ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද නමින් කැලෑ පත්තරයක් | දිනමිණ

ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද නමින් කැලෑ පත්තරයක්

* බලය බෙදූ හැටි ජනපති ලොවට කියයි
* ඇමැතිලාට, නෝනලාට අල්ලස් දුන් තවත් කතා
* මහින්ද රටගිය අතරේ කවුදෝ ගේමක් ගහලා
* ජවිපෙ 20ට වාසුගෙන් සංශෝධනයක්

බස්නාහිර පළාත් සභාවේ සියලු කාර්යාල එක ගොඩනැගිල්ලකට රැගෙනවිත් එක තැනක ස්ථාපනය කිරීමේ කාර්යය පසුගියදා සිදුවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 දරන ස්ථානයේ නව පළාත් සභා කාර්යාල සංකීර්ණය විවෘත කරනු ලැබුවා. පළාත් සභාවේ සියලු කාර්යාල මෙහි ස්ථාපනය කිරීම මඟින් මහජනයාට පහසුවෙන් සිය කටයුතු ඉටුකර ගැනීමට අවස්ථාව උදාවනවා.

එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිතුමා කීවේ තමන් බලය බෙදීමේ සංකල්පය පිළිගන්නා බවයි. එක් එක් රටවල පවතින සමාජයීය, දේශපාලන හා සංස්කෘතික වෙනස්කම් අනුව බලය බෙදීම විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අප රටට අවශ්‍ය වන්නේ රට නොබෙදන ෆෙඩරල් නොවන නමුත් බලය බෙදාහැරෙන ක්‍රමයක් බවත් පෙන්වා දුන්නා. ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් මෙම බලය බෙදීමේ ක්‍රියාවලියේ තව පියවර කිහිපයක් ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

ඉතාලියේ හා ජෝර්ජියාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිතුමා ඉරිදා පිටත්ව ගියා. ඉතාලියේ දී ජනාධිපතිතුමාට උණුසුම් ‍පිළිගැනීමක් ලැබුණා. හයවන ලෝක වනාන්තර සතිය හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ විසිහතරවන සමුළුවට එහි දී ජනාධිපතිතුමා සහභාගි වුණා. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාර්යාලයේ දී මෙම සමුළුව පැවැත්වුණා.

එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා කැපවී සිටින බව හා එහි දී වන වගාවට ඉහළම ප්‍රමුඛතාවයක් ලබාදීමට කටයුතු කරන බවයි. මේ වන විට සියයට 27 ක් වන ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය සියයට 32 දක්වා වැඩිකර ගැනීමට තම රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා ‍ප්‍රකාශ කළා.

අඟහරුවාදා ජනාධිපතිතුමා තමන්ගේ ජෝර්ජියානු නිල සංචාරය ආරම්භ කළා. ජෝර්ජියාවට ගිය ජනාධිපතිතුමා එහි දී විවෘත රාජ්‍ය හවුල්කාරත්වයේ නායක සමුළුවට සහභාගි වුණා. ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ හා සමුළු ශාලාවේ මෙම සමුළුව පවත්වන ලද්දේ ජෝර්ජියානු අගමැති මකුකා බක්ටඩ්සේ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙයට රටවල් 75 ක පමණ ජනාධිපතිවරු, අගමැතිවරු, කතානායකවරු, ඇමැතිවරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියා. පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිදභාවය, වගවීම සහ මහජන සහභාගීත්වය වර්ධනය කිරීම මෙම සමුළුවේ අරමුණ වුණා.

මෙහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ අසීමිත බලය විසින් දූෂණය නිර්මාණය කරන බවයි. තම රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකාවේ බලය හා දූෂණය අතර සබඳතාව බිඳදැමීමට තීරණාත්මක පියවර රැසක් ගත් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. තමා බලයට පත්වන විට ජනාධිපති තනතුරට අසීමිත බලයක් තිබුණු බවත්, එම බලයෙන් කොටසක් පාර්ලිමේන්තුවට පවරා දී පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට තමා කටයුතු කළ බවත් ජනාධිපතිතුමා කීවා.

