සිනමා උළෙලක ප්‍රමිතියට හොඳම නිදසුන සරසවිය සම්මාන උළෙලයි | දිනමිණ

සිනමා උළෙලක ප්‍රමිතියට හොඳම නිදසුන සරසවිය සම්මාන උළෙලයි

රවීන්ද්‍ර රන්දෙණිය හෙළ සිනමාවේ යුග පුරුෂයකු ලෙස හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.එදා මෙදා සිංහල සිනමාවේ දැවැන්ත නළු ප්‍රතිරූපයක් ගොඩනඟා ගත් හෙතෙම අද අදහස් දක්වන්නේ එවැනිම වූ යුගයක් එළි කළ සරසවිය සම්මාන උළෙල පිළිබඳවය.

සරසවි සම්මාන උළෙල පිළිබඳ ඔබේ හැඟීම?

සරසවි සම්මාන උළෙලේ වැදගත්කම කතා කරනවා නම් මීට වඩා වැදගත් සම්මාන උළෙලක් අපේ සිනමාවේ නැහැ. සරසවියයි සිනමාවයි දෙකක් නොවෙයි, එකක්. සරසවිය පමණයි 1964 ඉඳලා අද දක්වා අඛණ්ඩව සිනමාව වෙනුවෙන් ම තිබුණ එක ම සිනමා පත්‍රය. සිනමාව වෙනුවෙන් ම කැපවෙලා, සිනමාවේ අභිවෘද්ධියට සහ අපේ ශිල්පීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ තලයකට ගෙන ඒමටත් ඔවුන්ගේ ජනප්‍රියත්වය වැඩි කිරීමටත් කටයුතු කළේ සරසවිය පත්තරෙන්. ඊළඟට ඒ එක්කම පටන් ගන්න සරසවි උළෙල තමයි අපේ රටේ සම්මාන පිළිබඳ ප්‍රමිතිය. ඒ කියන්නේ සරසවි සම්මානයෙන් පිදුම් ලැබීම කියන්නේ කෙනෙකුට මේ රටේ තමන්ගේ වෘත්තීය වෙනුවෙන් ලැබිය හැකි, සිනමාව වෙනුවෙන් ලැබිය හැකි උපරිම සම්මානය. ඒක තහවුරු වෙලා තියෙන්නෙ. කිසි කෙනෙකුට ඒකට අභියෝග කරන්න බෑ. ඉතිං ඒ සම්මානයේ තියෙන වටිනාකම ඒකයි. මේ සරසවි සම්මාන ප්‍රදානය වරින් වර නැවතුණා. ඒ නැවතුණු කාලය තුළ මහා හිඩැසක් ඇතිවුණා කියලයි අපිට නම් දැනුණේ. 70 දශකයේදි අවුරුදු ගානක් සරසවි සම්මාන උළෙල පැවැත්වූයේ නෑ. ඊට පස්සෙ කාලෙක ආයෙත් නැවතුණා . ඒකට හේතු පාදක වුණු කරුණු කාරණා මොනවද කියන්න නම් මම දන්නෙ නෑ. නමුත් එහෙම නැවැත්වීම අපිට දැනෙන්නෙ ශිල්පීන්ට වුණු ලොකු අසාධාරණයක් විදිහට. එහෙම කරපු එකෙන් ඒ ඒ වසරවල විශිෂ්ටත්වයට පත්වුණ කලාකරුවන්ට ඔවුන්ගේ ජීවිතයට ම ලැබෙන ඒ වටිනා සම්මානය නැතිවුණා. ඊට පස්සෙ කාලෙක ජීවිතයටවත් ආයෙත් එවැනි ඇගයීමකට ලක්වෙන්න පුළුවන් රඟපෑමක් හෝ වෙනත් කාර්මික දායකත්වයක් ඒ ශිල්පියාගෙන් ශිල්පිනියගෙන් සිදු නොවෙන්න පුළුවන්. ඉතිං එවැනි සරසවි සම්මානයක් අහිමි වීම ජීවිත කාලය පුරා ඔවුන්ට ලබන්න පුළුවන් වටිනා අවස්ථාවක් අහිමි කර දැමීමක්නෙ. අනිත් කාරණාව නම් සරසවි සම්මානය ලබා ගැනීම ඇත්තට ම ඒ කලාකරුවන්ගේ ජීවිතවලට මහා තිළිණයක්. ඔවුන් යන ගමන සාර්ථකයි. ඔවුන් යන මාර්ගය නිවැරදියි කියමින් තව තව මේ ගමනේ ඉදිරියට යන්න ඔවුන්ට ධෛර්යයයි මේ සපයන්නේ. අන්න ඒ ආකාරයෙන් ජනතාව තුළ පිළිගැනීමක් සහ කලාකරුවා දිරිගැන්වීමක් සිදු වෙනවා . ඉතිං මේ සියල්ල ම ඉතාම ඇගයීමෙන් කළේ සරසවිය. තවත් බොහෝ සම්මාන උළෙල තියෙනවා. නමුත් සරසවි සම්මානයක් දිනාගැනීම තමයි කලා ජීවිතයේ දී ලබන්න පුළුවන් උසස් ම පිළිගැනීම විදිහට පෞද්ගලිකව මට නම් හැඟෙන්නෙ.

