මෙන්න ආනියා කන්ද කෙම්බිම | දිනමිණ

මෙන්න ආනියා කන්ද කෙම්බිම

උදිත ගුණවර්ධන
ඡායාරූප සිරිපාල හල්වල

කලබලකාරී අගනුවර සිට මිගමු පාරේ කඳාන ට පැමිණෙන තුරුම තිබුණේ එකම කලබලකාරී පරිසරයකි. අපේ ගමන් ඉලක්කය වුයේ කඳාන ආනියාකන්ද දිස්ත්‍රික් රෝහලයි. එතැනට ගිය විට අපට දැනුනේ රෝහලක ඇති කලබලකාරී තත්ත්වය නොවේ. නිහඬ බවකි. අපගේ ඉලක්කය වුයේ මෙම රෝහලේ ඇති මානසික රෝගි වාට්ටුව වෙත ගොස් ඒ පිළිබඳ ලිපියක් ලිවීමය. රෝහලේ පැරැණි ගොඩනැගිලි අතරින් පියමැන ගිය අපි එහි කොනකට වන්නට පිහිටි වාට්ටු සංකීර්ණය සොයා ගියෙමු.

මෙතැනට යාමේදී අප සිතුවේ මෙම වාට්ටු අපිළිවෙල හා අවලස්සන තැනක් වනු ඇතැයි කියාය. එහෙත් එතැනට යන විට අපට ඇසුණේ ගීතවත් හඬකි.

“ගමනේ ගිම් නිව් එදා සැනසුම් පවන් සලා... යනු මිල්ටන් මල්ලවආරච්චි මහතා ගැයු ගීතයකි. එම ගීතය මනා තාලයට සහ වචන නිවැරැදිව ගයනු ලැබුවේ නේවාසිකයකි. ඔහු එම ගීතය ගයමින් බලා සිටියේ අපව පිළිගන්නටය. තවත් පසෙකින් උරුවම් බාමින් පණිවුඩ ලබා දුන්නේය‍

කලක් බරපතළ ගණයේ උමතු රෝගවලින් පෙළුන මොවුන් අද යම් සුවපත් තත්ත්වයකට පත්ව සිටිති. රෝගීන් සමග අවුරුදු ගණනාවක් කටයුතු කිරීමෙන් අත්දැකීම් ලැබු හෙද නිලධාරිනියක් වන සන්ධ්‍යා කුමාරී මහත්මිය මේ ගැන දැක්වූයේ මෙවැනි අදහසකි.

“ මේ අය මෙහෙට එනකොට හිටියේ ගොඩක් අසනීප වෙලා කතා කරන්නේ නැහැ කෑම කන්නෙ නැහැ..මළපහ කරන්නේ වාට්ටුවේමයි. ඒත් අද වෙද්දි තත්ත්වය ගොඩක් සතුටු දායකයි.. ඔයාලට මේ විදිහේ උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණේ ඒ අය අද වෙද්දි සුවයක් ලැබු නිසයි..“

අද මෙහි සිටින නේවාසිකයන් යහපත් සහ නිරෝගී ජීවිතයක් වෙත මාරු වෙමින් සිටියි. මෙය ඉබේ සිදුවුවක් හෝ බෙහෙත්වලින් පමණක් සිදු වුවක් නොවේ. දයාව කරුණාව සහ මිනිස්කම නිසා මොවුන් වෙත නිරෝගී සුවය කෙමෙන් ලැබෙමින් තිබේ. එය එක් අයෙකුගේ හාස්කමක් නොවේ. වෛද්‍යවරු , ප්‍රධාන හෙද සොයුරිය හෙද කාර්ය මණ්ඩලය සහ සෙසු සේවක මණ්ඩලය මේ පිටුපස සිටින මහ බලයයි . මෙම මානසික රෝගී වාට්ටුව “ පිස්සන් කොටුවක් “ නොකර මිනිසුන් සුවපත් කරන මනස හදන තැනක් බවට පත්කිරීමේ කාර්යය කරගසා සිටින්නේ ප්‍රධාන හෙද සොයුරිය වන අනුෂා විමලසූරිය මහත්මියයි.