කුරුණෑගල ඇතුළු රට පුරා නව සංවර්ධන ව්‍යාපෘති අරඹමින් හා නිම කළ ඒවා විවෘත කරමින් අගමැතිවරයා මේ සතිය තුළ කොළඹින් පිට සංචාරය කළ අතර බදාදා සිට කොළඹ රැඳුණේ පාර්ලිමේන්තු කටයුතුවලට එක් වීමටයි.

බ්‍රහස්පතින්දා උදයේම අගමැතිවරයා අරලිය ගහ මැදුරට ආවේ රාජකාරී ඉටු කිරීම සදහායි. සුපුරුදු පරිදි මැති ඇමතිවරු හා නිලධාරීන් රැසක්ද ඒ වන විට එහි පැමිණ සිටියා.

“නිව්යෝර්ක් ටයිම්ස් එකේ පළවූ කෝටි 112 ක අල්ලසක් විදෙස් බැංකු හරහා චෙක්පත් මගින් පහුගිය ජනාධිපතිවරණයට වියදම් කරන්න චීන සමාගමක් රාජපක්ෂලාට දුන් පගාව ගැන විවාදය අද නිසා එයාල බයවෙලා ඇති” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ අද ඒ චීන පගාව ගැන විතරක් නෙවෙයි එයාලගෙ තව හොඳ හොඳ සෙල්ලම් පාර්ලිමේන්තුවේ දී එලි කරන්න අපේ අය සූදානම්” චමින්ද විජේසිරි කීවා.

“ චීනෙන් රාජපක්ෂලාට විතරක් නෙවෙයි එයාලගෙ නෝනලටත් පගා දීල එයාල සනසල නේද” දයා ගමගේ ඇසුවේ සිනා මැදයි.

“ජනාධිපතිවරණ අන්තිම කාලෙ තවත් රු මිලියන 1350 ක චෙක්පත් රැසක් රාජපක්ෂලට සමීප නිලධාරීන් මාරු කරල තියෙනවා. ඒ පරීක්ෂණ යට යන ලකුණුත් තිබුණා. ඒත් පරීක්ෂණ දිගටම යන බව අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී කියපු එක හොඳයි. ” නවීන් දිසානායක කීවා.

“ දූෂණවලට අදාළ පරීක්ෂණ අපි නතර කරන්නෙ හෝ ඒවාට අපි ඇඟිලි ගහන්නෙත් නැහැ. පොලීසිය ඒ චෙක්පත් ගැන මට දීපු වාර්තාවයි මම පාර්ලිමේන්තුවේ දී එලිකළේ" අගමැතිවරයා තම මතය එලි දැක්වූවා.

"බැසිල්ගෙ නෝනගෙ පදනමට චීනයේ සී.අයි.සී.ටී. සමාගම ලක්ෂ 194ක් දුන් බව ඒ සමාගම පිළිඅරන්. මහින්දට දීපු සමාගමත් ඒ චෝදනාව ප්‍රතික්ෂේප නොකළා කියන්නේ වක්‍රව පිළිගත්තා කියන එකයි" චමින්ද විජේසිරි කීවා.

"දේශප්‍රේමය උතුරා යන අර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ළඟ පන්සලේ හාමුදුරුවොත් තමන්ට ඩොලර් 38000 ක් චීනෙන් ලැබුණු බව පිළිගත්තා. මේ පගා නැති නිසා මිසක් රට වෙනුවෙන්ද මේ බොහෝ හාමුදුරුවරු කෑගහන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්" පී.හැරිසන් කීවේ එවැන්නක්.

"පළමු මහාධිකරණයේ මුල්ම නඩුව මහින්දගෙ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට විරුද්ධවලු. කොළඹ හයිටි හෝටලය හදන්න වෙන්කළ රු: කෝටි 1800න් කෝටි 400ක් අරන් ගිහින් හම්බන්තොට පැත්තෙ වෙන හෝටලයක් හදලා. ඒ නඩුවයි මුලින් අහනවා කියන්නෙ" නවීන් දිසානායක කී දේ එහි සිටි අයද අනුමත කළ බව පෙනුණා.

