විස දුමෙන් තීන්ත | දිනමිණ

විස දුමෙන් තීන්ත

මිනි­සාගේ සෞඛ්‍යට සහ පරි­ස­ර­යට එල්ල වන තර්ජන අතු­රින් දැවැ­න්තම තර්ජ­න­යක් එල්ල වන්නේ වායු දුෂ­ණ­යෙන් බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය 2014 වස­රේදී ප්‍රකාශ කර සිටි­යේය. අංශු­මය සහ ධූලක වශ­යෙන් එල්ල වන මෙම තර්ජ­නය නිසා ලොව පුරා වස­ර­කට මිලි­යන 6.5 ක් දෙනා මර­ණ­යට පත්වන අතර වායු දූෂ­ණ­යෙන් තම ජන­තාව සහ පරි­ස­රය බේරා ගැනීම සඳහා ලොව පුරා ප්‍රබල දුබල රාජ්‍ය­යන් විවි­ධා­කා­රයේ පර්යේ­ෂණ පව­ත්ව­මින් සිටිති.

චීන­යට පම­ණක් දෙවැනි වන ලොව වැඩිම ජන­ග­හ­න­යක් ජීවත් වන රට වන ඉන්දි­යාව ද දැඩි ලෙස වායූ දුෂ­ණ­යට ලක් වූ නගර ඇති රාජ්‍ය­යකි. එසේම 2018 ලොව වායු දූෂි­තම නගර ලැයි­ස්තුවේ ඉහළ සිට පහළ දක්වාම ස්ථාන රැසක්ම ඉන්දි­යාව හිමි කර ගැනී­මට ද සමත්ව ඇත්තේ එරට වායු දූෂ­ණ­යෙන් ඉහ­ළම රාජ්‍ය­යක් බවට පත් කර­ල­මිනි.

වායු දූෂ­ණය සම්බ­න්ධ­යෙන් තම රට, නග­ර­යට අත්ව ඇති ඉර­ණම ගැන අව­ධා­නය යොමු කර­මින් සිටි ඉංජි­නේ­රු­වකු වන අනි­රුද් ෂර්මා ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ අද­හස පළ වීම­ටත් මත්තෙන් එම තර්ජ­න­යට එරෙ­හිව නිර්මා­ණා­ත්මක පිළි­ය­මක් සොයා යාමට උත්සාහ දර­මින් සිටි­යේය. 2013 වසරේ මුම්බායි නග­රයේ කුණු කන්ද­ල්ව­ලින් පිරුණු සහ අන්ත වායු දූෂ­ණ­යට ලක් වූ වීදි­යක ඇවිද යමින් සිටි එම්.අයි.ටී. ලැබ් ආය­ත­නයේ ශිෂ්‍යකු මෙන්ම නව නිර්මා­ණ­ක­රු­වකු ද වන මේ තරුණ ඉංජි­නේ­රු­ව­ර­යාගේ අව­ධා­නය යොමු වූයේ තමන් පසෙ­කින් මහා හඩින් නලා හඩ­ව­මින් වේග­යෙන් ගමන් කරන බස් රථ­වල සහ කාර් රථ­වල දුම් බට­ව­ලින් පිට­වන ඩීසල් දුමෙන් පිට­වන කළු පැහැති අංශු­ව­ලින් කළු පැහැති වූ තමන්ගේ සුදු කමි­සය වෙතය.

‘‘මම මගේ කළු පැහැ­යට කමි­සය දෙස බලා ගෙන කල්පනා කළා මේ කළු පැහැති අංශු ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කරලා තීන්ත හෝ සායම් වර්ග නිෂ්පා­ද­නය කරන්න හැකි­යා­වක් තියෙන්න පුළු­වන් නේද කියලා“

හදි­සි­යේම තමන්ට පැන නැගුණු මේ නිර්මා­ණා­ත්මක අද­හස ප්‍රායෝ­ගි­කව අත්හදා බැලීම සඳහා අනි­රුද් ‘‘ග්‍රැවිටි ලැබ්“ නමින් තමන්ගේ ආය­ත­න­යක් පිහි­ටු­වා­ගෙන පසු­ගිය තෙව­ස­රක් පුරාම අත්හදා බැලී­ම්වල නිරත විය. ඔහුගේ ඉල­ක්කය වූයේ කාර් රථ­ව­ලින්, විදුලි ජනක යන්ත්‍ර­ව­ලින්, බෝට්ටු­වල දුම්බ­ට­ව­ලින් පිට­වන කාබන් අංශු­ව­ලින් 95% ක් පමණ පෙරා­ගත හැකි පෙර­ණ­යක් නිර්මා­ණය කර එසේ පෙරා­ගන්නා කාබන් අංශු තීන්ත හෝ සායම් බවට පත්කර ගැනී­මයි. එම ඉල­ක්කය ජය ගැනීමේ ප්‍රති­ඵ­ලය වූයේ වායූ දූෂ­ණ­යෙන් ලබා ගන්නා අංශු­ව­ලින් නිපද වූ ලොව ප්‍රථම කලා අමු­ද්‍රව්‍ය නිර්මා­ණය වන ‘එයාර් ඉන්ක්‘ (Air-Ink) සායම් සහ තීන්ත බිහි­වී­මයි.

