ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායමක් මත්තල නිරීක්ෂණ චාරිකාවක... | දිනමිණ

ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායමක් මත්තල නිරීක්ෂණ චාරිකාවක...

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම..

මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපොළ වත්මන් රජය විසින් ඉන්දියාවට බදු දීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් පෙරේදා (16) මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට පැමිණියේය.

මේ නිරීක්ෂණ චාරිකාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම,ඩලස් අලහප්පෙරුම,පද්ම උදයශාන්ත,ෂෙහාන් සේමසිංහ,දිලුම් අමුණුගම,විමලවීර දිසානායක,කෙහෙළිය රඹුක්වැල්ල,නිරෝෂන් ප්‍රේමරත්න,ප්‍රියංකර ජයරත්න,පියල් නිශාන්ත,සාලින්ද දිසානායක,ප්‍රසන්න රණතුංග,මහින්දානන්ද අලුත්ගමගේ,රංජිත් සොයිසා,සී.බී.රත්නායක,කනක හේරත්,තේනුක විදානගමගේ,සනත් නිශාන්ත,විජිත බේරුගොඩ,ජයන්ත සමරවීර,රමේෂ් පතිරණ,මොහාන් ඩී.සිල්වා,ඉන්දික අනුරුද්ධ,අරුන්දික ප්‍රනාන්දු,දිලිප් විජේසේකර,මහින්ද යාපා අබේවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් මේ අවස්ථාවට එක්ව සිටියහ.පෙරවරු 11.30ට පමණ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර පෙරවරු 11.50ට පමණ අනෙකුත් මන්ත්‍රී කණ්ඩායමද මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

මත්තල ගුවන්තොටුපොළට පැමිණි මන්ත්‍රී කණ්ඩායම ගුවන්තොටුපොළ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළු ස්ථාන කිහිපයකටම ගොස් නිරීක්ෂණ චාරිකාවේ නිරත විය.

නිරීක්ෂණ චාරිකාවෙන් පසු මන්ත්‍රීන් කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළ මගී පර්යන්තයේ සිට මාධ්‍ය වෙත කරුණු දක්වමින් මෙසේ පැවසීය. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබාදීම ජාතික අපරාධයක්.මේක පාඩු ලබන තැනක් නම් මොකටද මේක ඉන්දියාව ගන්න හදන්නේ.සාමාන්‍ය මිනිහෙක් වුණත් දන්න දෙයක් තමයි පාඩු ලබන තැනක් කවුරුවත් වැඩි ලංසුවක් දීලා ගන්නේ නෑ කියන එක.නමුත් මේ පාඩුයි පාඩුයි කියන මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාව ගන්නේ ඇයි කියලා අපිට ගැටලුවක් තියෙනවායැයි මන්ත්‍රීහු පැවසූහ.

මත්තල එදා වුණේ ‍ඊට වෙනස් සිදුවීම් පෙළකි

පසුගිය රජය සමයේ එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටියදි එම පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ මත්තල ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.එම පිරිස වරාය නැරඹිමට ගිය අවස්ථාවේදී සරමක් කැහැපොට ගසා ගත් මැරයෙක් සමඟ පිස්තෝලයක් අතින්ගත් එවකට හම්බන්තොට නගරාධිපතිවරයා දුව ආවේ චිත්‍රපටයක රූප රාමු පෙළක් දිග හැරෙය අයුරිනි.නමුත් එය සැබෑ රූප රාමුවක් බවත්, එය මහින්ද රාජපක්ෂලාගේ අගනුවර වන හම්බන්තොට දේශපාලන චණ්ඩි මහදවල් පොලිසිය ඉදිරියේ හැසිරුණු අයුරු බවත් වීඩියෝ පට ඇති හෙයින් වසා දැමීමට නොහැකි කරුණක් විය.මැරයෝ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දුන්හ. අජිත් පි.පෙරේරා, එරාන් වික්‍රමරත්න එම මන්ත්‍රීවරුන් අතර වූහ. එහි ගොස් සිටි මාධ්‍යවේදීන් ලබා ගත් ඡායාරූප සහ විඩියෝ සටහන්වල අනුව මැරයන් සිදුකළ මැර වැඩ රහසක් නොවීය. පසුව නගරාධිපති සිනා වෙවි මුලින්ම කීවේ ඔහු ආවේ ආරවුල බේරන්න බවය. පිස්තෝලය ගැන ඔහු කීවේ එය සෙල්ලම් පිස්තෝලයක් බවය. අසභ්‍ය වචනයෙන් බැණ වැදී, මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ වාහනයට පහර දුන් පසුත් නගරාධිපතිවරයා පැවසුවේ ඔහු ගෙනාවේ සෙල්ලම් පිස්තෝලයක් බවය.ඒත් සාධාරණ පොලිස් පරීක්ෂණයක් සිදු නොවිණි.

සුරියවැව විශේෂ- නුවන් ජයසේකර

නව අදහස දක්වන්න