"මත්තල බලන්න එදා එජාප ජනතා නියෝජිතයින් ගියාම රාජපක්ෂලා පිස්තෝල, කඩු, පොලු, ගල් දීල මැරයො එවල අපට මරණ තර්ජන කළා. එකෙක් මගේ අතින් ඇදල ගහන්නත් හැදුවා. ඒ තරම් හිරිකිත රටක් එදා තිබුණේ" අජිත් පී.පෙරේරා කීවේ අතීතය මතක් කරමින්.

"ඒත් ඊයේ පෙරේදා ඒකාබද්දෙ මන්ත්‍රීවරුන් මත්තල බලන්න ගියා. කූඹියෙක් කන්නවත් අපි ඉඩ දුන්නෙ නැති නිසා ඔවුන්ට විශාල ලැජ්ජාවක් ඇති. ෂැංග්‍රිලා හෝටලේ හදන්න කොළඹ හදවතේ අක්කර 20 ක ඉඩම සින්නක්කර විකුණනකොට ගොළුවෙලා හිටපු අය පාඩු පිට පාඩු ලබන මත්තල කෙටි කළකට බදුදීමට විරුද්ධ වීම විහිළුවක්" ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

"මත්තල මාසෙක ආදායම ලක්ෂ 65යි. වියදම ලක්ෂ 2900යි. ඉන්දියාවට බදු දුන්නම ඩොලර් දශලක්ෂ 325ක් ලංකාවට ලැබෙනවා. පාඩුවක් වුණොත් ඒ සියල්ලත් ඉන්දියානු සමාගම දරනවා. මේවා අශෝක අබේසිංහ මා එක්ක හිටපු රූපවාහිනී විවාදයක දී එලිකළාම ඒකාබද්දෙ අයට කටඋත්තර නැති වුණා" දයා ගමගේ පැවසුවා.

"රාජපක්ෂ යුගයේ නෝරච්චෝලේ බලාගාරයත් මේ වගේම චීනයට බදු දෙන්න සාකච්ඡා කළ හැටි 2013 නොවැම්බර්වල පත්තරවල ගියා" නවීන් දිසානායක එලි කළා.

"පොහොට්ටුවේ ඇතුල දැන් පිපිරිලා. ගෝඨාට අපේක්ෂකත්වය නොදෙන්න වැඩකරපු පොහොට්ටුවේ අයම ගෝඨා අපේක්ෂකයා කියල මහින්දගෙ නමින් බොරු නිවේදනයක් දාලලු. ඒ අයම ඒක දැන් නෑ කියනවා. අජිත් ප්‍රසන්න කියන හමුදාවෙ හිටපු කෙනා ගෝඨාගෙ කෙනෙක්. ගෝඨාට ඇතුලෙන්ම වදිනකොට අජිත් ප්‍රසන්නගෙ ගෘප් එක කැඩිලා ස්වාධීන වුණා. අනික බුම්මගෙන ඉන්න ගෝඨා දැන් හැම එකටම හිනා වේගෙන ඉන්නෙත් ව්‍යාජව බව ඕන කෙනෙකුට තේරෙනවා. ” චමින්ද විජේසිරි කීවේ සිනා මැදයි.

“ ගාල්ලේ ක්‍රිකට් ස්ටේඩියම් එකේ ප්‍රශ්නය අපි හරියට හැන්ඩ්ල් කරගන්න ඕනෑ. ඒක ලංකාවට වාසනාවන්ත පිට්ටනියක් ” නවීන් දිසානායක කීවේ අගමැතිටයි.

“ මම ගාල්ලේ ගිහින් කතා කළේ කොටුව ඇතුලේ ප්‍රශ්න ගැනයි. ගාල්ලට ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩාවලට අලුත් සංකීර්ණයක් හදල මහින්ද රිච්මන්ඩ් වගේ පාසල්වලට වත්මන් ගාලු පිටිය දීම ගැනයි එදා කතා වුණේ. මේ සංකීර්ණය ගෝඨාගේ කාලෙ කරන්න හදපු දෙයක්. ” අගමැති කීවා.

