2015 ජනපතිවරණයට පෙර නිලධාරීන්ට මුදල් දීම ගැන විමර්ශන නතරකර නෑ | දිනමිණ

2015 ජනපතිවරණයට පෙර නිලධාරීන්ට මුදල් දීම ගැන විමර්ශන නතරකර නෑ

2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධව සිදුකරන විමර්ශන කිසි ලෙසකින්වත් නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(16) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

මෙම විමර්ශන නැවතී ඇති බවට පළ වන වර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

අරලියගහ මන්දිරයේ ඊයේ සවස පැවැති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

'2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් කර ගනිමින් ජනාධිපති කාර්යාලයට ලබාදීමක් සම්බන්ධයෙන් දිසානායක මුදියන්සේලාගේ සරත් දිසානායක නමැත්තෙක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු 2016 මැයි මස 09 වන දින පොලිස් විශේෂ විමර්ශන ඒකකය විභාගයක් ආරම්භ කළා.

ඒ විමර්ශනයට අනුව 2014 දෙසැම්බර් 01 දින සිට 2015 ජනවාරි 08 දින දක්වා කාලය තුළ චෙක්පත් 82ක් මගින් රුපියල් මිලියන 1398ක් බැංකුවලින් මාරු කර එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට ලබාදී ඇති බව අනාවරණය වී තියෙනවා.

චයිනා හාබර් ආයතනයේ චෙක්පත් ද මෙයට ඇතුළත් වෙනවා. මේ පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය, ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට එවා තිබෙනවා. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ විමර්ශන කටයුතු කර ගෙන යනවා. ඒ විමර්ශන කොතැනකවත් නතර කර නැහැ.

2015 දී මේ ගැන විභාග කරන ලෙස ඉල්ලමින් මහ බැංකුව විසින් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් චෙක්පතක් රහස් පොලිසියට එවා තිබෙනවා. ඒ අනුව රහස් පොලිසිය මේ පිළිබඳ තවමත් විභාග කරමින් සිටිනවා. ඒ සම්බන්ධව සමහර සාක්‍ෂි තිබෙනවා. තවත් සමහර සාක්‍ෂි ලැබී නැහැ. මේ කිසිදු පරීක්‍ෂණයක් නතර කර නැහැ.

මේ පසුබිම තුළ පෙරේදා(15) සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවක් පිළිබඳ කිහිප දෙනෙක් මගෙන් කරුණු විමසා සිටියා. එහි ලිපියක මේ විමර්ශන නතර කර ඇතැයි සඳහන් කර තිබුණලු. ලිපි ගොනු අංකයකුත් එහි සටහන් කර තිබුණු බව මට දැනගන්න ලැබුණා.

අද මම පොලිස්පතිතුමයි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමයි, ඒ වගේම අදාළ අංශ දෙකේ ප්‍රධාන නිලධාරීන් හා නීතිපතිතුමා මුණ ගැසුණා. ඒ අවස්ථාවේ ඔවුන් සියලු දෙනාම ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳ පරීක්‍ෂණ තවමත් ඉදිරියට කරගෙන යන බවයි. පුවත්පතේ පළ වී තිබූ කාරණය පිළිබඳ කිසිවක් නොදන්නා බවත් ඔවුන් ප්‍රකාශ කළා.

ඒ වගේම මහ බැංකු නිලධාරියකුගේ උපදෙස් මත විමර්ශන නතර කිරීමක් සිදුව නැති බවත්, පුවත්පතේ සඳහන් කර ඇති පරිදි ලිපි ගොනු අංකයක් ඉදිරිපත්ව නැති බවත් ප්‍රකාශ කළා. එපමණක් නොව, ඉදිරිපත්ව තිබෙන ලිපි ගොනු අංක ද ඒ අය මට ලබා දුන්නා. මේ අය කියන ආකාරයට සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වී තිබෙන වාර්තාව සම්පූර්ණ අසත්‍යයක්. එවැන්නක් සිදුවී නැහැ. මොකද, පොලිස් විශේෂ විමර්ශන ඒකකය තිබෙන්නේ පොලිසිය යටතේයි. පොලිසිය යටතේ පවතින ඒකකයක් නවත්වන්න මහ බැංකුවට බැහැ. මහ බැංකුව සිදු කර තිබෙන්නේ එහි චෙක්පත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) යැවීමයි.

ඒ අනුව බලන විට පුවත්පතේ සඳහන් පරිදි කිසිවක් සිදුවී නැහැ' යනුවෙන් පවසා සිටියේය.

 


නව අදහස දක්වන්න