ඉන්දීය යොවුන් පිලෙන් දැවැන්ත ඉනිමක් | දිනමිණ

ඉන්දීය යොවුන් පිලෙන් දැවැන්ත ඉනිමක්

නිරෝෂාන් ප්‍රියංකර

අතර්වා ටයිඩ් සහ අයුෂ් බෙදෝනි රැස්කළ විශිෂ්ට ශතක ද්විත්වයත්, නෙහාල් වදේරා සමග එක්ව බදෝනි 6 වැනි කඩුල්ල‍ට ගොඩනැගූ ලකුණු 183ක් නොබිඳුණු සබඳතාවත් හේතුවෙන් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල සමග එන්.සී.සී පිටියේ පැවැත්වෙන පළමු සිවුදින තරගයේ දෙවැනි දිනය නිමාවනවිට පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 473ක් රැස්කිරීමට ඉන්දීය යොවුන් පිල සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු ඉනිම ලකුණු 244කට සීමාවූ අතර ඉන්දීය පිල තවත් කඩුලු 5ක් අතැතිව ලකුණු 229ක් ඉදිරියෙන් සිටී.

දිනය නිමාවනවිට අයුෂ් බදෝනි ලකුණු 107ක් සහ නෙහාල් වදේරා ලකුණු 81ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පන්දු 115කට මුහුණදුන් බදේනි හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඉනිමට එක්කරගත් අතර වදේරාගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වූයේ පන්දු 117කිනි.

ලකුණු 92කට කඩුල්ලක් දැවී තිබියදී දෙවැනි දිනය ඇරැඹු ඉන්දීය යොවුන් පිල ඊයේ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් වෙහෙසට පත්කරමින් තවත් ලකුණු 381ක් එක්කර ගත්තේය. ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුලු 4ක් පමණි.

නොදැවී ලකුණු 26ක් ලබා සිටියදී ඊයේ පිටියට පිවිසි අතර්වා ටයිඩ් ශ්‍රී ලංකා පළමු ඉනිම අබිබවා තම කණ්ඩායම රැගෙන ගියේය. ඔහු ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස කල්හාර සේනාරත්නගේ පන්දුවක් හමුවේ දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 258ක් විය. පන්දු 161කින් ලකුණු 113ක් රැස්කළ ටයිඩ්ගේ ඉනිම හතරේ පහර 13කින් වර්ණවත් විය.

දිනයේ පළමු කඩුල්ල ලෙස දෙව්දූත් පඩික්කල් ලකුණු 25කට දැවී ගිය අතර ටයිඩ් සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 86ක් එක්කරමින් සිටියදී පවන් ෂා සිවුවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත්විය. ඔවුන් දෙදෙනාම දැවී ගියේ කලණ පෙරේරාගේ පන්දු හමුවේය.

මුළු ලකුණු 290ක් වෙද්දී 5 වැනි කඩුල්ල ලෙස යාෂ් රතෝඩ් ලකුණු 34කට දැවී යෑමෙන් අනතුරුව නෙහාල් වදේරා සහ අයුස් බදෝනි එක්විය.

අද තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම - 244යි. (ඕවර 70.3) පසිඳු සූරියබණ්ඩාර 69, නිෂාන් මධුසංක 39, නිපුන් ධනංජය 39, සඳුන් මෙන්ඩිස් 39 (අයුෂ් බදෝනි 24/4, හර්ෂ් ටියාගි 92/4)

ඉන්දීය යොවුන් පිල පළමු ඉනිම - 473/5යි. (ඕවර 107) අයුෂ් බදෝනි නොදැවී 107, නෙහාල් වදේරා නොදැවී 81, අනුජ් රවාට් 63 (කලණ පෙරේරා 98/2, කල්හාර සේනාරත්න 114/2)

 

නව අදහස දක්වන්න