තායි රටේ එහෙම වෙතේ අපේ රටේ එහෙම නැතේ | දිනමිණ

තායි රටේ එහෙම වෙතේ අපේ රටේ එහෙම නැතේ

අවසානයේ ලෝකයම සැනසුම් සුසුම් හෙළමින් ඒ අපූර්ව ක්‍රියාන්විතය නිමා විය. ඌරු කණ්ඩායම (Wild Boar) යහතින් හිරු එළිය දුටුවෝය. මුලින්ම ගණන් බැලූ පරිදි මේ හිතුවක්කාරයන් බේරා ගැනීමට මාස ගණනාවක් යා යුතුව තිබුණි. තවද නොබෝ දිනකින් කඩා වැටීමට නියමිත මහා මෝසම් වැසි හේතුවෙන් ඔවුන් රැදී සිටි ගුහාව දක්වා වතුර පිරීමට නියමිතව තිබුණි. අමිහිරි හා අවසනාවන්ත ඉරණමක ඉඟි පළ වෙමින් තිබුණි. බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් විසින් යම් හෝඩුවාවක් සොයා ගන්නා විට දරුවන් අතුරුදහන් වී දින දහයක්ද ඉක්මවා ගොස් තිබුණි.

මේ ළමයින් හා ඔවුන්ගේ 25 වියැති පුහුණුකරුවා රැදී සිටි ගුහාවට යමකුට ළඟා වීමට නම් ජලයෙන් පිරුණු හා මිනිසකුගේ ශරීරයටත් වඩා පළලින් අඩු පටු උමං මාර්ගයක කිලෝ මීටර් හතර හමාරක් යා යුතුව තිබුණි. ඒ වෙත ළඟා වී ආපසු ඒමට අඩු වශයෙන් පැය 11ක් ගත වෙයි. එය සැබැවින් ම ජීවිතය හා මරණය අතර සටනකි. සිද්ධියට ලැබී තිබුණු ලෝක අවධානය අනුව මේ එක් අයකුගේ හෝ ජීවිතයට යම් අනතුරක් වීම තායිලන්ත රජය අති සංවේදී කාරණයක් සේ සැලකීය.

ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදු කෙරුණු අති දුෂ්කරම වූ ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථකව නිමා කිරීමට මනුෂ්‍ය සංහතියට හැකි විය. අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව ආදී රටවල්වල විශේෂඥ පිරිස් ප්‍රදේශයට ළඟා වී තිබුණි. බොහෝ රටවල් මේ මොහොත මිනිස් සංහතියේ සංධිස්ථානයක් සේ සලකා කටයුතු කළහ.

තායිලන්තය ථේරවාදී බෞද්ධ රටකි. අපේ උපසම්පදා ක්‍රම පැමිණියේ ද හිතවත් තායිලන්තයෙනි. එරට බෞද්ධ අබෞද්ධ සියලු දෙනා දින ගණනාවක් දරුවන් වෙනුවෙන් ආගමික කටයුතු කළහ. බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමාගේ ආධ්‍යාත්මික වපසරිය ලෙන් දොර අසල සිට මුදා හැරියේය. බුරුමයේ සිට විශේෂ හිමිනමක් ආගමික කටයුතු කිරීමට පැමිණීම ලෝකයේම අවධානයට ලක් විය. පාප් වහන්සේ වතිකානුවේ සිට දරුවන් වෙනුවෙන් යාච්ඤා කළහ. මුස්ලිම් හා හින්දු ආගමික නායකයන් පූජා පැවැත්වීය.

මේ දිනවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය දෙවෙනි තැනට දමමින් ලෝකයේ බොහෝ ජනමාධ්‍ය මේ සිද්ධියට ප්‍රමුඛත්වය දී තිබුණි. බෞද්ධ රටක් වූවත් මෙරට ජනමාධ්‍යට කට ගැස්මක් වී ඇති දේශපාලන නරි නාටක හා පාතාල සෙල්ලම් දිනකට ඉවත හෙළීමට අපේ ජනමාධ්‍යය නම් මැළි වූ බවක් පෙනුණි. මේ අති සංවේදී සිදුවීම මෙරට මාධ්‍යයන්ට තත්පර කිහිපයක පුවතක් පමණක් විය. මෙවැනි වාර්තාකරණයන් වැදගැම්මකට නැතැයි යමකු තර්ක කළ හැකිය. නමුත් ලෝකය පුරා දෝරෙ ගලා යැවිය යුතු මානව ප්‍රේමයේ සියුම් තැන් උද්දීපනය කිරීමට හැකි අයුරින් මෙය වාර්තා කළ හැකිව තිබුණි.

