මාගේ ප්‍රකාශය විකෘති කිරීමෙන් වැරැදි මතයක් ගොඩනැඟිලා | දිනමිණ

මාගේ ප්‍රකාශය විකෘති කිරීමෙන් වැරැදි මතයක් ගොඩනැඟිලා

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශයේ සැබෑ අර්ථය වෙනස් කර මාධ්‍ය මඟින් පළ කිරීම හේතුවෙන් වැරැදි මතයක් ගොඩනැ‍ඟෙමින් තිබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

තමා ප්‍රකාශ කළේ මරණීය දණ්ඩනය පොදු ප්‍රතිපත්තියක් ලෙස නැවත ක්‍රියාත්මක කිරීම නොව ඉතා දරුණු ලෙස හා සැලසුම් සහගතව සමාජ ව්‍යසනයන් සිරගෙය තුළ සිටම යමෙකු මෙහෙයවන්නේ නම් ඒ අයට පනවා ඇති නියමිත දඬුවම ලබාදීම රජයේ වගකීම වන බව යැයි ද පවසති.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මෙසේ ද කියති.

මෙය නොබෝදා පුවත්පත් මගින් ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් එනම්, සිරගෙවල්වල මරණීය දණ්ඩනයට නියමවී, මත්කුඩු වෙළඳාම සහ පාතාල ලෝකයේ දාමරික කටයුතු සංවිධානය කරන අයට, ඔවුන්ට නීතියෙන් උරුම වූ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මා විසින් කරන්නට යෙදුනු ප්‍රකාශයක්, එහි සැබෑ අර්ථය වෙනස් කරමින් පළ කිරීම තුළින් මම මරණීය දණ්ඩනය පිළිබඳව පොදුවේ එකඟතාවය පළකර ඇතැයි යන වැරදි මතයක් ගොඩනැගෙමින් පවතින බව දැනගතිමි.

පළමුව මේ ගැන මා හට කිව හැක්කේ ජීවිතය අප යම් කෙනෙකුට නොදෙන නිසා ඒ තැනැත්තාගෙන් එය උදුරාගැනීමටද අපට බලයක් නැති බවයි. එය පොදු ධර්මතාවයකි. ක්‍රිස්තු ධර්මය ද එසේ පවසයි. එහෙත් සමාජ සාමය සහ සහජීවනය උල්ලංඝනය වන දරුණු අපරාධවල දිගින් දිගටම නියැළීම නිසා මරණ දඬුවමට නියම වූ පසුත් සිරගෙදර සිටම දරුණු අපරාධවල නිරත වන අයගෙන් සමාජය ආරක්ෂා කිරීමට රජයට වගකීමක් ඇති බව ද අපි පිළිගනිමු. ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති තීරණය සමාජයේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බව පැහැදිලිය. ඒ ගැන කතෝලික සභාවේ නිල ධර්මෝපදේශය සඳහන් කරන්නේ ජීවිතය ආරක්ෂා කරන්නට අප බැඳී සිටින නමුත් ඇතැම් බරපතළ කාරණාවලදී, එනම් විශේෂිත වශයෙන් සමාජ සාමය, ආරක්ෂාව හා සංහිඳියාව රැක ගැනීම සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වරදක් නොවන බවයි: “යම් අපරාධයකදී චුදිත පාර්ශ්වයේ අනන්‍යතාවය හා එම අපරාධයේ වගකීම ස්ථිර වශයෙන් සනාථ වූ පසු ඒ සඳහා සුදුසු දඬුවම නිර්ණය කිරීමේ දී මිනිස් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා එය නැති කරන අය නිහඬ කරවීමට ඇති එකම මාර්ගය එය නම් පමණක් මරණ දඬුවම අදාළ අයට ලබා දිය හැක” (කතෝලික සභා ධර්මෝපදේශය, නව මුද්‍රණය 1997, අංක 2267 බලන්න).

