වර්ගවාදයට සංගීත ප්‍රහාරයක් | දිනමිණ

වර්ගවාදයට සංගීත ප්‍රහාරයක්

ජේ-Z හා බියොන්සේ කාටර්ගේ ලෝක සංගීත සවාරියේ උණුසුම පහව යන්නටත් පෙර ඔවුන්ගේ අලුත්ම ගීත ඇල්බමය “Everything is Love” නිකුත් කිරීම රසික ප්‍රජාවට ගෙනදුන්නේ පුදුමයකි. එහි මංගල සංගීත වීඩියෝපටය වු ‘Apesh*t‘ නැරඹුවන්ට එය පුදුමයක් ගෙන දෙමින් නිකුත්කළ සැණින් අන්තර්ජාලය දෙවනත් කළ එහි පදමාලාවටත් වඩා අවධානය පැහැර ගත්තේ රූප රචනාවය. ලෝ ප්‍රකට ඓතිහාසික කලකෘතින්ට නිවහන වූ පැරිසියේ ලුවර් කෞතුකාගාරය පසුබිම් කරගනිමින් මෙම ගීතයේ රූප රචනාව නිර්මාණය කර තිබුණි. කාටර් යුවළට ඊට දැරිමට සිදුවු බරපැන ගැන ලුවර් කෞතුකාගාර බලධාරින්ද කට හොල්ලන්නේ නැත. නමුත් “Everything is Love” යනු ඊට වැයවු හැම පැන්සයක් පාසාම ගීතයට මෙන්ම ලුවර් කෞතුනකාගාරයටද වටිනාකමක් එක් කළ මනරම් කලාකෘතියකි.

රසිකයින් බලාපොරොත්තු නුවු අවස්ථාවක යු ටියුබ් වෙබ් අඩවියට නිකුත් කෙරුණද, “Everything is Love” කඩිමුඩියේ සිදුකළ නිර්මාණයක් නොවේ. ලුවර් කෞතුකාගාරය පසුබිම් කරගත් ගීත ඇල්බමයක් නිර්මාණය කිරීම ගැන කාටර් යුවළ හීන දකින්නට පටන්ගෙන ඇත්තේ අඩුම වශයෙන් මීට වසර දහයකටත් පෙර සිටය. පසුගිය වසර දහය තුළදි සිව්වරක් ලුවර් කෞතුකාගාරය නරඹන්නට ගොස් ඇති කාටර් යුවළ ඉකුත් 2014 වසරේදි එය කුලියටද ගත් බව රසිකයින්ට මතක් ඇතිවාට සැක නැත. නමුත් පසුගිය වසරේ බේ හා ජේ, ලුවර් වෙත ගියේ කලා නිර්මාණවල ආශ්වාදය විඳිමට නොවේ.

සුදු ජාතික බටහිර කලාකරුවන්ගේ අනන්‍යතාව රැගත් ලුවර් කෞතුකාගාරයේ තමන්ගේම කලාකෘතියක් එළි දක්වා කළු ජාතික කලාකරුවන්ගේද නියෝජයක් ඊට ලබාදීමටය. කලු ජාතිකයින්ට හා ඔවුන්ගේ නිර්මාණවලට හෝ කිසිදිනක ඉඩක් ලැබේ යැයි සිතිය නොහැකිවූද, යුරෝපීය හා රෝමානු සංස්කෘතින් විරාජමාන කරවන නිර්මාණයන්ට තිඹිරිගෙයවුද අවකාශයක හිඳ කාටර් යුවළ ගෙනෙන පණිවුඩය ප්‍රබලය. අදටත් දෙවැනි තැනෙහි ලා සැලකුම් ලබන කළු ජාතිකයින්ටද, කළු ජාතික කලාකරුවන්ටද විශිෂ්ඨයන් විය හැකි බව ඔප්පු කිරිමට පොප් ගීත ලොව දික්විජය කළ කාටර් යුවළම හැර අන් සාක්ෂි කුමටද ?

