දියුණුවට බාධාවක් නොවූ දෛවය | දිනමිණ

දියුණුවට බාධාවක් නොවූ දෛවය

කැප­වීම , උත්සා­හය තිය­න­වා­නම්  පුද්ග­ල­යෙ­කුට කළ නොහැකි දෙයක් නැහැ. පොත්පත් කිය­වලා ගන්නා  දැනු­මයි, අන්ත­ර්ජා­ලය  පරි­හ­ර­ණය කරලා ගන්න දැනු­ම­ටයි  වඩා අත්දැ­කී­ම්ව­ලින් ලබා ගන්නා  පන්න­රය හොඳයි කිය­ලයි  මම කියන්නේ.
ඕනෑම රටක ආර්ථිකයක් සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රටේ දිගු කාලීන ආර්ථික ඉලක්ක සපුරා ගැනීම හැඩගැස්විය යුත්තේ කෙසේද, මෙහි දී ඔවුන් මුහුණ දෙන අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති මොනවාද. ආර්ථිකයේ දිශානතිය තීරණය කිරීමෙහිලා සුළු හා මධ්‍ය පරිමාණයේ කාර්යභාරය කෙලෙසක විය යුතු ද යන්න පිළිබඳ දිග හැරෙන සාරාර්ථ පිළිසඳරක් සඳහා හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ ණය ) ජූඩ් ප්‍රනාන්දු මහතා මෙලෙස ඔබ හා සම්මුඛ වෙයි.

 

මිහිමත වෙසෙන කිසිවෙකුට සර්වසම්පුර්ණ ජීවිත හිමි වී නැත. දෛවය විසින් මිනිසුන්ගේ ජීවිත නොසිතන වේලාවන්හිදී ඛේදනීය ලෙස වෙනස් කරන්නේ ඔවුන්ව අසරණ තත්ත්වයන්ට පත් කරමිනි. ඒ අසරණකමින් දිවිය අසාර්ථක කර නොගෙන අභියෝග හමුවේ ධෛර්යයෙන් තම ආර්ථික මම්ටම ශක්තිමත් කර ගත් අබාධිත පැළ තවාන් හිමිකරුවකු වන හික්කඩුව පන්විල ප්‍රදේශයේ පදිංචි පී . ඒ ජයසේනගේ දියුණුවේ කථාව මෙසේ ය.

මම උසස් පෙළ සිදු කරාට පස්සේ පොලිසියේ පුංචි රැකියාවක් කළා. ඒ අතරවාරයේ දී බීමත් රියදුරෙක් නිසා මගේ වම් පාදයේ දණහිසින් පහළ කොටස නැති වුණා . මට කකුළ නැති වුණාට පස්සේ ජීවත්වෙන්න මඟක් නැති වුණ නිසා මම කල්පනා කර කර හිටියා. එහෙම ඉන්න කොට මට හිතුණා මේ වගේ පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තොත් හොඳයි කියලා. මගේ බිරිඳ තමයි මට සහයෝගය දුන්නේ. ඇය දැන් ග්ලුකෝමා රෝගය නිසා දෘශ්‍යාබාධිත තත්ත්වයට පත් වෙලා ඉන්නවා.

අවිනිශ්චිත වූ ජීවිතයකට කවදා කුමක් සිදු වෙයිද නැද්ද යන්න පිළිබඳව අපට කිසි දිනක වටහා ගැනීමට නොහැකි ය. ඒ වුවත් කුමන අවස්ථාවක දී කුමක් සිදු වුවත්, අභීතව ජීවිතය යළි ගොඩනඟා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් ජයසේන තම ජීවිත කථාවෙන් එය ප්‍රායෝගිකව ඔප්පු කර තිබේ.

පැල කිහිපයකින් තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. මගේ බිරිඳ තමයි ගමේ තියෙන මල් සමිතිවලට ගිහිල්ලා මල් පැළ වගාව පිළිබඳව මට ඉගැන්නුවේ. මම අපේ ගමේ අවට තිබෙන පැළ තවාන් හිමිකරුවන්ගෙන් දැනුම ලබා ගන්නවා. ඒ වාගේම මම පැළ වගාවන් පිළිබඳව පොත්පත් කියවලා දැනුම ලබා ගන්නවා.

මගේ ළඟ වැඩිපුර තියෙන්නේ ඕකීඩ් සහ ඇන්තූරියම්. ඩෙන්රෝබියම් ඕකීඩ් වර්ගය , හවාලි, ලේඩිජන්, රැසීඩෝ, බටර් ෆ්ලයි , සහ බයිකලර් යනාදී ඇන්තූරියම් වර්ගයි. මේ වෙනකොට ඕකීඩ් පැළ 300 ක් , ඇන්තූරියම් වර්ග 100- 150 අතර ප්‍රමාණයක් පවතිනවා.මල් පැළ තවාන්වලට ගිහිල්ලා මල් පැළ අරන් ඇවිත්, ඒවා වලින් තවත් පැළ බෝ කරගෙන තමයි මම මේ ව්‍යාපාරය සිදු කරන්නේ. අපේ වෙළෙඳපල දුර්වලයි. පැළයක් විකුණන්නේ කලාතුරකිනුයි.මගේ ළඟ නාරි ලතා, ලකී ප්ලාන්ට්ස් , කැටීලියා සහ වැන්ඩා වැනි විසිතුරු පැළ තියෙනවා. සරුවට වැඩුණු ඕකීඩ් මල් පෝච්චියක් රුපියල් 500 කට තමයි මම විකුණන්නේ.