ඔබත් සරසවි සම්මානයට පාත්‍ර වුණු කෙනෙක්?

ඔව්. ඇත්තෙන් ම. ඉතිං බොහෝ වතාවක් ඒ සරසවි සම්මානයට පාත්‍ර වුණ කෙනෙක් විදිහට මට ලොකු අභිමානයක් තියෙනවා. මේ ගෞරවනීය සම්මානය ලබාගන්න මට පුළුවන්කම ලැබුණනේ කියලා. මම වර්තමාන සරසවිය කර්තෘ මණ්ඩලයට සහ ලේක්හවුස් පාලනාධිකාරියට ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. මොකද මෙවරත් ඉතා ම උත්සවාකාරයෙන්, අති උත්කර්ෂවත් විදිහට සරසවි සම්මාන උළෙල පවත්වන්න ඔවුන් වෙහෙස වන බව මා හොඳින් දන්නවා . ඉතාමත් ඉහළින් අපේ සිනමාවේ විශිෂ්ටතම සම්මාන උළෙලට නිසි ගෞරවය ලැබෙන ආකාරයෙන් පවත්වන්නට ඒ දරන ප්‍රයත්නයට මගේ ඇතුළු සියලුම සිනමාවේ නියුතු හැම කෙනෙක්ගේ ම ප්‍රශංසාව හිමිවෙනවා.

මේ සරසවි සම්මාන උළෙල සමඟ ඔබට ඇති පැරණි මතකයන් අවධි කළොත්?

