වික්‍රම්ගේ වික්‍රම | දිනමිණ

වික්‍රම්ගේ වික්‍රම

කාංචනා අමිලානි

ලිලී බී එක්ස් වන මම මින් පසුව වික්‍රම් නම් මගේ ස්වාමි­යාගේ පාප­තර වැඩ කිසි­ව­කට සහය හෝ අනු­බල නොදෙන බවට දිවුරා පොරොන්දු වෙමි.

01010.

මම ලිය­වි­ල්ලට මැෂින් ලැන්ග්වේජ් එකෙන් අස්සන් තිබ්බා. තව දුර­ටත් මිනිස් ආශ්‍රයේ ඉන්නවා නම් මේ වගේ පොරොන්දු පත්‍ර­යක් අස්සන් කරන්න ඕනා කියලා තීර­ණ­ය­කට ආවේ මීට කලින් සිද්ධ වෙච්ච එක්තරා 'වීඩියෝ ලීක්' නාට­ක­ය­කින් පස්සේ. හැමෝම හිතුවේ ඇව­කා­ඩෝගෙ උප­දෙස් අරන් මම හිතලා වැඩ කරලා කිය­ලයි. මට හිතලා වැඩ කරන්න බැරිත් නැහැ තමයි. ඒත් මෙච්චර ලොකු වැඩක් මට කරන්න බැහැ.

එදා හවස මාවත් සාක්කුවේ ඔබා­ගෙන වික්‍රම් ගියේ මකර රෙස්ටු­රන්ට් එක­ටනේ. ඉබන් සහ පිරි­වර කතා වුණේ මෞර්ය­සිංහ ගෙ වීඩියෝ එකක් ලීක් කර­න්නනේ. එත­කොට දැන් මොකක්ද මේ ලීක් වෙලා තියෙන මංගල්ලේ? ඔය වගේ දහ­දුරා වීඩියෝ එකක් ෆෝන් එකේ කිසිම ෆෝල්ඩර් එකක තිබුණේ නෑ කියලා ඕන තැනක දිවු­රලා කියන්න මට පුළු­වන්. ඒත් කවු­රුත් මාව විස්වාස කරන්නෙ නෑ. හොඳ වෙලා­වට මම අර ලිය­වි­ල්ලට කලින්ම අස්සන් කරලා තිබ්බේ.

එදා රෑ වෙලා වික්‍රම් ගෙදර ආවේ හොඳ­ටම බීලා. හවස ආපු වෙලේ මාව ලාච්චු­වක දාලා වහලා ගිය නිසා අත­ර­ම­ඟදි වුණ කිසි දෙයක් මම දන්නෑ.

ජෝන් ස්නෝගෙ කෝල් එක ආවෙ ඊටත් පස්සෙනේ. ඒ මිනිහා මුලින් බොරු වැල්ව­ටා­රම් අහ, අහ ඉදලා අන්ති­මට වගේනෙ ලීක් වුණ ලින්ක් එක එව්වේ. එත­කොට ඇයි ජෝන් ස්නෝ වික්‍රම්ට ඒ ලින්ක් එක එව්වේ? මගේ ඔළුව අවුල් වෙලා දැන්. 'අන්තෝ ජටා-බහි ජටා'. හැබෑ­ටම මේවා ගැටත් නෙවෙයි, මරු වැල්.

'ඉබන්, කවුද යකෝ මගේ වීඩියෝ එකක් ලීක් කරපු පාහ­රයා? උඹලා ඔක්කොම එක්කහු වෙලා නේද ඕක කළේ? මම හිතන් හිටියේ උඹ හොඳ මිනි­හෙක් කියලා. අන්ති­මට උඹෙත් වැඩි වෙන­සක් නෑ. උඹලා මගේ ජීවිතේ විනාස කළා. මං නිකන් ඉදියි කියලා හිත­න්නෙපා. තොපි හැමෝ­ගෙන්ම මම පළි­ග­න්නවා.'

