අඳුරු දිවියට පොලිසියෙන් පහනක් | දිනමිණ

අඳුරු දිවියට පොලිසියෙන් පහනක්

එච්. පී.ජගත් කුමාර මහතා 44 හැවිරිදි දෙදරු පි‍යෙකි. ඔහු‍ගේ වෘත්තිය වඩු කර්මාන්තයයි. 2000 වසරේ ජුලි මස 04 දින සිය මිතුරන් කීපදෙනකු සමඟ නළ ළිඳක් කැපීමට යාමේ දී අසල තිබූ අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් අැති වූ ගිනි ගැනීමකින් ඔහුගේ දෑත් අහිමිවිය.

එතැන් සිට දෑත අහිමි වූ ජගත් කුමාර මහතාත්, දරුවන් දෙදෙනාත් ජීවත් කිරීමේ වගකීම පැවරු‍ණේ ජගත් කුමාරගේ බිරියටය. ඇය කුලී වැඩ කරමින් විවිධ දුෂ්කරතාවන් මැද තම පවුල රැක ගැනීමේ වෑයමක යෙදුණාය.

කතරගම පොලිසියේ ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතාගේ සහ තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත මෙම අසරණ වූ දරු පවුලට සෙල්ල කතරගම නගරයේ කුඩා ආපන ශාලාවක් ඉදිකර දී ඇත. එය ජගත් කුමාර මහතාගේ අඳුරට ග්‍රහණය වී තිබූ දිවියට සුන්දර ආලෝකයකි.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා - "අද සමාජයේ බොහෝ අය වැරදි පුද්ගලයින් දිහා නරක ලෙස බලමින් ඔවුන් නීතියට හසුකර බන්ධනාගාරගත කිරීමට සලස්වනවා. වැඩි පිරිසක් විවිධ බලාපොරොත්තු ඇතිව වැරදි වැඩ කරමින් ජීවත් වෙන්න බලනවා. තවත් පිරිසක් දරුවන් රැක ගැනීමට කළ හැකි ‍‍‍දෙයක් නොමැති වීම මත පුංචි වැරදි සිදු කර නීතියෙන් දඬුවම් විඳිනවා. වැරදි දේවල් සිදු කරන පිරිස් සුමඟට ගැනීම පොලිසියට පමණක් සිදුකළ නොහැකියි. ගමේ ජනයාත් ඒ අයට උපකාර කළ යුතුයි.

වැරදි දේවල් වටහා දීම තමයි මනුස්සකම. පොලිසියත් ගමේ ජනයාත් එකම පවුරක සිටිය යුතුයි. සෑම දෙයක්ම පොලිසිය පිට පටවා නොසිට ගමේ පවතින දුර්වලතා මඟ හරවාගෙන දැහැමි සමාජයක් කරා රට රැගෙන යෑම අප කාගෙත් යුතුකමයි."

මෙම වැඩසටහන කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණි. කඩය ලබා දීමේ අවස්ථාව පුංචි උත්සවයක් මඟින් සිදු කළ අතර මෙම අවස්ථාව සඳහා සෙල්ල කතරගම වතුරුව රාජමහා විහාරාධිපති දෙනගම ධම්මරතන, වල්ලිකන්දාරාම විහාරාධිපති අත්පඳුරේ විපුලභද්‍ර හිමිවරු සහභාගි වූහ. වැල්ලවාය කලාප සහාකාර අධ්‍යක්‍ෂක පුෂ්ප කුමාර සිරිවර්ධන, කතරගම ජාතික පාසලේ විදුහල්පති ශ්‍රියානි කහඳගමගේ ‍මෙනවිය, කතරගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩී.වී. ශාන්ත, ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක වී.පී. පුෂ්ප කුමාර යන මහත්වරු ප්‍රමුඛ ප්‍රදේශවාසීන් රැසක් ද මෙම අසරණ පවුලට සුබ පැතීම සඳහා එක්ව සිටියහ.

සටහන සහ ඡායාරූප
කේ.ඩී. දේවප්‍රිය - කතරගම සංචාරක

 

නව අදහස දක්වන්න