රන් දියවර! | දිනමිණ

රන් දියවර!

ශ්‍රී ලංකාවේ පුරාණ සම්ප්‍රදායට අනුව ගතහොත් ජලය යනු ශිෂ්ටාචරයේ මූලික සාධකය යි. වියළි කලාපයේ ජලය රැස්කරගත් ආකාරයට අනුව ද, ඉන් ප්‍රයෝජන ගත් ආකාරයට අනුව ද අපගේ ආර්ථිකය තීන්දු විය. තෙත් කලාපයේ බොහෝ ඉඩම් පැවැතියේ ජල මූලාශ්‍ර හා වනාන්තර ආරක්ෂා කිරීමට ය. ජනාවාස හා ගොවිබිම් බිහිවූයේ වියළි කලාපය තුළය. නැතහොත් ගංගා පිටාර තැනි මත ය. මේ රටාව මනාව වටහාගත් අපේ රජවරු වැව් කර්මාන්තයට හා වාරිමාර්ග කළමනාකරණයට විශේෂ උනන්දුවක් දැක්වූහ. ඇතැම් නරපතියෝ විවිධ ආක්‍රමණවලට මුහුණ දෙමින් ද වාපි කර්මාන්තයේ යෙදුණාහ. අපට ස්වයංපෝෂිත ආර්ථිකයක් අතීතයේ පැවැතියේ ඒ අයුරින් ය.

නූතන ලිබරල් ආර්ථික හා දේශපාලන රටාව තුළ කාර්මිකකරණයට, වෙළෙඳ පොළට හා අන්තර්ජාතික සබඳතාවලට මුල් තැන ලැබෙයි. එය අමතක කොට ලෝකය සමඟ ගනුදෙනු කිරීම අපහසු ය. එහෙත් ශ්‍රී ලංකාව කළ යුත්තේ ලිබරල් ආර්ථික රටාවට හුරු වන අතර දේශීය ආර්ථිකයේ අක් - මුල් ද හොඳින් හා ශක්තිමත්ව පවත්වාගෙන යෑම ය. එසේ නොවුණහොත් පරිපූර්ණ ආර්ථිකයක් ගොඩනැඟීමට අසීරු වනු ඇත. මෑතකාලයේ මේ බව හොඳින් ම වටහාගත් නායකයකු ලෙස ‍ජේ.ආර්. ජයවර්ධන මහතා හැඳින්විය හැකි ය. ඔහු ආර්ථිකය විවෘත කළ අතර කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළේ ය.

කඩිනම් මහවැලියෙන් පසුව එබඳු මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ වත්මන් රජය යටතේ ය. එය මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය යි. මේ ව්‍යාපෘතියේ නායකයා හැටියට සැලැකිය හැක්කේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය. මොරගහකන්ද ව්‍යාපාරයේ දෙවන පියවර ලෙස සැලැකිය හැකි කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ දියවර රැඳවුම් මංගල්‍යය අද සිදුවේ. මෙය රටේ ඉතිහාසයට එකතු වන ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය. දුම්බර මිටියාවත, නැ‍‍ඟෙනහිර පළාත හා වයඹ පළාත මේ යෝජනා ක්‍රමය මඟින් සංවර්ධනයට පත්වනු ඇත. ව්‍යාපෘතිය සඳහා වැය කරන මුළු මුදල රුපියල් කෝටි විසිතුන්දහසකි.

නැ‍ඟෙනහිර පළාත මෙන්ම වයඹ පළාතද වාර්ෂිකව නියඟයට මුහුණ දෙයි. ඇතැම් වර්ෂවලදී කන්න දෙකතුන, හතර - පහ නියඟය නිසා වගා කටයුතු සිදු නොවේ. මේ හැරෙන්නට පළාත් දෙකට ම පිරිසුදු පානීය ජලය පිළිබඳ ගැටලුවක් පවතී. කළුගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඒ සියල්ලට විසැඳුමක් ලෙස ය. කෘෂිකර්මය, වාපි කර්මාන්තය, ජල සම්පාදනය, ජල විදුලිය නිෂ්පාදනය, මිරිදිය ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, වන සංරක්ෂණය, නව නගර නිර්මාණය, ආහාර සුරක්ෂිතතාව වැනි විෂය ක්ෂේත්‍ර ගණනාවක්මේ ව්‍යාපෘතිය ඔස්සේ වැඩිදියුණු කෙරේ. කොටින් ම අලුත් ශිෂ්ටාචාරයක් මේ ඔස්සේ බිහිවනු ඇත.