ඒ කෙසේ වෙතත් මා පුවත්පත් හා ජනමාධ්‍යයට පසුගිය ජූලි මස 12 වන දින ලබාදුන් පුවත්පත් සාකච්ඡාවේදී මේ පිළිබඳව සඳහන් කළේ මරණීය දණ්ඩනය පොදු ප්‍රතිපත්තියක් ලෙස නැවත ක්‍රියාත්මක කිරීම නොව ඉතා දරුණු ලෙස හා සැලසුම් සහගතව සමාජ ව්‍යසනයන් සිරගෙය තුළ සිටම යමෙකු මෙහෙයවන්නේ නම් ඒ අයට පනවා ඇති නියමිත දඬුවම ලබාදීම සලකා බැලීම රජයේ වගකීම වන බවය. එලෙසම ශ්‍රී ලංකාවේ ඇතැම් බන්ධනාගාර තුළ මෙවැනි දාමරික ක්‍රියාවන් සංවිධානය කිරීම සඳහා මරණීය දණ්ඩනය නියමවූවන්ට ඉඩකඩ ලැබෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ගැන ද සොයා බලන ලෙස මා රජයෙන් ඉල්ලා සිටියෙමි. මේ නොබෝදා උසාවියකින් මත්කුඩු ප්‍රවාහනය පිළිබඳ සිරදඬුවමකට යටත් වූ අයෙකු සිරකරුවන්ගේ කරමතින් සිරගෙය තුළට ගෙනයනු ලැබ ජයග්‍රාහී ලීලාවෙන් ඔහු සමඟ සිරකරුවන් ප්‍රීති ප්‍රමෝද වූ බවද දැනගන්නට ලැබුණි. මෙය සිදුවුනේ කාගේ අවසරයකින්දැයි මම ප්‍රශ්න කළෙමි.

මේ රටේ අනාගතය බාර ගන්නට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ වන්නට යම්කිසි කෙනෙකු සැලැසුම් සහගතව කටයුතු කරන්නේ නම් ඒ ඉදිරියේ මුනිවත රැකීමට අපට නොහැකිය. මත්කුඩුවලට ඇබ්බැහිවීමෙන් විනාශ වී ගිය පවුල් විශාල ගණනකි. ජීවිතය අහිමි කරගත් අය ද බොහෝ ය. සිය දරුවන්ගේ ජීවිතය අහේනියට ගොදුරු වූ විට මවුවරුන්ගේ දෑසට නැගෙන්නේ කඳුළු නොවේ ද? ඒවාට වගකියන්නේ කවු ද? මහාමාර්ගවල හා ප්‍රසිද්ධ ස්ථානවල වෙඩිතබා ගැනීම තුළින් හා පාතාල යුද්ධ පතුරුවා හැරීම තුළින් අප සමාජය තුළ හටගෙන ඇති භීෂණය නැතිකර දැමීමේ වගකීමද රජයට පැවරේ. සිරගෙදර මරණීය දණ්ඩනයට නියම වූ සියලුම සිරකරුවන් හෝ මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන් එල්ලා මරණ ලෙස මා කිසිදු අයුරකින් ඉල්ලා නොසිටියෙමි. මා ප්‍රකාශ කර සිටියේ මත්කුඩු ව්‍යාපාරය සහ පාතාල භීෂණය සිරගෙදර සිට මෙහෙයවන අයට නිසි දඬුවම් කිරීම යුක්ති සහගතය යන්නය. එබැවින් මා මරණීය දණ්ඩනය නැවත ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දෙන්න යැයි ඉල්ලීමක් නොකළ බව සඳහන් කරමි. පෞද්ගලිකව මා මරණීය දණ්ඩනය අනුමත නොකරමි. එහෙත් උද්ගත වී ඇති භයානක තත්ත්වය නිසා මා කියා සිටියේ අතිගරු ජනාධිපති හා අගමැතිවරයා ගත් තීරණය කාලෝචිත වන බවයි. මෙය සමාජ සාමය හා ආරක්ෂාව ද අනාගත පරපුරේ ආරක්ෂාව ද වෙනුවෙන් අප ඉටුකළ යුතු වන කර්තව්‍යයකි.


නව අදහස දක්වන්න

Or log in with...