කිරි වෙනුවට බියර් | දිනමිණ

කිරි වෙනුවට බියර්

ඉස්සර, පුරාණ ගම්වල අප්පොච්චිලා තම කොලු ගැටවුන්ට මාස තුන හතරකට වරක් තෙලිජ්ජ ටිකක් ලබාදුන්නේ ය. පණුගාය හා ආමරෝග සුවපත් වී බඩ පදම්වීම සඳහා තෙලිජ්ජ පානය හොඳ බවට විශ්වාසයක් ගැමියන් අතර පැවැතිණි. තෙලිජ්ජ යනු හැබෑවට ම ඖෂධයකි. කිතුල් තෙලිජ්ජ වඩා හොඳ ය. පොල් තෙලිජ්ජ ‍ඊළඟට හොඳ ය. භික්ෂූන්ගේ දානයට පවා තෙලිජ්ජ ලබාදුන් අවස්ථා තිබේ. අප මේ කතාව ලියා තබන්නේ තෙලිජ්ජ කතාව දඩමීමා කරගෙන දරුවකුට බියර් ටිකක් දුන්නට මොකද’යි කෙනකු අසන්නට ඉඩ ඇති බැවින් ය.

කුඩා දරුවකු ඇකයේ තබාගෙන ඔහුට ආදරයෙන් බියර් පොවන වැඩිහිටියකු පිළිබඳ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කර තිබිණි. මෙය ආන්දෝලනාත්මක සිද්ධියක් සේ සැලැකිය හැකි ය. දරුවාගේ වයස අවුරුදු එකයි මාස එකක් බව ද, දරුවාට බියර් පොවා ඇත්තේ ඔහුගේ පියා බව ද දැන් හෙළිදරව් වී ඇත. මේ සිද්ධිය පොලිස්පතිවරයාගේ පවා දැඩි අවධානයට ලක් වූ අතර පියා ඇතුළු කිහිපදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පියා සිය නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඒ අතර කුඩා දරුවාට ද බියර් පොවා ඇත. පියා ලබන ජොලිය පුතාටත් ලබාදීම සඳහා මේ කටයුත්ත සිදුකරන්නට ඇතැ’යි සිතන්නට පුළුවන.

සිද්ධියට අදාළ බේබදු තාත්තා ගැන විවිධ අදහස් සමාජය වෙතින් ගලා එන්නට පටන්ගෙන තිබේ. එක අදහසකින් කියැවෙන්නේ තාත්තට හොඳනම් අපට මොකද යන්න ය. තව අදහසකින් කියැවෙන්නේ මෙය නරක ආදර්ශයක් බැවින් පියාට වහා ම දඬුවම් කළ යුතු බව ය. තවත් අදහසකින් කියැවෙන්නේ මේ දරුවාගේ මවට ද දඬුවම් කළ යුතු බව ය. පියාට ලබාදිය යුතු දඬුවම ගැන කියන සමහරු මින් මතු පියාට දරුවන් හැදීමට නොහැකි වන ආකාරයේ දඬුවමක් ලබාදීම යුක්තිසහගත බව ද හඟවති. දරුවකුට මත්පැන් පෙවීම කෙතරම් අශික්ෂිත ක්‍රියාවක් ද යන්න ඉහත අදහස්වලින් පැහැදිලි වෙයි.

හැබෑවට ම මේ පියා වරදවල් ගණනාවක් සිදුකර තිබේ. එක වරදක් වන්නේ කිරි දරුවකු මතට හුරු කිරීම ය. තව වරදක් වන්නේ සමාජයට නරක ආදර්ශයක් ලබාදීම ය. තවත් වරදක් වන්නේ දරුවාගේ සිහිය විකල්කිරීම හා ඔහු ක්‍රෑරත්වයට පත්කිරීම ය. පියා පමණක් නො ව; සිද්ධිය බලා සතුටු වූ ඔහුගේ මිතුරෝ ද, මේ නිවසෙහි අනෙක් ඇත්තෝ ද වරදකරුවෝ වෙති. උක්ත අශෝභන සිද්ධිය වැළැක්වීමට කිසිවකු ඉදිරිපත් වී නැත. එයින් පෙනී යන්නේ සෙසු පිරිස ද සිද්ධිය අනුමත කොට එයින් ජොලියක් ලබා ඇති බව ය. දරුවන්ට මත්පැන් පොවමින් සතුටු විය හැක්කේ කාට ද? නියම තාත්තලාට නම්; එවැන්නක් කළ නො හැකි ය. සියලුදෙනාට ම දඬුවම් ලබාදිය යුතු බව අපගේ මතය වන්නේ ය.

