සුව සැරිය ගිලන් රථ සේවාව රට පුරාම | දිනමිණ

සුව සැරිය ගිලන් රථ සේවාව රට පුරාම

සන්ධ්‍යා කරුණාරත්න

රටපුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව වන සුවසැරිය ගිලන්රථ පහසුකම මේ වසර අවසාන වන විට ව්‍යාප්ත කරන බව “සුවසැරිය“ මෙහෙයුම් කළමනාකාර ගයාන් චතුරංග මහතා පවසයි.

සෑම මසකදීම එක් පළාතක් ආවරණය වන ලෙස මේ සේවාව ඉදිරි කාලයේදි ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත් උතුරු පළාතට අවශ්‍ය ගිලන්රථ 20ක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙදා හැරීම හෙට (21) සිදු කරන බවත් ඒ මහතා පැවසීය.

රටම ආවරණය වන ලෙස සුවසැරිය ගිලන්රථ 209ක් බෙදාදීම ඉදිරි කාලයේදි සිදු කරන්නේයැයි ද, බස්නාහිර හා දකුණු පළාත් සඳහා ගිලන්රථ 88ක් මේ වන විට ලබාදී ඇත්තේයැයි ද හෙතෙම පැවසීය.

1990 දුරකථන අංකය යටතේ නොමිලේ ක්‍රියාත්මක කරන සුවසැරිය සේවාව පළමු අදියර යටතේ බස්නාහිර හා දකුණු පළාත්වලට පමණක් ලබා දුන් අතර දෙවැනි අදියර යටතේ රට පුරාම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සුවසැරිය සේවාව ක්‍රියාත්මක කිරීමෙන් මේ වන විට දරු උපත් 29ක් සිදු කර ඇති බවත් 80,000 කට ආසන්න රෝගීන්ට පූර්ව ප්‍රතිකාර සේවාව ලබා දී ඇති බවත් වාර්තා වේ.

පැය 24 පුරාම ක්‍රියාත්මක මේ සේවාව හේතුවෙන් රෝගියා ආරක්ෂිතව රෝගී වූ ස්ථානයේ සිට රෝහල වෙත ගෙන යාමෙන් රෝගියාගේ ජීවිත අවදානම පහව යන්නේයැයි ද චතුරංග මහතා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න