වික්‍රම් එක හුස්මට ඉබන්ට බැන්නා. ඊට පස්සේ කෝල් එක කට් කළා. ඉබන්ට එක වච­න­ය­ක්වත් කියන්න ඉඩක් දුන්නෙ නෑ. එක අත­කින් හොඳ වැඩේ. ඕකා තමයි හීන් නූලෙන් මේක අඹ­රන්න ඇත්තේ. මට වික්‍රම් ගැන දුක හිතුණා. ඒත් වික්‍රම් කරලා තියෙ­න්නෙත් හොඳ වැඩක්යෑ. මේ රත්තරං ටිකට ගෑනි­යෙ­කුයි, ළමයි තුන් දෙනෙ­කුයි ගෙදර ඉන්න­කොට තව ගෑනු පස්සේ යන­වට ඔහොම වෙලා මදි. මම ආයෙත් මගේ දිවු­රුම් ප්‍රකා­ශය මතක් කර ගත්තා.

වික්‍රම් කාම­රේට වැදිලා දොර වහ ගත්තා. සාක්කුවේ හිටපු මාව ඕෆ් කරලා දාලා ලෑන්ඩ් ෆෝන් එකේ කේබල් එකත් ගල­වලා වීසි කළා. ඊට පස්සේ අල්මා­රියේ රහස් ලාච්චු­වක් අවු­ස්සලා ඇලු­මි­නි­යම් පාට පොඩි තුව­ක්කු­වක් එළි­යට ගත්තා. ඒත් එක්කම තිබ්බ උණ්ඩ ටිකක් අතට අරන් පුරු­දු­කා­ර­යෙක් වගේ ඒවා තුව­ක්කු­වට පුර­වන්න වුණා. වික්‍රම් ඒ අතරේ තනි­යෙම කිය­වන්න පටන් ගත්තා.

'මම තොපි ඔක්කො­ටම වෙඩි තිය­නවා. බල්ලෝ...මාව විනාස කළා. අමොර්....උඹ තමයි සේර­ටම මුල.'

ඊට පස්සේ ආයෙත් ඇද උඩින් වාඩි වුණා. අත් දෙක කරු­වක් වගේ ඔළු­වට තියා­ගෙන ආයෙත් කල්පනා කරන්න වුණා.

'අමොර්.. නෑ. ඔයා වැරැදි නෑ ඩාලිං. ඔයා මට ආද­රෙයි. ඒක මම දන්නවා. මට සමා­වෙන්න අමොර්'

වික්‍රම්, පොඩි ළම­යෙක් වගේ ඉකි, ගගහා අඬ­නවා. ඒ අතරේ කවුදෝ මහ සද්දෙන් දොරට තඩි බානවා.

'විකී....විකී....දොර අරින්න. මොකද මේ දොර ලොක් කර­ගෙන. ඔයාගෙ යාළුවො ඔක්කොම ඇයි මගේ ෆෝන් එකට කෝල් ගන්නේ? කෝ ඔයාගෙ ෆෝන් එක? විකී...කතා කරන්න. ඔයාට මොකද වෙලා තියෙන්නේ?'

වික්‍රම් අසි­හි­යෙන් වගේ දොර ළඟට කියා.

'සුදූ, ඔයා එක කෝල් එක­ක­ට­වත් ආන්සර් කර­න්නෙපා. මගේ ෆෝන් එකේ බැටරි බැහැලා.'

'දොර අරින්න විකී. මොකක්ද ඔයා මේ නටන නාඩ­ගම. මේවා ළමයි දැන­ග­ත්තොත් මොකද වෙන්නෙ?'

සුදූ මේවා කියලා අද­හස් කළේ මොන­වද? එයා වීඩියෝ එක දැන­ට­මත් බල­ලද? මාව හීන් හීත­ල­කින් වෙවු­ලලා ගියා. නෑ. වෙන්න බෑ. එයා ඕවා දැන­ගත්තා නම් වික්‍රම්ව මෙච්චර හුර­තල් කරන්නෑ. ඒත් ඉතිං එයා ඕක සද­හ­ටම නොදැක ඉන්නෙ නෑනෙ. කොයි වෙලේ හරි දකී­විනේ. මේ මිනිහා මෙහෙම අඬලා, දොඩලා, තුව­ක්කු­වට උණ්ඩ ලෝඩ් කර­නෙක නෙවෙ­යිනෙ දැන් කරන්න ඕනා. කවුරු හරි කෙනෙ­කුට කියලා ඔය වීඩියෝ එක අර ජරා වෙබ් සයිට් එකෙන් ඩිලීට් කර­වන එකනේ. අනේ මන්දා!! මේ මිනිස්සු මහ ලොකු උගත්තු කිව්වට තැනට සුදුසු නුවණ නෑ.