අපි අමාරුවෙන් තමයි දරුවන් තුන්දෙනත් එක්ක ජීවිතය ගෙවන්නේ. පැළ තවානෙන් ලැබෙන ආදායමට අමතරව වත්තේ තියෙන කෙසෙල් මුව, ගස්ලබු විකුණනවා. ඒ වාගේම මම ත්‍රීවිලර් රියදුරෙකු ලෙස සේවය කරනවා.

කුඩා කාලයේ ඉඳලම මමයි මගේ බිරිඳයි මල්වලට බොහෝ ආදරය කරන දෙදෙනෙක්. විවාහ වුණාට පස්සේ අපි දෙන්නා යන හැම තැනකදීම කොහොමහරි එක මල් පැළයක් හරි ගේනවා‍. මගේ බිරිඳගේ ඇස්වල රෝගී තත්ත්වය නිසා මල් පැළවලට පොහොර දාන්න ඇයට මම පවරන්නේ නැහැ. ඒ වුණාට පැළ සිටුවීම, වතුර දැමීම සිදු කරන්නේ මගේ බිරිඳ අතින්.

අශාවන් තුළින් අනාගතය සරිකර ගන්නට උත්සහ කරනු විනා මුදල් හඹා යෑමේ පිපාසාවෙන් සිටින බොහෝමයක් දෙනා අතරින් මොහු සිතට අවංකව ස්වයං රැකියාවක් කරන පුද්ගලයෙකු බව මා හට වැටහිණි.

දැනට මම පැළ තවාන සකසලා තියෙන්නේ මගේ බිරිඳ‍ගේ මල් සමිතියෙන් දීලා තියෙන නෙට් කෑලි කිහිපයකිනුයි‍ . පුංචි පැළ ගෘහයක් තමයි දැන් තියෙන්නේ . ඒකත් ගස්වලට බැඳලා කණු තියලා තමයි සකස් කරලා තියෙන්නේ. මම කැමතියි මට උපකාරයක් ලෙසට පැළ තවාන වැඩිදියුණු කරන්න උපකරණ සහ ඕකිඩ් සහ ඇන්තූරියම් පැළ සහ මල් පෝච්චි ලබා දෙනවා නම්, මූල්‍යමය උපකාරයක් නොකළත් එහෙම උපකාරයක් මට කරනවානම් මට පුළුවන් පැළ තවාන වැඩිදියුණු කරන්න. දරුවෝ තුන්දෙනාගේ අධ්‍යාපනයට වියපැහැදම් වෙන හින්දා පැළ තවානට අවශ්‍ය උපකරණ මිල දී ගන්න අපට හැකියාවක් නැහැ. අපි පාරම්පරික ධනවතුන් නොවෙන හින්දා අපේ ආර්ථිකය ගොඩනඟා ගන්න මේ පැළ තවාන ලොකු ශක්තියක්.

මම කැමතියි ඕනෑම කෙනෙක් මේ වගේ පැළ තවානක් පුංචි ආසාවක් ඇතිවෙලා හරි ආරම්භ කරනවානම් . මුදලට වඩා මානසික සුවයක් ලබා ගන්න පුළුවන් ස්වයං රැකියාවක් කියලයි මම කියන්නේ . කෘමි උවදුරු වැනි දෑ නිසා වගාවන් හානි වෙලා එක් අවස්ථාවක පැළ තවාන විනාශ වුණත් නැවත සැරයක් උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ හොඳ පැළ තවානක් හදන්න. කැපවීම , උත්සාහය තියනවානම් පුද්ගලයෙකුට කළ නොහැකි දෙයක් නැහැ. පොත්පත් කියවලා ගන්නා දැනුමයි, අන්තර්ජාලය පරිහරණය කරලා ගන්න දැනුමටයි වඩා අත්දැකීම්වලින් ලබා ගන්නා පන්නරය හොඳයි කියලයි මම කියන්නේ.

ආබාධිත වුණා කියලා ශක්තිය, ධෛර්ය නැති කරගෙන දුක් වෙන්න අවශ්‍ය නැහැ. මම දැන් ජීවත්වෙන්නේ කෘත්‍රීමව සකස්කරන ලද කකුලක් උපයෝගී කරගෙනයි. අනිත් අයට වගේ ලස්සනට ඇවිදින්න බැරි වුණා කියලා මම දුක් වෙන්නේ නැහැ. මම අද මට මිහි වී තියෙන දේවල්වලින් සතුටින් ජීවත් වෙනවා.

හිමි වී ඇති දෑවලට වඩා අහිමි වී තිබෙන දෑ පිළිබඳ පශ්චාත්තාපයට බඳුන් වන නුතන පරපුරට ජයසේන කියා දෙන්නේ අපූරු පාඩමකි. සියලු ශරීර අංගවලින් පරිපූර්ණව ජීවත්වන බොහෝ දෙනෙකුට සාපේක්ෂව ජයසේන වර්තමානයේ දී තම ආර්ථිකය ගොඩනඟාගෙන ඇති අන්දම මුළු මානව සංහතියටම ආදර්ශයක් සපයන බව කිව යුතුම ය.

මදාරා මුද­ලිගේ

නව අදහස දක්වන්න