“මෙතැන තියෙන්නේ තනි කෙනෙක්ගෙ වැඩක් නොවෙයි අපි ඔක්කොම දවල් රැ නොබලා වැඩ කරනවා.. රාජකාරි මට්ටමෙන් තියෙන කාර්යය කරල අපි ගෙදර යන්නේ නැහැ..මේ අසරණයො අද යම් සුවයකට ඇවිත් ඉන්නේ අපේ කැප වීම හින්ද.ඒ ගැන අපි ඇත්තටම සතුටුයි.

හෙද සොයුරිය සඳහන් කරන ආකාරයට මෙහි සිටින බොහෝ අය බෙහෙත් මගින් පුනරුත්ථාපනය කර සමාජගත කළ හැකි පිරිස්ය.එහෙත් මේ සද්කාර්යයට ගැටලු සහගත ඉරණමක් අත්ව තිබේ.

“ අද මෙතැන ඉන්න විසිපහක් තිහක් පුර්ණ සුවය ලබා තියෙනවා ඒත් ඒ අයට ගෙදර යන්න විදිහක් නැහැ බාර ගන්න කෙනෙක් නැහැ..ඒ අය සුවපත් වෙලත් රෝහලේ ඉන්නවා.

හෙද සොයුරිය කියූ කරුණ මනා ලෙස තහවුරු වුයේ අපට ජයසේන නම් නේවාසිකයා හමු වු විටය.

“මගේ ගමට යන්න මම ආසයි ඒත් මාව බාර ගන්න කෙනෙක් නැහැ ඒ හින්ද අවුරුදු ගාණක් මම වාට්ටුවේ ඉන්නවා..අනික අපිව ගෙවල්වලට ගමට එක්කන් ගියාම පිස්සෙක් කියන අපහාසාත්මක ඇසෙන් බලන්නේ. මේ හැම දෙයක් නිසාම වෙලාවකට මට හිතෙනව ගමට වඩා මෙහෙ හොඳයි කියලා..

ආනියාකන්ද දිසා රොහලේ මානසික වාට්ටුවේ සිටින සමහරුන්ට ඇත්තේ මෙවැනි දුක්ගැනවිලිය. ඔවුනට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙවැනි අවනඩුවලටය.

හෙදියකට සාමාන්‍ය වාට්ටුවක සේවය කිරිමට වඩා මෙවැනි තැනක සේවය කිරීම සුවිශේෂය මෙවැනි වාට්ටුවක සේවය කිරීම යනු අවදානමක් සුරතට ගැනීම වැනි දෙයකි. එනිසා මෙවැනි වාට්ටුවලට හෙදියන් අනුයුක්ත කිරීම අභියෝගයකි. එහෙත් මෙහි හෙදියෝ රාත්‍රී සේවා මුරවල පවා නියැලෙති.

“ සේවා මුර කරද්දි අපහසුතාවට පත්වෙන්නේ නැද්ද.?

අප ප්‍රශ්නය යොමු කළේ ප්‍රධාන හෙද සොයුරිය වන අනුෂා විමලසුරිය මහත්මිය වෙතය.

"මුලින් මුලින් පොඩි ප්‍රශ්න ආවත් දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ.. අපේ පුනරුත්ථාපන වැඩ නිසා අද මේ අය හොඳ තැනක ඉන්නවා. අනෙක මෙහෙම වාට්ටුවක සේවය කරද්දි වෙනම පුහුණුවක් අවශ්‍ය කරනවා..ඒ පුහුණුව හෙදියන්ට ලැබෙනවා..

