මුළු රටටම සේවය සපයන්න සුවසැරිය සූදානම් | දිනමිණ

මුළු රටටම සේවය සපයන්න සුවසැරිය සූදානම්

ශිරෝමි අබයසිංහ

දිස්ත්‍රික්ක 06 ක් පුරා මහජනතාවට විශාල සේවාවක් සිදු කරමින් සාර්ථකව ක්‍රියාත්මක වන 1990 සුවසැරිය ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සනිටුහන් කරමින් පවත්වනු ලබන සමාරම්භක උත්සවය මෙම 21 දා යාපනයේ දී‍ පැවැත්වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය 1990 සුව සැරිය ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අන්තර්ජාලය මගින් සජීවීව ආමන්ත්‍රණය කිරිමට නියමිතය. සුවසැරිය මෙම දෙවන පියවර ආරම්භ කිරීම සඳහා ඉන්දීය රජය අමෙරිකන් ඩොලර් මිලියන 15කට අධික මුදලක් ලබා දී ඇති අතර ඒ යටතේ නව ගිලන් රථ 209ක් ලබා දේ. ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් 1700කට අධික පිරිසක් පුහුණුව ලබා සේවයේ යෙදීමට‍ නියමිතය.

සුවසැරිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා වන 2018 අංක 18 දරන සුවසැරිය පනත ජුනි 21 දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඉන්දියානු ප්‍රදානයක් යටතේ 1990 සුව සැරිය ගිලන් රථ සේවය නියමු ව්‍යාපෘථියක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ වූ අතර පසුව මාතර, ගාල්ල, කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ව්‍යාප්ත කෙරිණි. ඒ සඳහා ගිලන් රථ 88ක් යොදවා ඇති ඒ සඳහා ඩොලර් මිලියන 7.55ක් ඉන්දීය රජය විසින් ලබා දී තිබිණි.

පළමු අදියරේදී ශ්‍රී ලාංකිකයන් 800ක් ගිලන් රථවල සේවයේ යොදවා තිබු අතර එමගින් දිනපතා රෝගීන් 175කට සේවය ලබා දී තිබේ. මේ වන විට රෝගීන් 79000කට අධික ප්‍රමාණයක් රෝහල් ගත කර ඇති අතර රෝහලට යන අතරතුරදී ගිලන් රථ තුළ උපත ලබා ඇති බිළිඳුන් ප්‍රමාණය 27කි.

ඇමතුමක් ලැබුණු පසු විනාඩි කිහිපයක් ඇතුළත රෝගියා සිටින ස්ථානයට පුහුණුව ලැබු වෛද්‍ය තාක්ෂණික නිලධාරියකු සමග පැමිණෙන ගිලන් රථය වඩාත්ම සුරක්ෂිත අයුරින් රෝගියා ළඟම රෝහලට ගෙන යන අතරතුරදී පූර්ව රෝහල් සත්කාරයක්ද ලබා දේ.

මහජනතාවට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවාවක් වන මෙම සේවාව ආරම්භ වන අවස්ථාවේදී විපක්ෂයේ දැඩි ප්‍රහාර එල්ල විය.

නව අදහස දක්වන්න