ශ්‍රී ලංකාවේ බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් පළමුව කළ යුත්තේ කෘෂිකර්මයත්, ගොවියාත් ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාත්මක වීම ය. ඒ සඳහා ප්‍රායෝගික සැලැසුම් හා වැඩසටහන් තිබිය යුතු ය. අපගේ මූලික අපනයන තීන්දු වන්නේ ද කෘෂිකර්මය මත ය. ඇඟලුම් වැනි අපනයන ක්ෂේත්‍ර සංවර්ධනය කළ හැක්කේ ද කෘෂිකර්මය ඔස්සේ ස්වයංපෝෂිත තත්ත්වයක් ඇති කර ගැනීමෙන් යැයි කිව හැකි ය. අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75%ක් පමණවත් කෘෂිකර්මයට කුමන හෝ මාර්ගයකින් සම්බන්ධ වෙති. වෙනත් රැකියාවල යෙදෙන අය පවා දෙවන ආර්ථික උපාය මාර්ගයක් ලෙස කෘෂිකර්මයට සම්බන්ධ වෙති. අපේ කෘෂිකර්මයට ඇති එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ ජලය යි.

ජලය කෘෂිකර්මයට පමණක් නොව; ජීවිතයට ද සම්බන්ධ ය. ජලය නැති ජීවිතයක් ගැන සිතාගැනීම ද අමාරුය. ජපානයේ ජනයා ගංගා, ඇළ - දොළට බැස එහි ජලය ආශාවෙන් පානය කරති. එරට ජල මාර්ග දූෂිත නැත. ජලාශ දූෂිත නැත. අදටත් එරට මුළු භූමි ප්‍රමාණයෙන් 70%ක පමණ පරිමාව ස්වාභාවික වනාන්තර සඳහා වෙන්කර ඇත. මේ හේතුව නිසා ජපානයේ ගංගා හා ජලාශ ඉතා පිරිසුදු ය. අපට ද එබඳු කාලයක් තිබිණි. අතීත පාලකයා ජලය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරූ අතර ඒවා සම්බන්ධයෙන් දැඩි නීති - රීතිද අනුගමනය කළ හ. එහෙත් අද එබඳු තත්ත්වයක් දකින්නට නැත. අපේ භූගත ජලය පවා ඇතැම් ප්‍රදේශවලදී අතිශය දූෂිත ය. ඒවායෙහි විවිධ රසායනික පවතී.

වියළි කලාපයට ජලය සැපයූ බොහොමයක් වැව් එක්කෝ සිඳී ඇත. නැතහොත් වල් වැදී ඇත. ඇතැම් ඇළ මාර්ග කැඩී - බිඳී ගොසිනි. වයඹ හා නැ‍ඟෙනහිර කුඩා වැව් දහස් ගණනක් තිබිණි. ඒවා එකිනෙකට සම්බන්ධ වූ අතර මහ වැවෙන් කුඩා වැව් ගණනාවකට ජලය ලැබිණි. අවම ලෙස ගමකට එක වැවක් ලෙසින් වාපි කර්මාන්තය දියුණු විය. අද වන විට වැව් නැත. ජලයත් නැත. ස්වාභාවික වැස්ස ද පුරුදු පරිදි නොලැබෙයි. මේවා අපේ ජන ජීවිතයට බෙහෙවින් බලපායි. බවුසර් මඟින් ගම්මානවලට ජලය සපයන ආකාරය අද අපට දැක ගත හැකිය. තව වැඩිකල් නොයා ම පිටරටින් ජල බෝතල් ආනයනය කිරීමට සිදුවනු ඇතැ’යි උපකල්පනය කළ හැකි ය.

ජනාධිපතිවරයා මොරගහකන්ද ව්‍යාපෘතිය කෙරෙහි ද, කළුගඟ ව්‍යාපාරය කෙරෙහි ද සිය අවධානය යොමු කරන්නට ඇත්තේ මේ සියලු තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් පසුව යැයි සිතන්නට පුළුවන. මේ මොහොතේ සිදුවිය යුතු අත්‍යවශ්‍ය සංවර්ධන ක්‍රියාමාර්ගයක් ලෙස ද එය සැලැකිය හැකි ය. අධිවේගී මාර්ග, අලුත් ආයෝජන කලාප, නව කර්මාන්ත, වරාය සංවර්ධනය වැනි දේවල් අදට අවශ්‍ය බව අවිවාදයෙන් පිළිගත යුතු ය. එහෙත් ඊටත් වඩා හදිසි හා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ජලය සැපයීම පවතී. කළු ගඟ ව්‍යාපෘතිය ඔස්සේ දුම්බර මිටියාවත, නැ‍ඟෙනහිර පළාත හා වයඹ පළාත නියෝජනය කරන විශාල දරු පවුල් ප්‍රමාණයක් අලුත් ජීවන ප්‍රවේශයක් ලබාගනු ඇත. එය අනාගත ආයෝජනයක් ලෙස ද පවතී.

මහසෙන්, ධාතුසේන, වසභ හා මහා පරාක්‍රමබාහු අපේ වාරි කර්මාන්තයේ නියමුවන් ලෙස ඉතිහාසයට එක්වී සිටිති. මොරගහකන්ද හා කළු ගඟ යන ව්‍යාපෘති දෙකද මෑත භාගයේ කැපී පෙනෙන සංවර්ධන ව්‍යාපෘති දෙකකි. මෙහි නියමුවා ලෙස සැලැකිය හැක්කේ වත්මන් ජනාධිපතිවරයා ය. ඔහුගේ නාමය ද ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සටහන් වනු ඇත.

 


නව අදහස දක්වන්න

Or log in with...