“ශ්‍රීලනිප 16 දෙනා ආණ්ඩුව ඇතුලේ ඉඳන් ආණ්ඩුවට ගහල පළාත් පාලනවලින් පැරදුණාම ඒකාබද්දෙට පනින්න ගිහින් නන්නත්තාර වෙලා ඉන්නේ.කට්ටියක් ආපහු ශ්‍රිලනිපයට එනවලු. ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත අනාථ වෙලා නිසා දේශපාලනයෙන් සමුගන්නවා කියලත් ආරංචියි. ” ගයන්ත කරුණාතිලක කිවා.

“ ගිය ඉරිදා “රිවිරේ” චම්පික රණවකගෙ වැදගත් සාකච්ඡාවක් පළවෙලා තිබුණා.ගිය පළාත් පාලනවල දී ඡන්ද ලක්ෂ 125 ක් පාවිච්චි වූ බවත් ඉන් 49 ක් පොහොට්ටුවට ලැබෙද් දී අනිත් ලක්ෂ 75 ම 2015 යහපාලන කඳවුරට ලැබිල නිසා ඊළග ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙ ජය සිහිනයක් බව චම්පික කදිමට විග්‍රහ කරල තිබුණා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයා ඇතුළු සියලු දෙනා අනුමත කළා.

“ඒ “රිවිර” ඉන්ටර්වීව් එකේ චම්පික අපේ ආර්ථිකය ගැනත් කියල ලස්සන හින්ට් එකකුත් ගහල තිබුණා. ලංකාව අත්හදා බැලූ සංවෘත හා විවෘත ආර්ථිකවලට නොව වෘත්තීයවේදීත්වය මත පදනම් වූ නවෝත්පාදක ආර්ථික ක්‍රමයෙන් මේ රට ආර්ථික ලෙස ගොඩනගන ක්‍රමය එයා කියල තිබුණා. ළඟදි දියුණු වූ රටවල් ගොඩගියේ ඒ ක්‍රමය හරහා බවත් ඒ ක්‍රමය දූෂිත පවුල්වාදීන්ට හෝ ආදි ශිෂ්‍ය සංගම්වල ගජ මිතුරන්ටත් ක්‍රියාත්මක කරන්න අමාරු නිසා ෆේස්බුක් හදපු සකර්බර්ග්ල වගේ මේ රටේ දක්ෂ තරුණ පරපුරට රටේ වගකීම්වලින් සාධාරණ ප්‍රමාණයක් බාරදිය යුතු බවත් කියල තිබුණා.ඒ මතයට හුඟ දෙනෙක් එකඟයි. ” නවීන් දිසානායක කී විට අගමැතිවරයාද එකඟත්වය පලකළේ “ එජාපය විතරයි අනාගතය දැකළ ඒක ක්‍රමානුකූලව කරන්න හදන්නේ ” යයි කියමින්.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමඟ සිංගප්පූරුවේ නිල සංචාරයක් සඳහා ගිය අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එහි දී වත්මන් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හසෙයින් ලූ සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුණා. ඔහු සජිත්ට කීවේ "ඔබගේ රටේ නිවාස සංවර්ධන වැඩසටහන් දැන් නැවතත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව අපට දැනගන්නට ලැබුණා" කියායි. "අපි ඒ වැඩ ටික හොඳින් කරගෙන