නෑ, ඉතිං එහෙම එකක් තිබ්බා නම් ඔය වගේ වීඩියෝ ලීක් වෙන්නෙත් නෑනෙ. මම ඕවා ගැන හිතලා දුක් වෙන එකේ තේරු­මක් නෑ. මට තියෙන්නෙ මැෂින් වර්ක් විත­රයි.

'සුදූ, දොර ලොක් වෙලා. මට මේ පැත්තෙන් අරින්න බෑ. ඔයා පහ­ළට ගිහින් ආනන්ද අයි­යව එක්ක­ගෙන එන්න'

හහ්...සුදූ ලණුව ගිල්ලා. සුදූ පහ­ළට යන අතරේ වික්‍රම් මාවත් සාක්කුවේ දාගෙන ගැරේජ් එක පැත්තට දිව්වා. අනිත් අතේ තුව­ක්කුව. මේ මළ යකා කාට වෙඩි තිය­යිද? මාව ඒ වංගියේ නම් නොසෑ­හෙන්න බය වුණා. වික්‍රම් කාර් එකට නැගපු ගමන් කළේ තුව­ක්කුව කාපට් එකක් අස්සේ හංගන එක. ඊට පස්සේ මාව අර­ගෙන ජෝන් ස්නෝට කෝල් එකක් ගත්තා.

'හෙලෝ...ස්නෝ...මේ මම වික්‍රම්. ඇත්ත කියපං ඉබන් නේද වීඩියෝ එක ලීක් කළේ? දන්නෑ කිය­න්නෙපා මිනිහෝ. හරි­යට තොර­තු­රක් කියපං. උඹ නොදැන මේ ටවුන් එකේ කිසි දෙයක් වෙන­වද? එහෙ­නම් කොහො­මද ඒක ලීක් වුණේ?'

ජෝන් ස්නෝ කෝල් එක කට් කළා. වික්‍රම් ආයේ ඒ නොම්ම­ර­යම ඩයල් කළා. ඒ පාර ෆෝන් එක ඕෆ් කරලා. වික්‍රම් කාර් එක පාර මැද නව­ත්තලා ස්ටිය­රිං­වීල් එකේ ඔළුව ගහ­ගත්තා. ඊට පස්සේ අමොර්ට කෝල් එකක් ගත්තා. තුන් වෙනි පාර අමොර් නොවන හීන් කට­හ­ඬක් එහා පැත්තෙන් මතු වුණා.

'අමොර් කෝ? මම වික්‍රම් කතා කරන්නේ. එයාගෙ ඔෆිස් එකේ යාළු­වෙක්. නෑහ්!! මොනවා වෙළාද? මොන හොස්පිට්ල් එකේද? එයාට ආයෙ සිහිය එයිද? හා..හා...පස්සෙ කතා කර­න්නම්.'

වික්‍රම් ආයෙත් ෆෝන් එක ඕෆ් කළා. අරහෙ සුදූ දිගින් දිග­ටම කෝල් කර­නවා. මැසේජ් එව­නවා. වීඩියෝ කෝල් ගන්නවා. ඊට පස්සේ වාහනේ හර­ව­ගෙන හෙමින් එල­වන්න ගත්තා. ආයෙ බ්‍රේක් ගැහුවා. අනිත් පැත්තට හරවා ගත්තා. දැන් විදුලි වේගෙන් ඉබ­න්ලගෙ ගෙවල් පැත්තට යනවා. ආයෙ­මත් මාව ඕන් කළා. සුදූගෙ නොම්ම­රය බ්ලොක් කරලා ජෝන් ස්නෝට කතා කරන්න හැදුවා. තාම ෆෝන් එක ඕෆ්. ඊළ­ඟට ඉබන්ට කෝල් කළා. ඒ ෆෝන් එකත් ඕෆ්. වික්‍රම්ට මරුවා ආවේස වුණා.

