගියේ ය. ජනගහනය වැඩිවීම, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකවීම හා ජාවාරමක් ලෙස සිදුවන වන විනාශයත් මීට හේතු සාධක වී ඇති බව පෙනෙයි. අද වනවිට අපේ මුළු වනාන්තර ප්‍රමාණය සමස්ත භූමියෙන් සියයට විසි ගණනක් බව කියති. ඇත්ත ප්‍රමාණය ඊට වඩා අඩු වන්නටත් පුළුවන.

කොයිහැටි වුව දීර්ඝකාලීන වන විනාශයක් රට තුළ සිදු වී ඇත. එහි ප්‍රතිවිපාක කිසිදු අඩුවකින් ‍තොරව අද අපට භුක්ති විඳීමට සිදු වී ඇත. වරෙක විදුලිය නිපදවන ජලාශ සිඳී යයි. තව වරෙක වියළි කලාපයේ වැව් සිඳී ගොස් කන්න තුන - හතර වගා කිරීමට නොහැකි වෙයි. ජල උල්පත් සිඳීයයි. එලෙසම නාය යෑම්, සුළි සුළං අධික වෙයි. අවසන් විග්‍රහයේදී මේවාට ප්‍රධාන හේතුව ලෙස පෙනී යන්නේ පරිසරයේ තුලනය බිද දැමීම යන්න ය. පරිසරයේ තුලනය බිඳී යන්නේ වනාන්තර එළි - පෙහෙළි කිරීමත් සමඟ ය. මිනිසාගේ හා සත්ත්වයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස වනාන්තර හා වෘක්ෂලතා පවතින අතර ඒ පිළිබඳ හැඟීමක් බොහෝ දෙනකු ළඟ නැත. මේ අනුව වන විනාශය දිගින් - දිගටම සිදුවෙයි.

උඩවත්ත කැලෑව මහනුවර නගර ආසන්නයේ පිහිටි පැරැණිම ස්වාභාවික මූකළානකි. මේ පරිසර පද්ධතිය විවිධ හේතු නිසා විනාශ වෙමින් පවතී. ඇතැම් විට දේශපාලන තීන්දු නිසා එම කැලෑවේ කොටස් විනාශ මුඛයට ගොස් ඇත. ඇතැම් විට ගස් ජාවරම්කාරයන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ ඓතිහාසික කැලෑව විනාශ වෙන්නට පටන්ගෙන තිබේ. නගරයකට ආසන්නව ඓතිහාසික වශයෙන් පවත්නා ප්‍රධාන ස්වාභාවික මූකලාන උඩවත්ත කැලය බව බොහෝ දෙනා පෙන්වා දෙති. පල්ලෙකැලේ කගල්ල මූකළාන තවත් මෙබඳුම ඓතිහාසික වනාන්තරයකි. ඊට අයත් භූමි ප්‍රමාණය අක්කර පනස් හතර දහසකට වැඩි බව කියති. මේ වනාන්තරය ද අලුත් පදිංචි කිරීම් නිසා විනාශ වී ඇත. පවුල් 2000ක් පමණ මේ කැලෑවේ පදිංචි වී ඇතැ’යි කියති.

වනාන්තර රැකගත යුතු යැයි සංවිධාන ගණනාවක් පෙරට එති. ඔව්හු වරෙක පෙළපාළි යමින් ද උද්ඝෝෂණ පවත්වමින්ද වනාන්තර ආරක්ෂා කරගැනීමට උත්සුක වෙති. මෙබදු පරිසර සංවිධාන කිහිපයක් කොළඹ සිට උඩරටට ධර්ම යාත්‍රාවක් ගිය හැටි ද අපට මතක ය. එහෙත් ඒ කිසිවකින් නියම ප්‍රතිඵලයක් ලැබී නැති බව ඉතා පැහැදිලිය. අදටත් වන විනාශය හොඳින් සිදුවෙයි. පිදුරුතලාගල කඳු මුදුනේ එළවළු වගාවක් සිදුකර ඇතැ’යි වාර්තාවක් මීට වසර දෙකකට පමණ පෙර පුවත්පත්වල පළවිය. ශ්‍රී ලංකාවේ උසම කන්ද ලෙස සැලැකෙන පිදුරුතලාගල කඳු මුදුනෙහි ව්‍යාපාරික වශයෙන් එළවළු වගාවක් සිදුකර ඇත්නම්; එහි ප්‍රතිවිපාක අප කරාලැබෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.

වනාන්තර රැකගත යුත්තේ කුමක් සඳහාද යන්න අපගේ පොදු සමාජය තවම හරිහැටි වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ඒ අනුව රටපුරාම විවිධාකාර වන විනාශ සිදුවෙයි. නොදැනුවත්කම නිසාම සාමාන්‍ය ජනතාව ඒවාට එරෙහි වන්නේ නැත. දේශපාලන බලපෑම් නිසා ද ජනතාව නිහඬ වන්නට පුළුවන. ඇතැම් රටවල් සිය වනාන්තර පද්ධතිය කෙරෙහි කෙතරම් උනන්දු වන්නේ ද යත් සමහර වනාන්තරවලට ඇතුළුවීම සඳහා සාමාන්‍ය ජනතාවට පුළුවන්කමක් නැත. එම රටවල දේශපාලකයන්ට පවා ඉහත නීතිය බලපායි. විශේෂ වනාන්තරවලට ඇතුළුවීම සඳහා විශේෂ අවසර ලබාගත යුතුව තිබේ. එහෙත් අපේ රටේ එබඳු දෙයක් නැත.

වනාන්තර සම්බන්ධයෙන් අපේ සමාජ ආකල්ප මෙන්ම නීති - රීති ද වෙනස් කළ යුතු තැනකට අපි අවතීර්ණ වී සිටිමු. ඊට අදාළ සාර්ථක අත්දැකීම් ප්‍රමාණයක් මෙන් ම දැක්මක් ද රෝමයේ පැවැත්වෙන වනාන්තර සමුළුවෙන් ලබාගත හැකි ය.

 


නව අදහස දක්වන්න

Or log in with...