මොනාලිසා - ලියනාඩෝ ඩා වින්චි

සංගීත වීඩියෝවේදි කාටර් යුවළ මුලින්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ ලුවර් කෞතුකාගාරයේ ලෝ ප්‍රකට ආ‍ලේඛ්‍ය රුව ඉදිරිපිට සිටය. එහෙත් ඩා වින්චිගේ මොනාලිසාට පිටුපාය. බටහිර කලකෘති අතර මුදුන් මල්කඩ වන්වු එවැන්නකට පිටුපා සිටිමෙන් සුදු ජාතිකයින්ගේ පරිශ්‍රයකදි කාටර් යුවළ ව්‍යංගයෙන් කියන්නේ කලු ජාතික කලාකරුවන්ද කිසිකුට නොදෙවැනි බවය. ගීතය පුරාවටම ලුවර්හි විවිධ කලාකෘති පසුබිම් කරගනිමින් ගීත ගායනයේත් නර්තනයේත් යෙදෙන බියෝන්සේ හා ජේ-Z එකම වරක් හැර ඒවා දෙස බැල්මක්වත් හෙලන්නේ නැත. වීඩියෝපටය අවසාන වන, කාටර් යුවළ මොනාලිසා දෙසට හැරෙන දර්ශණය මුලු ගීත ඇල්බමයේම තේමාව කියාපාන්නක් වැනිය. එනම් කාටර් යුවළගේ පැරිස් කලාගාර සවාරියේ අරමුණ සුදු ජාතික පෞඩත්වය වින්දනය කිරිම නොවේ. මෙම වීඩියෝපටයේ නිර්මාතෘවරුන් වන්නේ තමන් බවත් මේ මොහොතේදි මෙම සුදු ජාතික බල ප්‍රදේශයේ බලය ඇත්තේ තමන් අත බවත් ප්‍රේක්ෂකයන්ට සිහිකර දෙන්නේ එම දර්ශනයෙනි.

නැපෝලියන් අධිරාජ්‍යයා හා ජොසෆින් අධිරාජිනිය කිරුළු පැළඳවීම - ජැක්ස් ලුයිස් ඩේවිඩ්

නැපෝලියන් අධිරාජ්‍යයාගේ මෞලි මංගල්‍ය දැක්වෙන මෙම සිතුවම ඔහුට පෙන්වු විට ඔහු එහි වෙනස්කම් කිහිපයක්ම සිදු කළේය. එහි තමාගේ රුව වඩාත් ඉස්මතු වනු දැකිමට ප්‍රිය කළ නැපෝලියන් එදා පැවසුවේ, “මෙය නිකම්ම නිකම් චිත්‍රයක් නෙවෙයි. ජීවමාන නිර්මාණයක්.“ කියාය. එම ජීවමාන චිත්‍රය ඉදිරිපිට කළු ජාතික කාන්තාවන් පිරිසක් සමඟ නර්තනයේ යෙදිමට බියෝන්සේ තීරණය කළේ ඇතැම් විට අධිරාජ්‍යයා සරදමට ලක්කිරිමට විය හැකිය යන්න විචාරක මතයයි. ඊට හේතුව ක්‍රි. ව. 1802 දී යළිත් කළු ජාතිකයින් වහල් සේවයේ යෙදවීමේ නීති ස්ථාපනය කළේ මෙම ප්‍රංශ අධිරාජ්‍යයා බැවිනි. බියෝන්සේ පිටුපා සිටින්නේ නැපෝලියන් විසින් කිරුළු පළඳන ඔහුගේ රැජිණටය. දහනව වන සියවසේ පැවති සම්ප්‍රදායන්ට එරෙහිව යමින් තමා විසින්ම තමාව කිරුළු පළඳවා ගත් නැපෝලියන් මෙන් බියෝන්සේද තමාගේ විශිෂ්ටත්වය තීරණය කිරිම සම්බන්ධයෙන් ඉහළ විධායකයන්ගේ තීරණ නොපතන බව පෙන්වීම මෙම නිරුපණයේ අරුත වූවා වියහැක.