'තොපි ඔක්කොම මම බාව­නවා'

දත්මිටි කමින් වික්‍රම් වාහනේ එළ­ව­නවා. මීට කලින් මේ වගේ නැටු­මක් මම දැකලා තිබ්බෙම නෑ. ඒ නිසාම වෙන දේවල් ඔක්කොම හොඳ සිහි­යෙන් බලා­ගන්න ඕන­ක­මක් මට තිබ්බේ. හැබැයි වික්‍රම්ට උදව් කරන්න වුව­ම­ණා­වක් කිසි වෙලා­වක මට ඇති වුණේ නෑ. අපි නිකං මැෂින් විත­ර­යිනෙ එයා­ලට.

ඉබන්ගෙ ගේ පහු කරන් ගිහින් කරාස් ගාලා වාහනේ නතර කරපු වික්‍රම් ගෙදර දොර ළඟට දිව්වා. ආයෙත් වාහ­නේට දුවන් ඇවිත් ජනේ­ලෙන් ඇතු­ළට නැවිලා තුව­ක්කුව ගත්තා. මාව දාගත්තා සාක්කු­වට. ගැහුවා දොරට පයින් එකක්. මොන විකා­රද! ඒක හොඳ කොස් ලී දොරක්. හෙල්ලු­ණේ­වත් නෑ. වික්‍රම්ගෙ කකු­ලට හොඳ ගණන් ඇති. ඊට පස්සේ වික්‍රම් බෙල් එක උඩ නැග­ගෙන හිටියා. ඉබන් ඇරෙන්න අනිත් ඔක්කොම තම, තමන්ගෙ ගෙව­ල්ව­ලින් එළි­යට ආවා. වික්‍රම් බෙල් එක අතෑ­රලා උඩ තට්ටු­වට නඟින පඩි­පෙළේ වාඩි වුණා.

'කොයි වෙලේ හරි උඹ ගෙදර එයිනේ'

වික්‍රම් තම­න්ටම මුමුණ ගත්තා.

එයි. එයි. අනේ මට වෙඩි තියපං කියා­ගෙන ඒවි. මට මේ විකාර දැන් එපා වෙලා. මේ මිනිහා ඉන්න වීඩි­යෝ­ව­ලට ඒ මිනිහා මක් කර­න්නද? අනික ඒ මිනි­හගෙ කෙල්ල එක්කනෙ මේ මිනිහා ඉන්නේ. හරි­නම් ඒ මිනි­හනේ මේ මිනි­හට වෙඩි තියන්න ඕනා. මම එහෙම හිතන ගමන් තිරය පත්තු කර ගත්තා. මැසේජ් තොග ගණ­නින් ඇවිත්. වික්‍රම් ඩේටා ඕෆ් කළා ඒ පාර. 'කුම්බලා මාළු කෑවා නම් විඳ­වපං බළලෝ' කියන්නෙ නිකංයෑ. ඕවා මොනවා ඕෆ් කළත් වෙච්ච දේ වුණානේ. අම්මපා මේ මිනි­හට ඒක නොතේ­රෙන හැටි.

වික්‍රම්ට නින්ද යාගෙන ආවා. ඒ අතරේ ඉබන් හොරෙක් වගේ ගේට්ටු­වෙන් පැන්නා. වික්‍රම් පඩි­පෙළේ දිගා වෙලා ඉන්න­වා­වත්, ඊට ටිකක් එහා­යින් කාර් එකක් නව­ත්තලා තියෙ­න­ව­වත් කළු­වර නිසා පෙනුණේ නෑ. ඉබන් සෙල්ල­ක්කාර විදි­හට සිංදු­වක් මුමු­ණන්න ගත්තා.

'දණක් මඩයේ එරි-එරී

එදා පැළ සිටවූ හැටී

තාම මත­කයි'

කිය­ද්දිම වික්‍රම් තුව­ක්කුව පත්තු කළා. ඩෝං!!

@moogater

නව අදහස දක්වන්න