එදා සහ අද මත්තල සංචාර | දිනමිණ

එදා සහ අද මත්තල සංචාර

ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වන්නේ වාසුදේව නානායක්කාර මහතා විසින් ද පසුගියදා අවධාරණය කළ පරිදි නැවත දේශපාලන බලය දිනා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නොවීම ඒකාබද්ධ විපක්ෂය අද මෙවැනි සිල්ලර තත්ත්වයකට පත්වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි. වාසුදේව නානායක්කාර මහතා විසින් අවධාරණය කරන මේ කරුණ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද විටින් විට ප්‍රකාශ කළ දේවල් හරහා සනාථ වෙනවා. මේ අතර ප්‍රමුඛ ප්‍රකාශය වන්නේ දීර්ඝ කාලයක් පුරා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන “වියත්මඟ - එළිය” වැනි කණ්ඩායම් විසින් රට හමුවේ තබා ඇති කිසිදු වැඩපිළිවෙළක් ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ හා එකඟ නොවන බවට මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයයි.

“දිනපතා ගුවන් යානා ගුවන්ගතවීම ප්‍රවෘත්තියක් නොවුණත් ගුවන් යානයක් කඩාගෙන වැටීම ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා” මේ “ප්‍රවෘත්තියක් යනු කුමක්ද ?” යන්න හඳුන්වාදීම සඳහා යොදා ගන්නා සුලභ පැහැදිලි කිරීම්වලින් එකක්. “බල්ලෙක් මිනිසෙකුගේ කකුලක් සපා කෑම ප්‍රවෘත්තියක් නොවුණත් මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම ප්‍රවෘත්තියක් ” කියලත් කියනවා.

“කිසියම් රටක ජාත්‍යන්තර ගුවන් තොටුපොළකට ගුවන් යානයක් පැමිණීම එරට ජනමාධ්‍යවලට ප්‍රධාන ප්‍රවෘත්තියක් විය හැකිද ?” මේ ප්‍රශ්නය ලෝකේ කෙසේ වෙතත් ලංකාවේ ජනතාවට නම් පසුගිය කාලේ ඇති වුණා. ඒ ගුවන් තොටුපොළට බ්‍රිතාන්‍ය මහ රැජින හෝ පිටසක්වලයෙක් පැමිණීම නිසා නොවෙයි. “මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළට ගුවන් යානයක් පැමිණි දවසකයි” මත්තල ගුවන් තොටුපොළ විවෘත කළ දා සිට මාසයකට දෙකකට වරක් මේ ප්‍රවෘත්තිය ලංකාවේ ජනමාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල පළ වෙනවා.

ලෝකයේ අසාර්ථකම ගුවන්තොටුපොළ ගැන මීට මාස කිහිපයකට ඉහතදී බ්‍රිතාන්‍යයේ බී.බී.සී රූපවාහිනි නාලිකාව විශේෂාංගයක් කළා. එහිදී බී.බී.සී වාර්තාකරු හාස්‍යජනක ලෙස වාර්තා කළේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන වනගහනයක් මැද පිහිටා ඇති මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ මේ වන විට ලෝකයේ පවතින අසාර්ථකව ගුවන්තොටුපොළ කිහිපය අතර ඉදිරියෙන්ම සිටින බවයි. මහ වනගහනයක් මැද හුදකලාව පිහිටි මේ ගුවන්තොටුපොළ මොණරුන් ඇතුළු වන සතුන්ගේ රජදහනක්ව පවතින බවයි මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානයක් පැමිණීම ප්‍රවෘත්තියක් වන්නේ මේ නිසයි.

මත්තල යළි වේදිකාවට ගත යුත්තේ ඇයි?