යනවා"සජිත් කීවා. සජිත් කීවේ සිංගප්පූරුවේ නිවාස සංවර්ධන වැඩසටහන් දියත් කරනු ලබන 'නිවාස හා සංවර්ධන මණ්ඩලය" (HDB) සාර්ථක ආදර්ශයක් වන බවත්, ඉන් ශ්‍රී ලංකාවට ලැබිය හැකි අත්දැකීම් හා උකහා ගත හැකි පාඩම් බොහෝ ඇති බවත්ය. "ඔබගේ පියාත් කීර්තිමත් නායකයකු හැටියට ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධන වැඩසටහන් සාර්ථකව දියත් කළා. එතුමාත්, මගේ පියා වන ලී ක්වාන් යූ අගමැතිතුමාත් කිට්ටුවෙන් ඇසුරු කළා" යි සිංගප්පූරු අගමැතිවරයා කියද් දී සජිත් රසවත් අතීත සිද්ධියක් මෙනෙහි කළා. "අසූව දශකයේ මුල් කාලයේ මගේ තාත්තා අමෙරිකාවේ දී ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුව ටික කලක් විවේක සුවයෙන් සිටිය යුතු බවට වෛද්‍යවරු නිගමනය කළා. මේ බව දැනගත් ලී ක්වාන් යූ අගමැතිතුමා සිංගප්පූරුවේ රාජ්‍ය නායකයන්ගේ විශේෂ අමුත්තන් සඳහා වෙන්කර ඇති "ඉස්ටානා විලා" හි සති 3 ක් විවේකයෙන් ගතකිරීමට පැමිණෙන ලෙස මගේ පියාට ඇරයුම් කළා. ඒ කාලයෙන් සති දෙකක්ම තාත්තා සමඟ "ඉස්ටානා විලාවේ" නැවතී සිටින්නට මටත් වාසනාව ලැබුණා" සජිත් කීවා. "ෂා, මම දැනගෙන හිටියෙ නෑනෙ අපේ තාත්තල දෙන්නගේ සම්බන්ධකම ගැන එච්චර විස්තරයක්" යි කී ලී හසෙයින් ලූ සිංගප්පූරු අගමැතිවරයා අනතුරුව කීවේ"ඊළඟ පාර ආවම අපි "ඉස්ටානා විලා එකට යමු" කියායි.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා නාගොඩ, ඉමදුව හා හබරාදුව ගංවතුරින් පීඩාවට පත්වූ අයට රුපියල් ලක්ෂ 188ක් වටිනා චෙක්පත් බෙදාදීමේ වැඩසටහනකට සහභාගී වූ ඇමැති වජිර අබේවර්ධනට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් හදිසි ඇමතුමක් ලැබුණා. ඉන් කියැවුණේ සවස 3.00ට ශ්‍රී ලංකාවට සැපත්වන තායිලන්ත අගමැති ප්‍රයත් චාන් ඕ චා මැතිතුමා පිළිගැනීමට පැමිණෛන ලෙසයි. චෙක්පත් බෙදීම කඩිනමින් අවසන් කළ ඇමැති වජිර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන විට තායිලන්ත අගමැතිවරයා රැගත් ගුවන් යානයද කටුනායකට සේන්දුවෙමින් තිබුණා. ඉක්මන් ගමණින් ගුවන්තොටුපොළට ගිය ඇමැති වජිර අගැමති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගොස් තායිලන්ත අගමැතිවරයා පිළිගත්තේ ඉතා සුහද ලෙසින්.

