ඉදිරි දිනවල සුළඟේ වේගයේ වැඩිවීමක් | දිනමිණ

ඉදිරි දිනවල සුළඟේ වේගයේ වැඩිවීමක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟම ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත.

අද(19) උදැසන සිට හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත්, හැටන් කොළඹ ප්‍රධාන මාරයෙත්, හැටන් මස්කෙලිය බගවන්තලාව මාර්ගයේත් අවට අතුරු මාර්ගවලත් ගිනිගත්හේන නොටන්බ්‍රිජ් මාර්ගයේත් මෙම ඝන මිදුම් තත්ත්වය පවතින අතර, එම ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් හැටන් නගරයද මිදුමෙන් වැසි ගොස් තිබුණි.

ඉදිරියට ධාවනය වන වාහනය නොපෙනෙන සේ මෙම ගණ මිදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස ඉවසිමෙන් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.

නව අදහස දක්වන්න