මත්තල අසාර්ථකභාවය ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරාම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධ වාර්තා වැඩසටහන්, විශේෂාංග හා විමර්ශන ප්‍රකාශයට පත් කර තිබෙන තත්ත්වයක් තුළ නැවතත් මත්තල ගැන රටේ අවධානය යොමු වී තිබෙනවා. ඒ පසුගිය 16 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මත්තල ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවක නිරතවීම සමඟයි. මෙරට ජනමාධ්‍යවලට පුවත් පිට පුවත් මැවූ මේ අපූරු නාඩගම ගැන විමසුමක යෙදීමට වඩා ඒ හරහා ප්‍රකාශයට පත් වූ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නව ප්‍රවණතා සහ ඒකාබද්ධ විපක්ෂයේ සිල්ලර දේශපාලන භාවිතය ගැන සාකච්ඡා කිරීම මේ අවස්ථාවේ අතිශයින් වැදගත් වෙනවා. ඒ වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය ගැන ඒකාබද්ධ විපක්ෂය ඇතුළු අන්තවාදී හා අවස්ථාවාදී කල්ලි කිහිපයක් පසුගිය කාලය පුරා චෝදනා මුඛයෙන් කතා කරන නිසයි. වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවණතාවන්ට පරිබව කරමින් ඒවා සමච්චලයට ලක් කරන නිසයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කල්ලිය මත්තල සංචාරයේ යෙදීමට සති කිහිපයකට පමණ පෙර ඒකාබද්ධ විපක්ෂයේ අභිනව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සැලකෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යහපාලන ආණ්ඩුවට දැවැන්ත චෝදනාවක් එල්ල කළා. එහිදී රාජපක්ෂ මහතා අවධාරණාත්මකව කියා සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය වත්මන් ආණ්ඩුව විසින් වළපල්ලට යවා ඇති බවත් දැන් ක්‍රියාත්මක වන්නේ “ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් ” කියලයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුග්‍රහය හා ගෞරවයට ලක්ව සිටින බොදුබල සේනාවේ නායක ඥානසාර හිමියන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම හරහා මතු වූ සංවාදය තුළ තමාට හිමි තැන සිටගත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදී කතාවට ඒ මොහොතේම දැවැන්ත විවේචනයක් එල්ල වුණත් මේ ජම්පර්වාදය වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවණතා ගැන සංවාදය පෝෂණය කිරීමට දායකත්වයක් ලබා දුන්නා. ඒ රාජපක්ෂ යුගයේ රටේ ක්‍රියාත්මක වූ ප්‍රජාතන්ත්‍රවාදයත් වත්මන් ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයත් අතර ප්‍රායෝගික, යථාර්ථවාදී වෙනස නිසියාකාරයෙන් වටහා දීමට වේදිකාවක් නිර්මාණය කළ නිසයි.

අසාර්ථකත්වය වින්දනය කිරීම

තම අසාර්ථකත්වය වින්දනය කිරීමේ වුවමනාවක් කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් වෙත තිබේ නම් එය සැලකිය හැකි වන්නේ අභාග්‍යයක් විදිහටයි. මන්ද එම වින්දනයෙන් අවසානයේ හිමිවන්නේ තවත් අසාර්ථකත්වයක්ම පමණක් නිසයි. මෙය තුවාලයක් කැසීම මගින් ඇතැමුන් ලබන බව කියන තෘප්තියට සමාන කළ හැකියි. රටක් කර වූ පාලකයෙක් හෝ හවුලක් දිගින් දිගටම තම අසාර්ථකත්වය වින්දනය කරන්නේ නම් එමගින් එකී රටට හා ජාතියට යහපතක් සිදුවිය හැකිද ? එකී අසාර්ථකත්වය සාර්ථකත්වයට පත් කරගත හැකිද ? මෙය සියුම්ව විමසා බැලිය යුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ කල්ලිය තම අසාර්ථකත්වය වින්දනය කිරීමේ මුඪ ආශාවෙන් පෙළෙන බව අපට පසුගිය කාලය පුරාම අඛණ්ඩව දැකගත හැකි වුණා. ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන තීරණාත්මක මැතිවරණ ද්විත්වයෙන්ම දැවැන්ත පරාජයක් උරුම කරගත් මහින්ද රාජපක්ෂ මහතා සහ හවුල් කල්ලිය එකී පරාජයට බලපෑ තම අසාර්ථකත්වයට හේතු හඳුනා ගැනීම වෙනුවට එකී අසාර්ථකත්වයේ ආරම්භයේ සිටම කළේ එකී අසාර්ථකත්වයට පදනම් වූ හේතු වින්දනය කිරීමයි. රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් දශකයක් ක්‍රියා කරමින් රට වළපල්ලට යැවූ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකට පමණක් හිමිකම් කියමින් රට හදන්න යළි බලය දෙන්න යැයි කියමින් යළි පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මේ නිසයි. හිතමිතුරු කල්ලිය සමඟ එක්ව ජාතික ධනය කාබාසිනියා කරමින් කළ ඊනියා සංවර්ධනය මගින් නිර්මාණය වූ තම අසාර්ථක්වය ගැන කිසිදු ස්වයං විමසීමකින් තොරව 2015 පරාජයේ නිර්මාතෘවරයා වූ බැසිල් රාජපක්ෂ එකී පරාජිත කල්ලිය සමඟම අලුත් දේශපාලන පක්ෂ අටවා ගනිමින් යළි බලය අල්ලා ගැනීමට සිහින දකින්නේ ඒ නිසයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්ත මර්දනකාරී හා අත්තනෝමතික පාලනය හේතුවෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් තම අතේවාසික මිතුරු කල්ලි මත පදනම් වෙමින් රාජපක්ෂවාදය යළි ඔසවා තැබීම සඳහා නානාප්‍රකාර මඟවල් හදන්නේ ඒ නිසයි. මෙය වඩාත් සරලව පැහැදිලි කළහොත් රාජපක්ෂ කල්ලිය මේ කරන්නේ තම අසාර්ථකත්වය වින්දනය කිරීමක් මිස වෙන යමක් නොවෙයි.

