රටට හානිදායක ව්‍යවස්ථාවක් ගේන්නේ නෑ | දිනමිණ

රටට හානිදායක ව්‍යවස්ථාවක් ගේන්නේ නෑ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ උපදේශක කමිටුව පසුගියදා‍ ඉදිරිපත් කළ ව්‍යවස්ථා දළ කෙටුම්පත අගමැතිවරයා ප්‍රමුඛ ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කළ බවත් රටට හානිදායක වන ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා‍ කෙටුම්පතක් ඉදිරිපත් නොකරන බවත් අධිවේගි මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

රටට ආදරය කරන ජනතා නියෝජිතයන් ලෙස සෑම පක්ෂයකම අදහස් විමසා‍ සැකසූ දළ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හෙතෙම පැවසීය‍.

ව්‍යවස්ථා උපදේශක කමිටුවේ එකඟතාවෙන් යුත් පොදු ව්‍යවස්ථා සාකච්ඡා පත්‍රයක් ඉදිරිපත් කරන බවද කබීර් හෂිම් මහතා සඳහන් කළේය.

පෙරේදා (18) පත්කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න, එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත මඟින් ජනාධිපතිවරයා ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් ඇති බවත් අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයාගේ අත්සනින් ජනාධිපති ධුරය අහෝසි කිරිමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, දයාසිරි ජයසේකර, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිස මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මහතා- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත හදලා තිබෙන්නේ ජයම්පති වික්‍රමරත්න, සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් විසින්. සුරේන් ප්‍රනාන්දුත් මෙයට සම්බන්ධයි. මෙම කෙටුම්පත මුළු විද්වත් කමිටුව විසින්ම අත්සන් කර නැහැ.

අනුර දිසානායක මහතා- මේ ව්‍යවස්ථාව හැදීමේ වගකීම කතානායකවරයාට තිබෙන නිසා මේ ගැන කතානායකවරයා සොයා බලන්න‍.

ඇමැති කබීර් හෂීම් මහතා- උපදේශක කමිටුව සකස් කළ කෙටුම්පත ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේකෙ දැන් මොකුත් නැහැ. මේ රටට හානියක් වන ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපිත් ඉඩ දෙන්නෙ නැහැ. සෑම පක්ෂයකම මතය ඇතුළත්වන ආකාරයට මෙය සකස් කරනවා.

නව අදහස දක්වන්න