නොසැලකිලිමත් රියදුරන් ජීවිතාන්තය දක්වා සිරගත කරන නීති සකස් කළ යුතුයි | දිනමිණ

නොසැලකිලිමත් රියදුරන් ජීවිතාන්තය දක්වා සිරගත කරන නීති සකස් කළ යුතුයි

බොරලැස්ගමුව සමූහ - සෙනෙවිරත්න කහටපිටිය

නොසැලකිල්ලෙන් වගකීමකින් තොරව බස් රථ පදවා දරුණු අනතුර සිදුකර මගී මහජනතාවට තුවාල කරන බස් රියැදුරන්ට නීතිය මඟින් ඇප නොදී ජීවිතාන්තය දක්වා සිරගත කරන නීති සකස් කළ යුතු වන්නේ යයි ප්‍රවාහන හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශය කළේ 12 දා වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය පරිහරණය ස්පර්ශ තිර ආධාරයෙන් කිරීම ආරම්භ කිරීමේ උත්සව සභාව අමතමිනි. මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි, අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ජී. එස්. විතානගේ යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් රාශියක් සහභාගී වූහ. ඇමැතිවරයා පරිගණකයක් ක්‍රියාත්මක කරමින් නව තාක්ෂණ ක්‍රමය ආරම්භ කරන ලදි.

තවදුරටත් කතා කළ ඇමැතිවරයා පසුගියදා බස් රථ රියැදුරන් දෙදෙනෙකු බස් ධාවන කරමින් දෙදෙනා විහිළු කර ගනිමින් මගී ජීවිත ගැන කිසිම වගකීමකින් තොරව බස් රථ දෙක හප්පා මගීන් 76 දෙනෙකුට තුවාල සිදු කර ඇති බව පැවසීය. මෙවැනි රියැදුරන් වගකීමකින් තොරව කරන කටයුතු නිසා අහිංසක මගී ජනතාවගේ ජීවිත විනාශ වන බවද කීය. එම නිසා එවැනි රියැදුරන්ට ඇප නොදී ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට නීති සකස් කළ යුතු බවද කීය.

එමෙන්ම බස් රථ රියැදුරන්ගේ ගුණාත්මකභාවය මානසිකත්වය මීට වඩා වැඩි දියුණු කර ඔවුන්ට පුළුල් රියැදුරු පුහුණුවක් ලබාදිය යුතු බවද කීය.

අද මෙම ආරම්භ කළ බලපත්‍ර අපේක්ෂක අයගේ ලිඛිත පරීක්ෂණය පරිගණකගත කිරීමෙන් ඉතා ඉක්මණින් එම අවස්ථාවේම ප්‍රතිඵල ලබා දී වඩාත් කඩිනම් මහජන සේවාවක් ලබාදිය හැකි බවද කීය. එමෙන්ම ඉදිරියේදී බලපත්‍ර ලබාගන්නා අයගේ ප්‍රායෝගික පරීක්ෂණය දෙපාර්තමේන්තුවෙන් පමණක් නොකර ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ද ඔටෝමොබයිල් සමාගමෙන් ද කිරීමට කටයුතු කරන නිසා බලපත්‍ර ලබාගැනීමට බලාපොරොත්තු වන අයට මෙම ස්ථාන තු‍ෙනන් තමන් කැමති තැනකට ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සම්බන්ධ විය හැකි බවද කීය.

එමෙන්ම මෝටර් රථප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මිලියන 6ක් පමණ වන ලිපිගොනු කන්ටේනර්වල දිරාපත් වෙමින් තිබුණ අතර ඒවා දැනට ආරක්ෂිත ලෙස වේරහැර නව ගොඩනැගිල්ලක ගබඩා කිරීමට කටයුතු කළ අතර ඉදිරියේදී මෙම ලිපිගොනු E මොෂින්ක්‍රමය යටතේ පරිගණකගත කර මහජනතාවට අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද කීය.

 

නව අදහස දක්වන්න