සෙළුව යළි රටට ප්‍රදර්ශනය කිරීම

ඉහත සඳහන් අර්ථයෙන් සලකන විට ඒකාබද්ධ විපක්ෂ කල්ලියේ මත්තල නිරීක්ෂණ චාරිකාව හරහා රෙජිම පාලනයේ සෙළුව යළිත් රටටම ප්‍රදර්ශනය වූ බවක් පහසුවෙන් වටහා ගත හැකියි. ඒ එදා මහින්ද රාජපක්ෂ යුගයේදී මත්තල ගුවන් තොටුපොළ නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසට (අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න ඇතුළු) මුහුණදීමට සිදු වූ හිට්ලර් පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා හත්පසින්ම වෙනස් යහපාලන භාවිතයකට ඩලස්, විමල්, කුමාර වෙල්ගම ඇතුළු නඩයට මුහුණදීමට සිදු වූ නිසයි. රාජපක්ෂ රෙජිමයේ බලහත්කාරීභාවය, සියල්ල සැඟවීමට ඇති කැමැත්ත හා දේශපාලන උද්දච්චභාවය ප්‍රදර්ශනය කරමින් එදා විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසට මුහුණදීමට සිදු වූ දැඩි ප්‍රචණ්ඩත්වය දේශීය හා විදේශීය වශයෙන් පවා දැඩි අවධානයට ලක් වුණේ එමගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ද දැඩි අභියෝගයකට ලක් වූ නිසයි. හිටපු යුද හමුදාපතිවරයා වූ ද ජනාධිපතිවරණයේ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වූ ද ජෙනරාල් සරත් ෆොන්සේකාට ජම්පර් ඇන්දවීම හා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් පළවා හැරීම, ලසන්ත වික්‍රමතුංග ආදී ජනමාධ්‍යකරුවන් ඝාතනය කිරීම වැනි බිහිසුණු පසුබිමක මත්තලදී සිදු වූ සිදුවීම “සුළු සිදුවීමක්” ලෙස ඇතැමුන්ගේ ලඝු කිරීමට ලක් වුණත් මැදිහත් ජනතාවගේ අදහස වුණේ ඒ හරහා විපක්ෂයට දේශපාලනය කිරීමට ඇති අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් සිදු වූ බවයි.

අද ඉතිහාසයට එක්වී තිබෙන “සෙල්ලම් පිස්තෝල කතාව” (එවකට හම්බන්තොට නගරාධිපතිවරයා (වත්මන් නගරාධිපති ද ඔහුය) පිස්තෝලයක් එල්ල කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පසුපස හඹා ඒම) එදා රාජපක්ෂ රෙජිමයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ භාවිතය හෙළි කරද්දී පසුගියදා ඒකාබද්ධ විපක්ෂ කල්ලිය මත්තලට ගිය ගමනේදී ආණ්ඩුවෙන් සහ ගුවන්තොටුපොළ පාලනාධිකාරියෙන් ලැබුණු සහාය හා පිළිගැනීම හෙළිකළේ වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය හා සැඟවීමට යමක් නැති බව කියාපාන යහපාලන භාවිතය බවයි පොදු නිරීක්ෂකයන්ගේ අදහස වන්නේ.