කාටර් යුවළගේ ලූවර් සවාරිය, කළු ජාතිකයින්ට කෙරෙන අවතක්සේරු කිරිම්වලට එරෙහි විරෝධතා ප්‍රදර්ශනයක් පමණක්ම නොවේ. ඔවුන් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ ක්‍රි.ව. 1805දී තුන්වන නැපෝලියන් අධිරාජ්‍යයාට නීති සම්පාදන සැසියන් මෙහෙයවීමට ඉදිකළ ලුවර් හි පිහිටි Salle des Etats කලාගාරයේ සිටය. අද වැනේෂියානු පුනර්ජීව සමයේ චිත්‍රවලට මෙන්ම මොනාලිසාටද නිවහන වී ඇත්තේ එයය. එදා කළු ජාතිකයින්ට එරෙහිව බලය විමධ්‍යගත කළ තැන අද සිටින්නේ කාටර් යුවලය. එනම් සාර්ථකත්වයේ හිණිපෙත්තටම නැගි කළු ජාතික කලාකරුවන් යුවලකි. ‘ I can’t believe we made it’ ‘we living lavish, lavish’ , ‘I got expensive fabrics’ යනුවෙන් එහිදී බියෝන්සේ ගයන්නේ නැපෝලියන්ට පමණක් නොව කළු ජාතිකයින්ව හංවඩු ගසන සියල්ලන්ටම අරියාදුවට නොවේද ?

ටැනිස්හි ස්ෆිනික්ස්

ඊජිප්තුවෙන් පිටත දැවැන්තම ෆීනික්ස් පිරමිඩ අතරින් එකක් වන්නේ ලුවර්හි පිහිටි ‘ටැනිස්හි මහා ස්ෆිනික්ස්‘ පිරමිඩයයි. එයද සිය ගීත ඇල්බමයේ රූප රචනාවට ඈඳා ගැනීමට බියෝන්සේ ගත් තීරණය, නොතකා හැරීමට ලක්වු අප්‍රිකානු කලකෘතිවල මහේශාක්‍යත්වය කියා පෑමේ අරමුණින් ගනු ලැබුවකි. ඊජිප්තු පිරමිඩ අප්‍රිකානු කලා සංස්කෘතියේ නියෝජනයක් වුවද, බටහිර කෞතුකාගාර මේවා හැමවිටම ප්‍රදර්ශනය කරන්නේ අද්‍යතන ශිෂ්ටාචාරයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ උත්පත්තිය සිදුවූවා සේ සැලකෙන ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර ඇසුරෙනි. ඒ කළු ජාතික ප්‍රජාවගේ කලා නිර්මාණයක් වීමට තරම් ඊජිප්තු පිරමිඩ ශ්‍රේෂ්ටත්වයෙන් වැඩි බව අවිඥානිකව තීරණය කරමිනි. සුදු ජාතිකයින්ට අනන්‍යවු කලාකෘති පිහිටි කලාගාරයක ස්ථානගතව තිබුණත්, ඊජිප්තු පිරමිඩ කළු අප්‍රිකානුවන්ගේ උරුමයක්බවට බියෝන්සේ සිය ගීත ඇල්බමයෙන් කෙරෙන්නේ සිහි කැඳවිමකි. ලුවර්හි වන කලා නිර්මාණ අතරට බේ හා ජේගේ ගීත ඇල්බමයද එක්වීමට තරම් එය වටිනාකමින් හා අර්ථාන්විත බවින් අනූනය. කළු ජාතික කලාකරුවන්ව අවතක්සේරු කරමින් ප්‍රතික්ෂේප කළ හොලිවුඩය හෝ ලුවර් හෝ බ්‍රෝඩ්වේ හෝ වැනි කලායායතන මෙතෙක් කළ විගඩම දැන් අවසන්ය.

පොප් රජු හා රැජින “Everything is Love” ගීත ඇල්බමයෙන් නොකියා කියන්නේ එයය.

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න