රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවාගේ පුතුට පොලිසියෙන් ගහලා | දිනමිණ

රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවාගේ පුතුට පොලිසියෙන් ගහලා

හෙට්ටිපොල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කළ අමානුෂික පහර දීමක් හේතුවෙන් රෝගී වූ තරුණයකු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ එල්.ටි.ටි.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 2000 වර්ෂයේදී මියගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ කපිතාන් තිලකරත්න බාලසුරිය මහතාගේ බාල පුත්‍රයා වන කසුන් කනිෂ්ක බාලසුරිය නමැති 19 හැවිරිදි තරුණයායි. මේ පහර දීම සිදු කර ඇත්තේ පසුගිය දසවන දිනයි. පහරදීමෙන් පසු මේ තරුණයාට නීති විරෝධී මත්පැන් චෝදනාවක් දමා අධිකරණයට ඉදිරිපත් කළ බව ද වාර්තා වේ. පොලිස් පහර දීම හේතුවෙන් දින තුනක් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ මේ තරුණයා මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබයි. ඊයේ (19) අලුයම මේ තරුණයා කොළඹ ජාතික රෝහලට යවා සී. ටි. ස්කෑන් පරීක්ෂණයක්ද සිදු කර ඇත .

පොලිස් පහර දීමෙන් පසු අවස්ථා කීපයකදී තම පුත්‍රයාට ක්ලාන්තය සැදුණු බව මේ තරුණයාගේ මව සුධර්මා බාලසුරිය මහත්මිය පැවසුවාය. අපි වතුර ෆිල්ටර් කරලා බෙදා හරිනවා. මමයි චුටි පුතයි තමයි මේක කරන්නේ. සිද්ධිය වූ දා ගමේ තරුණයෝ දෙන්නෙක් පුතාගේ වාහනය පැහැරගෙන. පුතාවත් ඒ වාහනයේ දාගෙන යද්දී පොලිසිය අත දාලා තියනවා. මේ වෙලාවේ වාහනය එළවලා තියෙන්නේ වාහනය පැහැර ගත්තු එක්කෙනෙක්. පොලිසිය දිගට ම වාහනය පස්සේ පන්නන් ඇවිල්ල තියනවා. මේ අයත් කිලෝමීටර් ගණනක් ඇවිල්ල ආණමඩුව ප්‍රදේශයේදී වාහනය දාලා පැනලා ගිහින් තිබුණා. ඒ වෙලාවේ පුතා වාහනයේ ඉද්දීම පොලිසිය අල්ලගෙන තියනවා. පුතාට කිසිම දෙයක් කියන්න නොදී අතින් පයින් හා පිස්තෝලයකින් ගහල තියනවා. පස්සේ අත් කකුල් බැඳලා වාහනයට දා ගෙන තියනවා. ඒ වෙලාවේ පුතා තමයි කියලා තියෙන්නේ අර මිනිස්සු දෙන්නා බෑග් එකක් විසි කරලා ගියා කියල. මම මේ ගැන කුලියාපිටිය පොලිස් අධිකාරී කාර්යාලයට ගිහින් කිව්වා ඵලක් වු‍ ණේ නැහැ. මගේ මහත්තයා නැති වුණේ රට වෙනුවෙන් වැඩ කරන්න ගිහින්. මට මගේ පුතාව නැති කර ගන්න බැහැ. මම ඉල්ලනේ මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලයි.

මේ ගැන පොලිසියෙන් කළ විමසීමේ දී කියා සිටියේ අදාළ දිනයේ දී පල්ලම මදවක්කුලම ප්‍රදේශයේ සැරි සැරූ දෙදෙනෙකු ගම්වැසියන් විසින් අල්ලා පොලිසියට භාර දුන් බවයි. මේ දෙදෙනා ගැන හෙට්ටිපොල පොලිසිය දැනුවත් කළත් තමනට මේ දෙදෙනා අවශ්‍ය නොවන බව හෙට්ටිපොල පොලිසිය විසින් තම පොලිසිය දැනුවත්

කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ඇප මත නිදහස් කළ බවයි. මේ චෝදනාව එල්ල වන හෙට්ටිපොල පොලිසියෙන් කළ විමසීමේ දී හෙට්ටිපොල පොලිස් ස්ථානාධිපති ආර්. ඩී. ඒ. රාජපක්ෂ මහතා කියා සිටියේ පසුගිය දසවන දින මෙවැනි සිදුවීමක් වූ අතර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ නීතිවිරෝධි මත්පැන් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට බවයි. මේ සිදුවීම වූ දින පල්ලම පොලිසියෙන් හෙට්ටිපොල පොලිස් වසමේ දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බව දන්වා තිබුණත් ඒ වන විට අදාළ පොලිස් නිලධාරියා නොදැනුවත්ව සිටීම හේතුවෙන් තම පොලිසියට මේ දෙදෙනා අනවශ්‍ය බව දන්වා ඇති බව ද පැවසිය . ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබෙන්නේ නම් නැවත විභාග කළ හැකි බව ද පැවසිය.

ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමුහ

නව අදහස දක්වන්න