“එදා රාජපක්ෂ පාලනයේ මර්දනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය මත්තල සිදුවීම හරහා ප්‍රදර්ශනය වූ ආකාරයටම මෙවර යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී හා යහපාලන භාවිතය මනාව ප්‍රදර්ශනය වුණා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක සාර්ථකත්වය තීරණය කරන සාධක කිහිපයක් තිබෙනවා. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමිවීම, රටේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වීම සහ ප්‍රබල විරුද්ධ පක්ෂයක් පැවතීම ඒ අතර ප්‍රධාන වෙනවා. ඒ වගේම ජනතාවට තොරතුරු ලබා ගැනීමටත් නෛතික අයිතියක් හිමිවිය යුතුයි. මේ කිසිවක් මහින්ද රාජපක්ෂ පාලනය තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒත් වත්මන් ආණ්ඩුව එකී ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ ඉතාම ප්‍රශස්ත ආකාරයෙන් බිහිකර තිබෙනවා. කරු ජයසූරිය මහතා තොරතුරු අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට හිටපු ජනාධිපතිවරයා ඒක හාස්‍යයට ලක් කළා. “පනත් මොකටද ? ඕනෑම දෙයක් මගෙන් අහන්න” කියලා කිව්වා. එහෙම කිව්ව පාලකයා තමයි එජාපයේ මන්ත්‍රීවරු මත්තල ගියාම ඔවුන්ට පහරදීමට අවශ්‍ය පසුබිම සකස් කර දුන්නේ. රාජපක්ෂ මහතාගේ යුගයේ විපක්ෂයට දේශපාලනය කිරීමට කිසිදු ආකාරයක අවස්ථාවක් දුන්නේ නැහැ. විපක්ෂය කඩා බිඳ දැම්මා, ඔවුන්ගේ රැස්වීම්වලට, උද්ඝෝෂණවලට හා ක්‍රියාකාරකම්වලට බාධා කළා. පහර දුන්නා. ඔහුට අවශ්‍ය වුණේ යාවජීව පාලනයක් සඳහා ප්‍රබල විපක්ෂයක් නැති බෙලහීන, ගැති විපක්ෂයක් නිර්මාණය කර ගැනීමයි. එවැනි තත්ත්වයකට ආධාර අනුබල දුන්, ආශිර්වාදය ලබා දුන් පිරිස් අද වත්මන් ආණ්ඩුව තුළ භුක්ති විඳින මේ නිදහස හා අාබාධ පරිසරය ඇත්තටම ඔවුන්ට දරා ගැනීමට නොහැකි බවයි පේන්නේ. ඒ බව පසුගිය කාලය පුරාම ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා” ඒකාබද්ධ විපක්ෂ කල්ලියේ මත්තල සංචාරය හා එහි පසුබිම පිළිබඳ විමසුමක යෙදුණු ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් ලියුම්කරු සමඟ ඉහත සඳහන් ප්‍රකාශය කළා. එහිදී ඔහු අවධාරණාත්මකව ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් වත්මන් ආණ්ඩුව විසින් ඔවුන්ට ලබාදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නිර්ලජ්ජිත ලෙස අපයෝජනය කරමින්, අවභාවිත කරමින් සිටින බවයි.

සිල්ලර දේශපාලනය දිගටම

මත්තල හරහා ජම්පර්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හරයාත්මක පැතිකඩක් නිර්මාණය වූ ආකාරයෙන්ම ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගිය කාලය පුරා ගෙනගිය ජනතාව රැවටීමට ලක්කරන සිල්ලර දේශපාලනය ද යළිත් තහවුරු වූ බව ඇතැමුන් කියනවා. මෙය ගැඹුරින් සලකා බැලිය යුතු කරුණක් වශයෙන් සැලකිය හැකියි. මන්ද අද මේ ආකාරයෙන් ප්‍රදර්ශනකාමී සිල්ලර දේශපාලනයක යෙදෙමින් මාධ්‍ය අවකාශය ආක්‍රමණය කරමින් පුවත් මවන්නේ ජීවිතයේ ප්‍රථම වරට දේශපාලන බලය අල්ලා ගැනීමට තැත් කරන කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් නොව මහා බලයක් සහිතව දශකයක කාලයක් රට පාලනය කළ කල්ලියක් නිසයි.

ඒකාබද්ධ විපක්ෂය මේ ආකාරයෙන් ජනතාව රැවටීම සඳහා සිල්ලර දේශපාලනයේ යෙදීමේ අරමුණු හා පෙරමුණු කිහිපයක් අපට පහසුවෙන් හඳුනාගත හැකියි. මෙහිදී ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වන්නේ වාසුදේව නානායක්කාර මහතා විසින් ද පසුගියදා අවධාරණය කළ පරිදි නැවත දේශපාලන බලය දිනා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නොවීම ඒකාබද්ධ විපක්ෂය අද මෙවැනි සිල්ලර තත්ත්වයකට පත්වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි. වාසුදේව නානායක්කාර මහතා විසින් අවධාරණය කරන මේ කරුණ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද විටින් විට ප්‍රකාශ කළ දේවල් හරහා සනාථ වෙනවා. මේ අතර ප්‍රමුඛ ප්‍රකාශය වන්නේ දීර්ඝ කාලයක් පුරා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන “වියත්මඟ - එළිය” වැනි කණ්ඩායම් විසින් රට හමුවේ තබා ඇති කිසිදු වැඩපිළිවෙළක් ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ හා එකඟ නොවන බවට මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයයි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා අවධාරණාත්මකව සඳහන් කළේ ඉදිරියේ දී රාජ්‍ය බලය දිනාගත් විට ද ක්‍රියාත්මක වනු ඇත්තේ “මහින්ද චින්තනයම” පමණක් බවයි.