“අද වෙද්දි ගොඩක් නේවාසිකයන්ට විවිධ විනෝදාංශ තිබෙනවා.. සමහරු සිංදු කියනවා තවත් අය පොත් කියවනවා. ක්‍රිඩා කරන අය වගේම උයන්න උදව් වෙන අය ඉන්නවා. මේ හැම දේටම අපේ පුහුණුව ලොකුවට බලපානවා.

තමන් ලැබු පුහුණුව මේ ආකාරයට රෝගින් හික්මවා ගැනීමට ප්‍රධාන වශයෙන් උපකාරිවන බව හෙද නිලධාරිනියෝ විශ්වාස කරති.

මේ ආකාරයෙන් රටට විශාල කාර්යයක් ඉටුකරන ආනියාකන්ද රෝහලේ මානසික රෝගි වාට්ටුව වෙත රජයෙන් ලැබෙන ප්‍රතිලාභවලට අමතරව තවත් දේ අවශ්‍යව තිබේ.ඒ නේවාසිකයන් සඳහා අවශ්‍ය කරන ඇඳුම් අමතර ආහාර ඇඳුම් සේදීමට යොදා ගන්නා සබන් කුඩු වර්ග සහ සෙසු දේය. මෙම වාට්ටුවට මෙම දේ ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නට සිදුව තිබෙන්නේ නේවාසිකයන්ට උපරිම සේවයක් සැලසීම සඳහා බාහිරින් උපකාර අත්‍යාවශ්‍ය වන නිසාය. එනිසා ඔබටද මේ සඳහා දායකත්වය ලබා දිය හැකි අතර වැඩි විස්තර රෝහලෙන් ලබා ගැනීමට පුළුවන.

මෙම වාට්ටුව ඇසුරේ නේවාසිකයන්ට මානසික සුවය සහ එහි ක්‍රියාකාරීත්වය පරිසරය සමග බද්ධ කිරීම සඳහා එළිමහන් ගොවිපොළක්ද ඉදිකර තිබේ.කාලගුණ විපර්යාස නිසා මේ දිනවල එහි කාර්යයන් මදක් අඩාලව තිබුණද යළිත් ගොවිපොළේ කටයුතු ආරම්භ කිරීමට සියල්ල සුදානම් කර තිබේ.එහි කාර්ය සඳහා නේවාසිකයන් මෙහෙයවනු ලබන්නේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විසිනි. එම කාර්ය මණ්ඩලයේ මහින්දපාල මහතාගෙන් එම කාර්ය පිළිබඳ අප විමසු අතර එහිදී අපට ඔහු තම කාර්යභාරය පැහැදිලි කළේය.

“ මේ වැඩේට අපි නේවාසිකයන් ගොඩක් සම්බන්ධ කර ගන්නවා..ඒ අය ඉතාමත් දක්ෂ විදිහට අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා... වෙලාවකට අපිට හිතෙනවා මෙයාලට එහෙම ලෙඩක් තියෙනවද කියලා..ඒ තරම් නිරෝගීව වැඩ කරන අය ඉන්නවා. අපි හිතනවා එක තැනකට කොටු වෙලා හිටිය අය සමාජයේ අපහාසයට ලක්වුණු අයට මේ වැඩෙන් නව පණක් ලැබෙනවා කියලා.

එම ගොවිපොළට ගිය අපට දක්නට ලැබුණේ සරුවට වැවුන කෙසෙල් පඳුරුය. තවත් පසෙක වම්බටු වගාවන්ය. කාලගුණ විපර්යාස නිසා පාලුවට ගිය රෝහල් එළවළු කොරටුව මෙතරම් සරුසාරනම් සරුවට වැවුණු කල මේ කොරටුව කෙතරම් සරුසාර දැයි අපට සිතා ගත හැකිය.

එළවළු කොරටු පමණක් නොව නේවාසිකයන්ට එළිමහනේ ක්‍රිඩා කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන තැන්ද දැන් නිර්මාණය වෙමින් තිබේ මෙයද නවින වෛද්‍ය විද්‍යාවට අනුව සිදුකරන නව ප්‍රතිකාර ක්‍රමවේදයකි. මේ නව ක්‍රම නිසා සුවපත් වුවෝ රැසක් සිටිති. සෙස්සන්ද සුවපත් නොවුනද සිටියාට වඩා හොඳ තැනකට පත්ව සිටිති.