හොඳම දේ දරුවන්ට ලබාදෙනු යැයි නිතර යෝජනා කරන සමාජයක් දරුවන් කෙරෙහි ඇත්තට ම දක්වන හැඟීම මේ සිද්ධියෙන් සනාථ වෙයි. තාත්තලා පමණක් නො ව; ඇතැම් අම්මලා ද දරුවා කෙරෙහි ආදරයක් නො දක්වති. සමහරු උපන් හැටියේ ම සිය දරුවාගේ බෙල්ල මිරිකති. නැතහොත් වැසිකිළි වළට දමති. එසේත් නැතහොත් කැළයකට වීසි කරති. දරුවන් අතරමංකොට පැන යන මාපියන් ගැන නිතර වාර්තා වෙයි. සමාජය කොයිතරම් වේගයෙන් පිරිහීමට පත්වන්නේ ද යන්න එයින් පැහැදිලි වෙයි. මෙහි කෙළවර අපට සිතාගැනීමටත් නො හැකි ඛේදවාචකයක් විය හැකි ය. එක අතෙකින් මානුෂීය සබඳතා බිඳ වැටෙයි. තව අතෙකින් සමාජ වටිනාකම් බිඳ වැටෙයි.

වැඩිහිටි මාපියන් අතරමං කරන දරුවන් ද, දරුවන් අතරමං කරන මාපියන් ද අද අපට නිතර දකින්නට ලැබේ. මාපියන් තම වගකීම් හා යුතුකම් ගැන දන්නේ නැත. දරුවන් ද තම යුතුකම් හා වගකීම් ගැන දන්නේ නැත. නීතිය මඟින් මේ ගුණධර්ම හා හර පද්ධති යළි ගොඩනැඟිය හැකි යැයි විශ්වාස කිරීම ද මුළාවකි. දඬුවම් නියම වී හිරගෙදර තපින අය ද නැවත නැවත වැරදි කරති. සමහරු නීතියට බය නැත. දඬුවමට බය නැත. ලැජ්ජාව හා බය යන දෙක ම නොදන්නා පිරිසක් අපේ සමාජයේ සිටිති. මේ දෙක නැතිවන විට සමාජය කොයි තැනකට ගමන් කරත්දැ’යි කිසිවකුටත් නිශ්චය කළ නො හැකි ය. අප දැන් පසුවන්නේ එබඳු සමාජයක කොටස්කාරයන් වශයෙන් බව කිව යුතු ය.

අනේ මං තාත්තා; මං දරුවට මත්වතුර දෙනවද? මං බියර් බෝතලයකට දාල දරුවට වතුර දුන්නා, නැතහොත් බෙහෙත් දුන්නා, ඒත් නැතහොත් කිරි දුන්නා යැයි සිද්ධිය සම්බන්ධ පියා දැන් කියන්නට පුළුවන. ඒවා පෙරකදෝරු ගැටවන්නටත් පුළුවන. කොයි අතින් බැලුව ද දරුවාට බියර් පෙවීම වැරදි ය. බියර් බෝතලයෙහි වතුර දමා පෙවීම ද වැරදි ය. බියර් බෝතලයක් දරුවකුට පෙන්වීම පවා වැරැදි යැයි කියන්නට පුළුවන. මේ තාත්තා සිදුකර ඇත්තේ අපරාධයෙකි. ඔහුගේ මිතුරෝ ද ඊට සහාය දක්වා සිටිති. එබැවින් තාත්තාටද, තාත්තාගේ මිතුරන්ටද හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි අපට සිතේ. මෙය හෑල්ලුකර තාත්තා නිදහස් කරන්නේ නම් ඉදිරියටත් මෙබඳු සිදුවීම් අපේක්ෂා කළ යුතු ය.

ඉහත සිද්ධියේදී අම්මා පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් වන්නේ නැත. එය කුතුහලයට හේතුවකි. නියම අම්මා කෙනෙකු සි‍ටියේ නම්, බේබද්දන්ගේ අතට දරුවා භාරදෙන්නේ නැත. ඒ හැරත් කිසිවිටෙක දරුවාට බියර් පෙවීමට ඉඩ දෙන්නේ නැත. එක්කෝ මේ දරුවාගේ මව පවුල හැරගොස් ඇත. නැතහොත් ඒ දරුවාගේ මව පියවී සිහියකින් ජීවත්වන තැනැත්තියක නොවනු ඇත. ඉහත සිද්ධියේ චෝදනා ඒ අතට මේ අතට විසිර යන බවක් පෙනෙන්නට තිබේ. චෝදනා කොයි අතට විහිදුණද මෙබඳු දේවල් මතුමත්තේ සිදුවිය නොවිය යුතු ය.

දරුවන් මතට ඇබ්බැහි වීම පිළිබඳ බරපතළ සංවාදයක් අපේ සමාජය තුළ පවතී. කුඩු ජාවාරම්කරුවන් පාසල් කේන්ද්‍රකොට සිය ව්‍යාපාරය ගෙනයන්නට උත්සාහ දරන බවක් ද පෙනෙන්නට තිබේ. පාසල් දරුවන්ට අමුතුවෙන් මත පුරුදු කළ යුතු නැත. දැන් හැටියට තාත්තලාම එම කටයුත්ත භාරගෙන තිබේ. දරුවාට කිරි වෙනුවට බියර් ලබාදෙන සමාජයක් බිහිවී ඇත. මීට වගකිවයුත්තෝ කවරහු ද?

 

නව අදහස දක්වන්න