වියත් මඟ හරහා එළියට ඒමට හරිමඟක් සොයමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ දොරකට සිට ගැනීමට ආසන්න හේතුව මහින්ද රාජපක්ෂ මහතාගේ ඉහත සඳහන් අවධාරණය බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් සඳහන් කරනවා. එහිදී ඔවුන් අවධාරණාත්මකව ප්‍රකාශ කරන්නේ “එළිය” - වියත්මඟ හරහා නිර්මාණය වන දේශපාලන වැඩපිළිවෙළ අන්තවාදීන් හා ජාතිවාදීන් පිනවීමට සමත් වුවත් සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අද පොහොට්ටුව වටා ගොනුව සිටින ජනතාව හෝ දේශපාලනඥයන් තෘප්තිමත් කිරීමට සමත් නොවනු ඇති බවයි.

යළි බලය දිනා ගැනීම සඳහා නිර්මාණශීලී හෝ අලුත් වැඩපිළිවෙළක් නැති ඒකාබද්ධ විපක්ෂය මෙවැනි අසහනකාරී තත්ත්වයක් තුළ ආණ්ඩුවේ අතපසුවීම් හෝ නොසැලකිල්ල (බැඳුම්කර සිදුවීම, විජයකලාගේ ප්‍රකාශය ආදි) මත එදිනෙදා නිර්මාණය වන සිල්ලර සිදුවීම් තොග වශයෙන් මිලට ගෙන ජාතික ගැටලු බවට පත් කරමින් මහා ඝෝෂාවක් නැඟීමට පදනම් හේතු මේ අනුව අපට වටහා ගත හැකියි.

මේ තත්ත්වය තුළ ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව හරහා නිර්මාණය වන ඕනෑම ඍණාත්මක තත්ත්වයක් තම දේශපාලන පැවැත්ම ශක්තිමත් කර ගැනීම සඳහා නිර්ලෝභීව යොදා ගන්නා බව අප වටහා ගත යුතුයි. එමෙන්ම බැඳුම්කර සිදුවීම මෙන් එය කල්පයක් වුවත් තළු මරමින් රස විඳීමට ද සූදානම් බව අප වටහා ගත යුතුයි. මන්ද යළි බලය දිනා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නැති කල්ලියක් වෙතින් මීට වඩා වෙනස් යමක් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි නිසයි. ඒ නිසා මත්තල නාඩගම වැනි තවත් බොහෝ නාඩගම් රස විඳීමට සමාජයක් ලෙස අප සූදානමින් සිටිය යුතුයි.

ජනතාව හමුවේ ඇති වගකීම

තමන් විසින් රටට උරුම කළ දැවැන්තම අසාර්ථක ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමේ මුවාවෙන් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කරන, යළි උපන් පුද්ගලයන් සේ කිසිදු පසුතැවීමකින් හෝ වැරදි හදා ගැනීමකින් තොරව ජාතියේ ගැලවුම්කාරයන් වීමට යළි කැසකවන ඒකාබද්ධ විපක්ෂයේ අවස්ථාවාදී දේශපාලනය හමුවේ මේ කල්ලිය පළවා හැරීම සඳහා 2015 ජනවාරි 08 සහ අගෝස්තු 17 වැනිදා තම වටිනා ඡන්දය භාවිතය කළ ජනතාවට විශේෂ වගකීමක් තිබෙනවා. ඒ තම අසාර්ථකභාවය යළි යළිත් වින්දනය කරමින් යළි මජර යුගයක් උදා කිරීමට තැත් කරන මේ කල්ලිය නැවත වරක් තීරණාත්මකව පරාජය කිරීම සඳහා එකාවන්ව යළි නැඟී සිටීමයි. ජනවාරි 08 වැනිදා දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී යුගය යළි ෆැසිස්ට් ආඥාදායකත්වයක් කරා ගමන් කිරීමට එරෙහිව එකාවන්ව නැඟී සිටීමයි. එදා මත්තල හා අද මත්තල හරහා ප්‍රකාශ විය යුතු දේශපාලන හා සමාජ අවශ්‍යතාව එයයි.

සටහන - භාතිය බරුකන්ද

නව අදහස දක්වන්න