මේ ආකාරයට නේවාසිකයන් සුවපත් කිරීම සඳහා ක්‍රියාකරන්නේ කෙසේද යන්න ගැන අප විමසා සිටියේ මානසික රෝගි වාට්ටුව භාරව සිටින මානසික වෛද්‍ය ෆර්ඩියන් පෙරේරා මහතාගෙනි.

“ වාහනයක එන්ජිමක් වුණත් වැඩිය වැඩ කරන්නේ නැතිනම් අබලන් වෙනවා නැතිනම් ක්‍රියාකාරීත්වය අවම වෙනවා මිනිස් මොළයත් එහෙමයි අද රෝගී තත්ත්වයට පත්වු අයගෙ මොලය ක්‍රියාත්මක කරන්නේ අඩුවෙන් එහි අවසාන ප්‍රතිඵලය තමයි මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල වෙන එක.

එහෙම අයට අවසානයේ උමතු තත්ත්වය උග්‍ර වෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් බෙහෙත් දුන්නාම ලෙඩේ හොඳ වෙනවා කියලා. ඒත් මම දන්නවා බෙහෙත්වලින් පමණක් එය පාලනය කරන්න බැහැ කියලා. ඒකට බාහිර ක්‍රියාකාරකම් සිදු වෙන්න ඕනෑ.එහෙම වුණොත් තමයි මොලයේ ක්‍රියාකාරිත්වය වගේම එහි රෝගී තත්ත්වයන් අඩු වෙන්නේ.

මොළය දියුණු වෙන්න මොළය වැඩ කරන්න ඕනෑ අපි දැන් මෙම ක්‍රියාකාරකම්වලින් උත්සාහ කරන්නේ නේවාසිකයන්ගේ මොළයේ ක්‍රියාකාරකම් ඉහළ නංවන්න. මට දැන් පැහැදිලි වෙලා තියෙනවා අපේ වෑයම සාර්ථකයි කියලා. අද නේවාසිකයන් එදා හිටිය අය නොවෙයි .එදා අපි දැක්කේ උමතු රෝගි තත්ත්වය උග්‍ර වුණ අය අද වෙද්දි ගොඩක් අයට යම් සුවයක් වර්ධනයක් ලැබිලා තියෙනවා...

මෙම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතාය. ඔහු මානසික වෛද්‍ය වාට්ටුවේ කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි. “ මානසික වෛද්‍ය ඒකකයක් කියන්නෙම විශේෂ ඒකකයක් මෙතැන වැඩ කරන රටාවක් තියෙනවා ක්‍රමයක් තියෙනවා..මෙහි වැඩ කරන ක්‍රමය ගැන මා සතුටට පත් වෙනවා . ඇත්තෙන්ම අපට පුළුවන් සීමාව තුළ මේ අංශයට අප උපරිම සහාය ලබා දෙනවා..

මානසික රෝගීන් යනුද වෙනස් කර සැලකිය යුතු පිරිසක් නොවේ. සියල්ලන් එක්ව ආදරයෙන් රැකබලා ගත යුතු පිරිසකි.එහෙත් ඔවුනට නොලැබී යන්නේද ආදරය සහ කරුණාව යන දේය. ආනියාකන්ද රෝහලේ මානසික රෝග ඒකකයේ සියලු කාර්ය මණ්ඩලය උත්සාහ කරන්නේ ආදරය කරුණාව යන යහපත් දේ රෝගීන් වෙත ලබා දීමය. අද මෙහි රෝගීන් යම් පමණකට සුවපත්ව සිටින්නේ එබැවිනි.



නව අදහස දක්වන්න

Or log in with...