පසු­ගිය ජූනි මස ඔහු තම නව නිර්මා­ණය හඳුන්වා දීමේ සමා­ර­ම්භක වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කළ අතර ඒ හරහා ගොඩ­න­ගා­ගත් වෙළෙඳ සබ­ඳතා හරහා සිය ප්‍රථම තෙල් සායම්, මාර්කර්ස් සහ ස්ප්‍රේ කෑන් තොගය මේ වන විටත් නැව් ගත කර හමා­රය. අන්රුද් මේ වන­විට ලොව පුරා වායු දූෂිත රට­වල සංචා­රය කර­මින් එම රට­වල වීදි කලා­ක­රු­වන් හා සම්බ­න්ධ­වෙ­මින් කාබන් අප­ද්‍රව්‍ය නිසා මිනි­සාට පරි­ස­ර­යට ඇති වන බල­පෑම ගැන නිර්මාණ කරන ලෙසට අභි­යෝග කර­මින් සිටියි. එහි සමා­ර­ම්භය ලන්ඩ­නයේ දී පැවැ­ත්විණි.

වසරේ දින පහක් හැරෙ­න්නට අනෙක් සෑම දිනෙ­කම වායු දූෂිත මට්ට­මට පහ­ළින් සිටි දකුණු ලන්ඩ­නයේ බ්‍රික්ස්ටන් හි වින්ඩ්රෂ් චතු­ර­ශ්‍රෙය් කාබන් අංශු­ව­ලින් නිප­ද­වන ලද තෙල් සායම් ආශ්‍රෙ­යන් නිර්මා­ණය කරන ලද චිත්‍ර ප්‍රද­ර්ශ­න­යක් පැවැත් වූයේ ‘‘ලොව ප්‍රථම පිරි­දුසු වායු සහිත කලා­ගා­රය“ ලෙස නම් කර­මිනි. මෙම කලා නිර්මාණ ප්‍රද­ර්ශ­නය සඳහා බ්‍රිතාන්‍ය වඩාත් වායු දූෂි­තම නගර පහ වන ලන්ඩ­නය, ග්ලාස්ගොව්, ලීඩ්ස්, සද­ම්ප්ටන් සහ නොටිං­ග්හැම් නියෝ­ජ­නය කර­මින් අනි­රුද්ගේ එයාර් ඉන්ක් සායම් භාවිත කර­මින් නිර්මාණ සිදු­කළ කලා­ක­රු­වන් පස් දෙනෙකු සිය නිර්මාණ සම­ඟින් සහ­භා­ගීව සිටි­යහ. ඔවුන් සිය නිර්මාණ සඳහා භාවිත කළ සායම් නිර්මාණ කර තිබුණේ දකුණු ලන්ඩ­නයේ වායූ දූෂිත මට්ටම ඉහළ ගිය දින පහේදී වාහ­න­ව­ලින් පිට වූ කාබන් අංශු­ව­ලින් නිපද වූ සාය­ම්ව­ලිනි.

චිත්‍ර ශිල්පී ක්‍රිස්ටෝ­ෆර් හෝ විසින් නිර්මා­ණය කරන ලද ලන්ඩයේ සුප්‍ර­කට ගොඩ­නැ­ගිලි දූවිලි දුමා­ර­යෙන් වැසී යන තෙල් සායම් චිත්‍ර­යට වැඩි අව­ධා­න­යක් යොමු ව තිබු අතර අනි­රුද්ගේ සාය­ම්ව­ලින් අදින ලද චිත්‍ර ප්‍රද­ර්ශන බර්ලී­නයේ, සිංග­ප්පූ­රුවේ පසු­ගිය කාලයේ දී පැවැ­ත්විණි.