මට මතක් වෙන්නෙ මම ඉස්සෙල්ලාම සිනමා උළෙලකට සම්බන්ධ වුණු ප්‍රථම වතාව. ඊට ඉස්සෙල්ලා නිකම් ගමක තියෙන සිනමාව සම්බන්ධ කොන්සර්ට් එකකටවත් ගිහින් නැති මම ඉස්සෙල්ලාම සිනමාවට එන්නත් කලින් මම පාසලෙන් පිටවුණු අලුත ම වගේ, මට මතක විදිහට 1966 පරසතුමල් චිත්‍රපටය හොඳම චිත්‍රපටය වුණු අවුරුද්දෙ සරසවි සම්මාන උළෙල නරඹන්න මට අවස්ථාව ලැබුණා. මහා මංගල්‍යයක්. හරියට තරු කඩා වැටිලා වගේ පොළොවට. එතකොට ඉන්දියානු ශිල්පීන් පැමිණිලා හිටියා. ඉතිං මට ඉස්සෙල්ලාම අවස්ථාව ලැබුණෙ සරසවි උළෙලකට සම්බන්ධ වෙන්න. සිනමාව කියන්නේ මහා සැණකෙළියක් වගේ හැඟීමක් මට එදා දැනුණා. ඉස්සෙල්ලාම ඇතුළු වෙන කෙනෙකුට සරසවි උළෙලෙ රථ පෙරහරවලින් නළුනිළියන් නගරය පුරා ගෙනිහින් ගේන ආකාරය දැකීම .ඒක හරි චමත්කාරජනක අත්දැකීමක්. මහා දැවැන්ත උත්කර්ෂවත් සම්මාන උළෙලක්. ඉතිං ඒක මගේ සම්මාන උළෙලක් නැරඹීමේ පළමුවෙනි අත්දැකීම වීම ම මගේ ජීවිතේ වාසනාවක්. එදා සරසවි සම්මාන උළෙල අවසන් වෙලා මට කොහොම හරි අවස්ථාව ලැබුණා ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ නිවසට යන්න. එදා හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගත්තේ ඔහු. චිත්‍ර බාලසූරිය මහත්තයා තමයි මාව එක්කරගෙන ගියේ. එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ ගෙදර තිබුණු සම්භාෂණයටත් සහභාගි වෙලා එදා මාත් එක්ක ගෙදර ආවේ ධර්මසේන හේමපාල කියන අපේ කලා අධ්‍යක්ෂතුමා. එතුමා සරසවි සම්මාන උළෙලේ හොඳම කලා අධ්‍යක්ෂට හිමි සම්මානය එදා ලබාගත්තා. ඒ මගේ සිනමාවට සම්බන්ධ පළමුවෙනි උළෙල. මම සම්බන්ධ වුණ පළමුවෙනි සිනමා උළෙල අවසානයේ මම අපේ ගෙදර එනකොට ධර්මසේන මහත්තයා අපේ ගෙදර ආවෙ නැවතිලා පහුවදා උදේට වේයන්ගොඩ යනවා කියලා. මගේ නොවුණත් එදා සරසවි සම්මානයක් මගෙ ගෙදරට වැඩියා. ඒ යුගයේ කලා ලෝකයට සම්බන්ධ වෙන්න කිසිම අදහසක් නොතිබුණ මට පසු කාලෙක හය වතාවක් සරසවි සම්මානය දිනාගන්න වාසනා ලැබුණා. ඒක සරසවිය සම්බන්ධයෙන් මට තියෙන බොහොම සුන්දර මතකයක්.

මේ උළෙලෙන් ක්ෂේත්‍රය තුළ නවක ශිල්පීන්ට ලැබෙන අවස්ථාවන් මොනවාද?

නවක ශිල්පීන් ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වුවාම ඒක ඇගයීමට ලක්විය යුතු දෙයක් නම් ඔවුන්ගේ ජීවිතයේ ලැබෙන ලොකුම දිරිගැන්වීම තමයි මේ සරසවි සම්මානය.විශේෂයෙන් ම තාරුණ්‍යයේ දීම එවැනි දේකට හිමිකම් කියන්නට ලැබීම භාග්‍යයක්. අනෙක් කාරණාව නම් ඔවුන්ට මෙවැනි උළෙලකදී ඇගයීමකට ලක්වීම සහ ඒ ඇගයීමට ලක්වෙන කෘති දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන් මොන විදිහෙ දායකත්වයක් තමන් දක්වන්න ඕනෑ ද තමන්ගේ වෘත්තියට සම්මානනීයත්වයට පත්කරගැනීමට කියලා. මේ වෘත්තියට සම්බන්ධ වීම, නිකන්ම ජනප්‍රියත්වය පතා ඔහේ පාවෙන එකක් නොවෙයි ඉතාම ගැඹුරින් මැදිහත් වෙලා හොඳ නිර්මාණ කටයුතුවලට දායක වීමෙන් තමයි විශිෂ්ටත්වයට පත්වෙන්නෙ කියන හැඟීම ලෙහෙසියෙන්ම නව පරපුර තුළ ඇති කරන්න පුළුවන් මෙවැනි සම්මාන උළෙලකින්.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න