පසුදා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, මුදාරවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් වෙනුවෙන් රුපියල් ලක්ෂ 990 බැගින් වූ මුදලකින් ඉදිකරන නව තෙමහල් ගොඩනැගිලි සඳහා මුල්ගල් තැබීමට ඇමැති වජිර සහභාගී වුණා. කළුතර දිස්ත්‍රික්කය පහසුකම් සහිත දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණත් වලල්ලාවිට හා මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවත්වාගෙන යන ගොඩනැගිලි ජනතාවට සේවය සැපයීමට කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත් ඉක්මණින් මේ ගොඩනැගිලි ඉදිකර ජනතා සේවය වඩාත් කාර්යක්ෂම කළ යුතු බවත් ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නා.

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ ම පිහිටි මදුරාවල විහාරස්ථානයේ නායක හිමියන් වන චන්ද්‍රානන්ද හිමි ගිලන්ව සිටින බව දැනගත් ඇමැති වජිර අබේවර්ධන කොළඹට පැමිණීමට පෙර පන්සලට ගොඩවී හාමුදුරුවන්ගේ සුවදුක් බැලීමට ද අමතක කළේ නැහැ.

සෙනසුරාදා ඇමැති වජිර අබේවර්ධන උදෑසනම කුරුණෑගල ඉබ්බාගමුවට ගියේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉබ්බාගමුව නගරයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීමට. ගොකරැල්ල මංසන්ධියේ ඉදිකරන ලද පොලිස් ස්ථානය විවෘත කිරීමට අගමැතිවරයා සහභාගී වුවත් ඇමැති වජිර එහි නොගොස් ඉන් පසු පැවැත්වීමට නියමිත ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයේ අඩුපාඩු විමසා බැලුවා. ඉබ්බාගමුව උත්සව භූමියේ සිටිමින් එදිනම සවස වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ අඩුපාඩු සොයා බැලූ ඇමැති වජිරට දැනගන්නට ලැබුණේ වාරියපොළ උත්සවයේ වේදිකාව පිටිපස හිස්ව තිබෙන බවයි. මේ ගැන සිය කාර්යමණ්ඩලයේ නිලධාරියකු යොදවා විමසූ විට දැනගන්නට ලැබුණේ එස්.බී.නාවින්න ඇමතිතුමා විසින් එතැනට පසුබිම් පුවරුවක් අවශ්‍ය නැතැයි පවසා තිබූ බවයි.

වහාම නාවින්න ඇමතිවරයාට දුරකථනයෙන් කතා කළ වජිර අබේවර්ධන ඇමතිවරයා ''ඇමතිතුමා, වාරියපොල උත්සවයේ වේදිකාව පිටිපස්සේ හිස්ව තියෙනවාලු. එතැනට අපි පොඩියට හරි ඩිජිටල් ප්‍රින්ට් එකක් දාමු නැත්නම් මේ වැඩේ මොකක්ද කියලවත් පේන්නේ නැහැනේ."

ඊට නාවින්න ඇමතිවරයාට එකඟවූයෙන් විනාඩි කිහිපයක් ඇතුලත වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය ඒකකයෙන් සැකසුණු ඩිජිටල් මුද්‍රණයක් එම වේදිකාව පිටුපස සවිකෙරුණා.

වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ඇමැති වජිර දුටුවේ තවමත් ගරාවැටෙමින් පවතින පැරණි ගොඩනැගිල්ලයි. ප්‍රාදේශීය ලේකම්වරයා සහ දිසාපතිවරයා කැඳවූ ඔහු මෙසේ කීවා.

''මේ ගොඩනැගිල්ල කොයි වෙලාවක හරි කඩා වැටෙන්න වුණත් පුළුවන්. බිත්ති පුපුරලා. පරණ ඉස්කෝල ගොඩනැගිල්ලක් වගේ. අපි මෙතනටත් අලුත් ගොඩනැගිල්ලක් හදමු. " යනුවෙන්.

ජාතික විද්වත් සංවිධානය විසින් පසුගිය 14වැනිදා පවත්වන ලද ජාතික කතිකාවේ දී රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සකස් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සඳහා ක්ෂේත්‍ර දහයක ප්‍රතිපත්ති සම්පාදන කමිටු 10ක් පත් කිරීම සිදු වුණා. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, කලාව හා සංස්කෘතිය, පරිසර, කෘෂිකර්ම ධීවර හා පශු සම්පත්, තොරතුරු තාක්ෂණය, ක්‍රීඩා, ප්‍රවාහන යන ක්ෂේත්‍ර සඳහා මෙම විද්වත් කමිටු දහය පත්කරනු ලැබුවා. මෙම කමිටු සඳහා සිංහල දෙමළ මුස්ලිම් ජාතිකත්වය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින්, කලාකරුවන්, ගොවි, ධීවර සමිති නායකයින්, වෘත්තීය සමිති නායකයින්, ව්‍යාපාරිකයින්, පරිසරවේදීන්, ක්‍රීඩකයන්, ගුරුවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විද්වතුන් වෘත්තිකයෝ ඇතුළත්ව සිටිනවා. මේ වැඩපිළිවෙළ සඳහා දේශපාලන පක්ෂයක් ලෙස දායකත්වය ලබාදීමට ජාතික විද්වත් සංවිධානයෙන් ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා ලැබී තියෙනවා. ඉදිරි මාස 06 ඇතුළත මෙම කමිටු 10 මගින් අදාළ ක්ෂේත්‍ර සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට ජනතා අදහස් ලබාගැනීම, වැඩමුළු සංවිධානය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට නියමිතයි. එම ප්‍රතිපත්ති පාදක කොටගෙන ජාතික වැඩපිළිවෙළක් එළඹෙන ජනවාරි මස එළිදැක්වීමට ජාතික විද්වත් සංවිධානය කටයුතු කරමින් සිටිනවා.

