44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹින් පොළොන්නරුවට යයි | දිනමිණ

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹින් පොළොන්නරුවට යයි

ප්‍රින්ස් ගුණසේකර

ගමට ක්‍රීඩාව ගෙනයෑමේ වැඩපිළිවෙළ අරුත්ගන්වා

හතලිස් හතරවැනි වරට පැවැත්වීමට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී අභිමානවත් ලෙස සංවිධාන කිරීමට ක්‍රිඩා අමාත්‍යාංශයේ ඊයේ පැවැති විශේෂ රැස්වීමකදී තීරණය වෙයි. ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කලින් යෝජනාවක් ලැබී තිබුණද, ග්‍රාමීය පළාත්වලට ක්‍රීඩාව ගෙනයෑමේ රජයේ වැඩ පිළිවෙළ අර්ථවත් කිරීමේ අරමුණින් පොලොන්නරුවේදී ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමේ තීරණය ස්ථීරවී ඇත.

ඒ අනුව මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් 11 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සමාප්ති උළෙල හා ජය සංකේත ප්‍රදානය ඔක්තෝබර් 14 වැනිදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කරනබව ක්‍රීඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා අප කළ විමසීමකදී පැවැසීය.

පොළොන්නරුවේදී ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙයවන අතර මෙයට පෙර 2009දී ජාතික මහා ක්‍රීඩා උළෙල පොළොන්නරුවේදී සාර්ථකව නිමාවට පත් විය. මහවැලි දරු දැරියන්ගේ දස්කම් විදහා දැක්වෙන මහවැලි ක්‍රීඩා උළෙල හා රටපුරා යෞවනයන් වෙනුවෙන් සංවිධාන කරන යෞවන ක්‍රීඩා උළෙල පසුගිය වසරේදී පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මලල ක්‍රීඩා ඉසව්ව පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ඔක්තෝබර් 12වැනිදා ආරම්භවන අතර, ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී බොක්සිං, නෙට්බෝල්, කායවර්ධන හා කබඩි අවසන් තරග පැවැත්වේ. රුපියල් මිලියන 40 ක වියදමින් නවීකරණය කරන ලද පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ මීටර් 400 ධාවන පථයක්, නවීන පහසුකම් සහිත ගෘහස්ත ක්‍රීඩාංගණයක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාකයක් හා බොක්සිං වලල්ලක් ඇතුළු ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් නිර්මාණයවී තිබීම විශේෂත්වයකි.

පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් අදියරේ තරගවලට සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6300 ක් සහභාගී වන අතර මලල ක්‍රීඩා තරගවලට පමණක් ක්‍රීඩකයන් 504 ක් හා ක්‍රීඩිකාවෝ 477 ක් සහභාගීවීමට නියමිතය.

පසුගිය වසරේ පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිර පළාත රන් පදක්කම් 102ක්, රිදී පදක්කම් 81ක් හා ලෝකඩ පදක්කම් 76ක් සමගින් දිනා ගත්තේය. දෙවැනි තනට පත්වූ මධ්‍යම පළාත රන් පදක්කම් 46ක්, රිදී පදක්කම් 41ක් හා ලෝකඩ පදක්කම් 45ක් දිනාගත් අතර වයඹ පළාත රන් පදක්කම් 27ක්, රිදී පදක්කම් 28ක් හා ලෝකඩ පදක්කම් 52ක් දිනා තෙවැනි තැනට පත්විය. මෙතෙක් පැවැති සියලු ජාතික ක්‍රීඩා උළෙලවලදී සමස්ත ශූරතාව බස්නාහිර පළාතෙන් පිටතට ගෙන යෑමට අනෙක් කිසිදු පළාතකට අවස්ථාවක් හිමි නොවුණි.

නව අදහස දක්වන්න