කෙසේ නමුත් මේ අවස්ථාව ආවරණය කිරීමට කිසිම ජනමාධ්‍යකට එරට බලධාරීන් ඕනෑවට වඩා අවසර දුන්නේ නැත. ජනමාධ්‍ය වුව ද කැමරා ඔසවාගෙන එතැන මොර දෙන්නට ගියේ නැත. මෙහෙයුමේ ප්‍රධානියාට මාධ්‍ය හැදුනුම්පත් පෙන්වා කලබල ඇති කරන්නට කිසිවෙක් එහි නොවූහ. සියල්ලෝ ඉවසීමෙන් සිටියහ. එහෙත් ඔවුහු කැමරා අටවා ගෙන සජීවී විකාශන ලබා දුන්හ. සමහර අවස්ථාවල පැය ගණන් එකම රූප රාමුවකට සීමා වී තිබුණි.

එසේම ඔවුන් එරට අගමැතිවරයාට හෝ ආණ්ඩුවට දෙහි කපමින් සිටියේද නැත. පුහුණුකරුවාගේ අගමුල අවුස්සමින් ඔහු මිනීමරුවකු කරන්නට ගියේද නැත. මේ හය හතර නොතේරෙන දරුවන් ආරක්ෂා කරමින් ලෝකය තමා සොයාගෙන අන්ධකාර ආගාධයට එනතෙක් මේ තරුණ පුහුණුකරුවා විශිෂ්ට සේවයක් කළ බව එරට පිළිගත්තේය. වර්ෂ 1972 දී අන්දීස් කඳුවැටියේ හැපී කඩා වැටුණු ගුවන් යානයේ සිටි උරුගුවේහි පාසල් රග්බි කණ්ඩායමේ නායක නන්දෝ පරාදෝ මෙන් මේ තරුණයා ධෛර්යය සම්පන්නව සිටියේය.

තව ද ගුහාව තුළ සිටින ළමයින්ගේ ගෙවල්වලට ගොස් මවුපියන්ගේ කඳුළු විකිණීමට ද කිසිවෙක් කටයුතු නොකළහ. ඔවුන්ව දුරකතනවලින් සම්බන්ධ කරමින් මාධ්‍ය සාකච්ඡා තබන්නට කිසිවකු එහි නොසිටියහ. ගුහාවට රිංගා යන්න තැත් කරන ඇමතිවරුත් නොසිටියේය.

තායිලන්ත අගමැතිවරයා දින ගණනාවක් අදාළ උමං ප්‍රදේශය වූ චියෑන් රායි ප්‍රදේශයේ රැඳී සිටියේය. ඒ ආසන්නයේම ‍රැඳී සිටිමින් මෙහෙයුම්වලට ධෛර්යය ලබා දුන්නේය. මවුපියෝ කෑම බීම සාදාගෙන උමග අසල දරුවන් එන තෙක් බලා සිටියෝය. දරුවන්ගේ පාසල ඒ වෙනුවෙන් සියලු අනෙකුත් වැඩ නවත්වා තිබුණි. ලෝක පාපන්දු සම්මේලනය ඔවුන් වෙනුවෙන් රුසියාවේ පාපන්දු ලෝක කුසලානයේ අවසාන තරගයේ අසුන් හා ගුවන් ටික්ට්පත් වෙන්කොට ගෙන නොඉවසිල්ලෙන් බලා සිටියහ.

ලෝක ඉතිහාසයේ මේ උදාර ක්‍රියාන්විතය වෙනුවෙන් තායිලන්ත නාවුක සීල් නිලධාරියකු වූ සමන් ගුලාම් තම වටිනා ජීවිතය පූජා කළේය. දින ගණනාවක් දරුවන් සමඟ ‍රැඳී සිටිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ගැන වග බලාගත් ඕස්ට්‍රේලියානු ජාතික දොස්තර හැරිස්ට ඉතිහාසයේ පිටුවක් වෙන් වනු ඇත. පුටුවක අයිතියටත් වැඩවරන සමහර දොස්තර මහත්වරුන්ට ඔහු මහඟු ආදර්ශයකි.

හවස් වන විට මේ බිම්ගෙයි සිරකරුවන් හා ඔවුන්ගේ පුහුණුකරුවා ලෝකයට විවර විය. අපායේ සිට දෙව්ලොවට ආ මේ පිරිස පැය එකොළහක නගර සංචාරයක් ගෙන යෑමට බලධාරීහු කටයුතු කළේය. කිසිවෙක් කිසිවකුට ආඩපාලි නොකියමින් මේ මහා කර්තව්‍යය සාර්ථකත්ව නිම කිරීමට මිනිස් සංහතියට හැකිවීම එක්තරා දුලබ හපන්කමකි. එසේම හදවත මොහොතකට නතර කරවන්නකි.

මිනිසුන් ලේ හළා වෙන් කිරීමෙන් නොව ලේවලින් එක් වූ විට පමණක් ලෝකය එකම යායක් ලෙස පෙනෙනු ඇත.

අනුර රන්වල


නව අදහස දක්වන්න

Or log in with...