”අපේ රට අද දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික හා සංස්කෘතික වශයෙන් බරපතළ පරිහාණියකට පත්වී තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍රවල විප්ලවීය පරිවර්තනයකින් තොරව අපේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ නැහැ. ව්‍යාජ දේශප්‍රේමය වෙනුවට ඇත්තටම රට රකින බලවේගයක් නිර්මාණය කළ යුතුයි.” මෙහි දී ජවිපෙ නායකයා සඳහන් කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතාගේ ජාතික සමගිය පිළිබඳ දේශනය සභාවේ විශේෂ අවධානයක් යොමු වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සිය කතාවේ දී සඳහන් කර සිටියේ තමන්ගේ එක් අතක් ජනපවුරේ තබාගෙන අනෙක් අතින් මහාචාර්ය යෝගරාජාගේ අත ස්පර්ශ කරන්නේ ඔහුගේ අදහස්වලින් තමන් ඉතාම සංවේ දී වූ බව පවසමින්. මෙම ජාතික කතිකාව අවසානයේ දී පැමිණ සිටි විශාල පිරිසක් රටේ අනාගතය පිළිබඳව ඉතාමත් බලාපොරොත්තු සහගතව තැන තැන කතා බහ කරමින්ද ජාතික විද්වත් සංවිධානයේ සංවිධායකයින්ට ස්තූති කරමින්ද සිය කෘතඥතාව පළකිරීම විශේෂ කරුණක් වුණා.

වර්තමානයේ පැන නැ‍ඟී ඇති දේශපාලන තත්ත්වයත් ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ජනතාව දැනුවත් කරන ජනහමු දසදහසක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණ කර තිබූ අතර එම ජනහමු මාලාව පසුගිය 15වෙනිදා ආරම්භ කරනු ලැබුවා. ‘රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක්’ යන තේමාවෙන් මෙම ජනහමු දසදහස ක්‍රියාත්මක වෙනවා. මෙහි දී ඉදිරියේ දී රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ සකස් කිරීම පිළිබඳවද ජනතාව සමඟ සංවාදයක් ගොඩනගා ගැනීමට ජවිපෙ තීරණය කර තිබෙනවා. ”ඇත්තටම මන්ත්‍රීතුමා ඡන්දයක් නැති මේ වගේ වෙලාවක ඔබතුමාලා ජනතාවත් එක්ක දේශපාලන සංවාදයක් හදාගන්න එක වැදගත්. ඇත්තටම මිනිස්සුන්ට කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්නේ. අලූත් කණ්ඩායමක් එක්ක අලූත් වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් දැන් රටට තියෙනවා.” ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකින් පසු විජිත හේරත් මන්ත්‍රීවරයා සමඟ ජනහමුවට පැමිණ සිටි ගුරුවරයකු කියා සිටියා

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනා 20වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට ගැසට් කොට තිබෙනවා.එය ඉදිරියේ දී කථානායකවරයාගේ මැදිහත්වීමෙන් පවත්වනු ලබනු පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතයි.

මේ අතර නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වැඩමුළුවක් පසුගියදා මොරටුව ප්‍රදේශයේ දී පැවැති අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වී සිටියේ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්. තවද එම අවස්ථාවට වාසුදේව නානායක්කාර, එම්.සුමන්තිරන් ඇතුළු දේශපාලඥයන්ද ගාමිණී වියන්ගොඩ ඇතුළු සිවිල් ක්‍රියාකාරීහු පිරිසක්ද පැමිණ සිටියා. අනෙකුත් දේශපාලඥයන් නව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් පළ කළ අතර විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් 20වැනි සංශෝධනය පිළිබඳවද දීර්ඝ පැහැදිලි කිරීමක් කළා.

