පළාත් සභා මැතිවරණය කල් දමන ලෙස කිසිවකු ඉල්ලා නෑ | දිනමිණ

පළාත් සභා මැතිවරණය කල් දමන ලෙස කිසිවකු ඉල්ලා නෑ

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, චමීර ඇල්ලදෙණිය

පළාත් සභා මැතිවරණය කල් දමන ලෙස කිසිඳු පක්ෂයක් හෝ පක්ෂ නායකයෙක් තමන්ගෙන් ඉල්ලා නැති බවත් මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත් කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන බවත් කතානායකවරයා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය 2017 ඔක්තෝබර් මාසයේදී ලබාදුන් තීන්දුව අනුව ඡන්දයක් කල් තැබීමට පාර්ලිමේන්තුවේ බහුතර මතය හා ජනමත විචා‍රණයක් පැවැත්විය යුතු බවත් එසේ නොමැතිව ඡන්දය කල් දැමීම  මහජන පරමාධිපත්‍ය යටපත් කිරීමට උත්සාහ දැරීමක් මෙන්ම එම ක්‍රියාව යුක්ති සහගත ක්‍රියාදාමයක් නොවන බවට ඒකාබද්ධ විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ මතයට ගරු නොකිරීම සම්බන්ධයෙන්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදි විමසීය.‍

එම අවස්ථා‍වේදී නැගී සිටි සභානායක, රාජ්‍ය ව්‍යවසා‍ය සංවර්ධන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, වත්මන් රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හා උත්තරීතර පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කටයුතු කරන බව පැවසූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒකාබද්ධ විපක්ෂයට අතීතය අමතක වී ඇති බව සඳහන් කළේය‍.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති ,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

පසුගිය කාලයේදී අගවිනිසුරුවරිය ඉවත් කරන්න එපා‍ කියලා, ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු දුන්නා. එක අහලා පැය 24ක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්කළ පසුගිය ආණ්ඩුව අගවිනිසුරුවරිය වැරදිකාරිය කර ඉවත් කළා. එදා කතානායක අ‍සුනේ සිටියේ කතානායක චමල් රාජපක්ෂ මහතායි. ඒකාබද්ධ විපක්ෂයට අද අතීතය අමතක වෙලා.

කතානායක කරූ ජයසුරිය මහතා

ඡන්දය කල් දමන්න කියා කිසිම පක්ෂ නායකයෙක් හෝ පක්ෂයක් මගෙන් ඉල්ලීම් කර නැහැ.මම මේ සතියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. ඡන්දය කඩිනමින් පැවැත්වීම ගැන කතා කරන්නට. කාටවත් චෝදනා කරන්නට බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා

ඡන්දය කල් දැමීම මහජන පරමාධිපත්‍ය යටපත් කිරීමක්. එය යුක්ති සහගත නැහැ.

කතානායක කරූ ජයසූරිය මහතා

ඡන්දය කල් දමන්නේ නැතිව කඩිනමින් පවත්වනවා‍.

නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර ජයමහ මහතා

ඉන්ධන ලීටරයක් රුපියල් සියයකට දෙනවා කියා එදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. පසුගිය රජය එම තීන්දු වලට ගරු කළේ නැහැ.


නව අදහස දක්වන්න