ඉහත වාහ­න­ව­ලින් සහ උප­ක­ර­ණ­වල දුම් බට­යෙන් නිකුත් වන කාබන් අංශු එකතු කරන විශේ­ෂිත උප­ක­ර­ණය ‘කාලින්ක්“ (Kaalink) නමින් පේටන්ට් බල­ප­ත්‍ර­යක් ලබා ගැනී­මට අනි­රුද් කට­යුතු කර ඇත. එම උප­ක­ර­ණය දුම්බ­ට­ව­ලට සවි­කළ හැකි ආකා­ර­යෙන් නිප­දවා ඇත. එම­ගින් නොපි­ලි­ස්සුණු කාබන් අංශු දුම්බ­ටය හරහා පරි­ස­ර­යට මුදා හැරී­මට පෙර ගබඩා කර­ගනු ලබයි. එය මයි­ක්‍රො­මී­ටර 2.5 ක් ප්‍රමා­ණයේ කුඩාම අංශු පවා ග්‍රහ­ණය කර ගබඩා කර­ගත හැකි ආකා­ර­යෙන් නිර්මා­ණය කර තිබේ.

මෙම කාලින්ක් උප­ක­ර­ණයේ ගබඩා වන කාබන් අංශු­වල යකඩ සහ පිළි­කා­කා­රක වැනි අප­විත්‍ර දෑ ඉවත් කරන අතර එම අංශු කළු පැහැති සායම් අංශු වන තෙක් අඹ­රා­ගනු ලැබේ. ඉන්පසු එම ද්‍රාව­ණය එළ­වළු තෙල් සමඟ මිශ්‍ර කර තෙල් සායම්, මාර්කර් පෑන් සහ තීන්ත සාදා ගනු ලබයි.

‘‘මගේ තීන්ත­වල ගුණ­ත්වය ඉහ­ළයි. එය තනි­ක­රම කළු පැහැ­තියි ගණයි. ඒ වගේම ඉතාම ඉක්ම­ණින්ම වියැ­ලෙ­නවා.“ යැයි අනි­රුද් තම නව සොයා ගැනීමේ ගුණ­ත්වය ගැන පහ­දයි.

මිලි­ලී­ටර් 30 ක තීන්ත ප්‍රමා­ණක් ඇති මාර්කර් පෑනක මිනිත්තු 40-50 අතර කාල­යකු තුළ දී කාලින්ක් උප­ක­ර­ණ­ය­කින් ලබා­ගත් කාබන් අංශු­ව­ලින් නිප­දවා තිබේ. එසේම ලීටර් 6 ස්ප්‍රේ තීන්ත ටින් එ­කක් විනාඩි 2000 ක් පුරා­වට ඩීසල් දුම්බ­ට­ය­කින් පිට කරන ලද කාබන් අංශු එක් කර නිෂ්පා­ද­නය කරන ලද තීන්ත­ව­ලින් සම­න්විත වේ.

තම කණ­ඩා­යම පසු­ගිය වස­රේදී හොංකොංග් සහ ඉන්දි­යාව පුරා වායු ලීටර ට්‍රිලි­යන 1.7 ක් පිරි­සුදු කර ඇති බව අනි­රුද් පව­සයි.

අනි­ද­රුද් මේ වන විට කාලින්ක් අංශු පෙරණ 75 ක් පම­ණක් සිය මිතු­රන් හා පවුලේ සාමා­ජි­ක­යන් අතර බෙදා හැර ඇති තත්ත්ව­යක් තුළ තම සමා­ගම වැඩි දියුණු කළ නොහැකි බව තේරුම් ගෙන ඇති හෙතෙම තවත් නියා­මන ව්‍යාපෘ­ති­යක් ලෙස ටැක්සි රථ, බස් රථ සහ කර්මාන්ත ශාලා චිමි­නි­වල සවි­කර හැකි ආකා­ර­යෙන් කාලින්ක් පෙරණ නිර්ම­ාණය කිරී­මට සැලැ­සුම් කර­මින් සිටියි.

‘‘ලන්ඩ­නයේ කළු ටැක්සි රථ විසි දහ­සක් පමණ තියෙ­නවා. ඒවාට අපේ පෙර­ණ­ සවි කළ හොත් වස­ර­කට වායු ලීටර ට්‍රිලි­යන 30 ක් පමණ පිරි­දුසු කර­ගත හැකියි. ඒ වගේම හරහා තව තවත් කලා නිර්මා­ණ­ව­ලට දාය­ක­ත්වය ලබා දිය හැකියි. “යැයි අනි­රුද් ෂර්මා පව­සයි.

ද ගාඩි­යන් ඇසු­රිනි

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න