මේ අතර විජිත හේරත් සහ වාසුදේව මන්ත්‍රීවරයා අතරද 20 ගැන කතාබහක් ඇතිවුණා

. ”ඔබතුමාලා 20න් යෝජනා කරලා තියෙන්නේ 2020 පෙරවාරි මාසේ පාර්ලිමේන්තුව විසුරුවන්න. නමුත් අපිට යෝජනාවක් තියෙනවා පාර්ලිමේන්තුව ජනවාරි 08වෙනිදම විසුරුවන එක හොඳයි කියලා. පාර්ලිමේන්තුව විසුරුවලා භාරකාර ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය තියමු.” වාසුදේව මන්ත්‍රීවරයා කියා සිටියා

. ”ඒ යෝජනාව ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි යෝජනාවලට අවස්ථාව තියලා තමයි 20 හදලා තියෙන්නේ. සමහර දේවල් අපිට සාකච්ඡා කරලා සංශෝධනය කරගන්න පුළුවන්.” විජිත හේරත් කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂය තුළ පවතින ගැටුම් සහ අවුල් සහගත බව මේ සතියේ සිදුවීම් කිහිපයකින් තවත් වර්ධනය වුණා. එයින් පළමුවැන්න නම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන බවට මහින්ද රාජපක්ෂ මහතා නමින් නිකුත් වූ නිවේදනයක් සමාජ මාධ්‍ය තුළ පළවීමයි. එය පළවන මොහොත වනවිට මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටියා.

බදාදා වනවිට මහින්ද රාජපක්ෂ මහතා නමින් තවත් නිවේදනයක් නිකුත්වී තිබුණා. එය නිකුත්කොට තිබුණේ රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින්. මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ලියා තිබුණු එමගින් ප්‍රකාශකොට තිබුණේ ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කළ බවට නිකුත්කොට තිබෙන නිවේදනය ව්‍යාජ එකක් බවයි. ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම නිවේදනයක් මගින් නොකරන බවත් එය ප්‍රසිද්ධ ස්ථානයක දී ප්‍රකාශයට පත්කරන බවත් එමගින් කියා තිබුණා.

2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ‍ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු නිවේදනයෙන් හඳුන්වාදී තිබුණත් මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන නිවේදනයෙන් කියා තිබුණේ 2020 දී ජනාධිපතිවරණයක් නැති බව හා එය 2019 දී පැවැත්විය යුතු බවයි. ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව 2019 දෙසැම්බර් 9 දාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව එමගින් පෙන්වාදී තිබුණා.

මේ අතර ඌව හිටපු ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ලේ දී ප්‍රකාශ කොට තිබුණේ ජනාධිපති අපේක්ෂකත්වය මහින්දගේ කිසිදු සහෝදරයකුට නොලැබෙන බව හා එය ලැබෙන්නේ නාමල් රාජපක්ෂ මහතාට පමණක් බවයි.

සමාජ මාධ්‍යවල පළවී ඇති තවත් අදහසක් නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය බවයි. ජනාධිපතිවරණයට එන්නේ රාජපක්ෂ කෙනෙක්ම බව කියන්නේ ශිරන්ති රාජපක්ෂ ගැන බවත් ‘අපේ නායකයා මහින්ද පමණයි’ කියන්නේද එය දන්නා නිසා බවත් එම සමාජ මාධ්‍ය ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම පිළිගැනීමට ඒකාබද්ධ විපක්ෂය කළ තීරණයට අනුව එය වෙනම පෙරමුණක් ලෙස ස්ථාපිත කිරීමට තීරණයවී තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ දැනට සිටින පක්ෂවලට අමතරව 16 කණ්ඩායම එයට එක් වනවා. එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත හා ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් තිදෙනා අතරින් දෙදෙනකු මෙම නව පෙරමුණේ නායකත්ව මණ්ඩලයට 16 කණ්ඩායම වෙනුවෙන් සහභාගී වීමට තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් තමන්ට ලැබුණු අයහපත් පිළිගැනීම ගැන 16 කණ්ඩායම ඉන්නේ නොසතුටින්. එම නොසතුට පිට කරමින් ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ ඒකාබද්ධයේ වැඩ අන්තිම සවුත්තු බවයි. එය හදාගන්න බැරි වුවහොත් තමා දේශපාලනයෙන් විශ්‍රාම යන බව ද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කොට තිබුණා.

නව අදහස දක්වන්න