2012 දී වූ අක්‍රමිකතාවක් ගැන විමර්ශනයක් කරන්න නියෝග | දිනමිණ

2012 දී වූ අක්‍රමිකතාවක් ගැන විමර්ශනයක් කරන්න නියෝග

නෙල්කා මැදගෙදර

විදේශසේවා නියුක්ති කාර්යංශයේ 2012 වසරේදී සිදුවු බව කියන මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මුල්‍ය අපරාධ කොට්ඨාසයට අභියාචනාධිකරණය ඊයේ (18) නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විදේශ කටයුතු ඇමැතිවරයාව සිටියදී සිදුවූ බව කියන මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිළි කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට නියම කරන ලෙස ඉල්ලා එම කාර්යාංශ‍යේ සේවකයන් පිරිසක් ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගය කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරු ඉදිරියේ මෙම පෙත්සම සලකා බලන ලදී.

මෙම මුල්‍ය අක්‍රමිකතා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශ්‍රාමික පරිපාලන නිලධාරිවරයාගේ නිර්දේශය අනුව මේ සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළ යුතු වුවද මෙතෙක් එවැන්නක් සිදුකර නැතැයි පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී තිබිණ. එසේ තිබියදී පෙත්සම්කාර නිලධාරීන්ගේ වැටුප් වර්ධක අත්හිටුවමින් එම මුල්‍ය වංචාවේදී අවභාවිත වූ බව කියන රුපියල් හයලක්ෂ හැටහතර දහසක මුදලක් ඔවුන්ගෙන් අයකර ගැනීමට කටයුතු කර ඇති බවටද පෙත්සම මගින් පැමිණිලි කර තිබිණි.

පෙත්සම සම්බන්ධ එම කරුනු සලකා බැලූ අභියාචනාධිකරණය විසින් ඉහත නියෝගය දෙන ලදී.

නව අදහස දක්වන්න