ලොවක් පාට කළ ජනපතිනිය The Queen Of Hugs | දිනමිණ

ලොවක් පාට කළ ජනපතිනිය The Queen Of Hugs

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිමාවට පත්වුණේ ප්‍රංශයට කුසලානය හිමිකර දෙමිනුයි. ඒත් සැබැවින්ම ප්‍රංශය දිනුවේ කුසලානය පමණයි. එදා මොස්කව් නුවර ලුෂ්නිකී ක්‍රීඩාංගණයට එක්රොක් වූ අසූදහසක ක්‍රීඩාලෝලීන්ගෙත්, රූපවාහිනියෙන් සජීවිව අවසන් මහා තරගය නැරැඹූ ලොව පුරා මිලියන ගණනාවක නරඹන්නන් පිරිසකගෙත් හදවත් දිනාගත්තේ ඇයයි. හිටිහැටියේම මොස්කව් අහස කළු කරගෙන ඇද වැටුණු ධාරානිපාත වර්ෂාවේ තෙමෙන තරමක් තෙමුණේ ඇයයි. ප්‍රංශයේ ක්‍රීඩකයන් රොත්තම එකපොදියට රන් කුසලානය අතැතිව පින්තූරවලට පෙනී සිටිද්දී මහ වැස්සෙම පිටියට පැන හිතේ හැටියට නටමින් වෙනම සතුටක් භුක්ති වින්ඳේ ඇයයි.

පළමු වතාවට ‍පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට ක්‍රීඩා කළ තම රටේ ක්‍රීඩකයන්ගේ දස්කම් දැක බලාගන්නත්, ඔවුන් දිරිගන්වන්නත් පිටියට පැමිණි එරට ජනපතිනිය කොලින්ඩා ග්‍රාබර් තරගයේ මුල සිටම පසුවූයේ දැඩි උද්දාමයකින්. වී.අයි.පී. අසුනක රුසියාවේ බලවතා ව්ලැදිමිර් පුටින් ද, අනෙක් පස ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්රෝන් ද අසුන් ගෙන සිටියදී තරගය අතරතුර වරින් වර අසුනින් නැගී සිට ඔල්වරසන් හඬ දෙමින් ඇය මේ උද්දාමය අලුත් කරගත්තා.

තරගාවලියේ කීර්තිය ප්‍රංශයට අයිතිවුණත් ‍ලෝක පාපන්දු ප්‍රජාව තවමත් කතා කරන්නේ ක්‍රොඒෂියාවේ මේ 50 හැවිරිදි සුරූපි ජනපතිනිය ගැනයි. රටවල් දෙකක සම්බන්ධතාව ක්‍රීඩාවකින් ශක්තිමත් වන හැටි ඇය එදා අවසන් තරගයේදී හරි අපූරුවට කියා දුන්නා. ප්‍රංශය දිනූ මොහොතේ හැමෝටම කළින් ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්රෝන් සිප වෙළඳ සුබ පැතුවේ ඇයයි.

ජය පරාජය එකසේ විඳ දරාගත නොහැකිව ඇතැම් රටවල ක්‍රීඩකයන් මෙන්ම රාජ්‍ය නායකයන්ද මුහුණ රතු කරගන්නා අයුරු ඇති තරම් දැක ඇති ලෝක ප්‍රජාවට කොලින්ඩාගේ සතුට අමුත්තක් වුණා. ත්‍යාග ප්‍රදානයේදී ඇය තම රටේ ක්‍රීඩකයන් මෙන්ම ප්‍රතිවාදී ප්‍රංශයේ ක්‍රීඩකයනුත් එකලෙස සිප වැළඳගත්තා. ඔවුන්ට හදවතින්ම සුබ පැතුවා. එය ක්‍රීඩාලෝලීන් වඩාත් හැඟුම්බර කළ සිදුවීම් පෙළක් වුණා. සැබැවින්ම එය ප්‍රංශයේ ජයග්‍රහණය යටපත් කරමින් ඉස්මතු වූ අසිරිමත් සිදුවීම් පෙළක් වුණා.

ක්‍රොඒෂියාවේ ජනපති පදවියට පත්වුණු පළමු කාන්තාව ලෙසත්, එරට ළාබාලතම ජනපති ලෙසත් 2015 වසරේදී තනතුර බාරගත් මේ සරළ ගැහැනිය එදා රුසියාවේදී ලොවට පෙන්වූයේ ජනපති පදවියේ තේජාන්විතභාවයෙන් ඔබ්බට ගිය අපූරු සිත්තම් පෙළක්. තම රටේ ජාතික ධජයේ ආකෘතියට සරිලන ඇඳුමින් සැරැසී ඇය සෙසු ක්‍රොඒෂියානු ක්‍රීඩා‍ලෝලීන් සමග එක්ව රුසියාව බලා ගුවන්ගත වුණේ සාමාන්‍ය මගීන්ගේ පන්තියේ අසුන්ගෙනයි. අර්ධ අවසන් පූර්ව තරගය ඇය නැරැඹුවේ සාමාන්‍ය ක්‍රීඩා‍ලෝලීන් අතරට එක්වෙමිනුයි. ක්‍රොඒෂියාව පැරදුණත් ඇය හදවත් මිලියන ගණනාවක් දිනාගත්තා. ඒ මොහොතේ පිටියට ඇද වැටුණු මහ වැස්සේ තෙමෙමින් කුඩා දැරියක සේ සිය සතුට මුදා හරින්නට වූ කොලින්ඩාගේ ඡායාරූප පෙළ ඊළඟ පැය කිහිපයේ ලොව පුරා වැඩිම පිරිසක් අන්තර්ජාලය ඔස්සේ යළි යළිත් නැරැඹූ ඡායාරූප පෙළක් බවට පත්වුණා.

අවසන් තරගයට එක්වුණු මේ පුංචි රට ලෝක සිතියමේ ඇත්තේ කොතැනදැයි යන්න සොයාගැනීමට උත්සාහ කළ ලෝක පාපන්දු ප්‍රජාවට එය පෙන්වා දුන්නේ ක්‍රොඒෂියානු පාපන්දු කණ්ඩායම නෙවෙයි. කොලින්ඩායි. ඇය සොයා දුන්නේ තම රට පමණක් නෙවෙයි. උතුරු හැලෙන මනුස්සකම... සරළ බව... සංවේදි බව... ජනපති වුණත් ඇයටත් පොදු ධර්මතාවක් බව කියාපාමිනුයි. ජනපති පදවියේ තේජස අමතක කර ජීවිතය පාට කරන මනුස්සකම ඇය ලොවටම කියා පෑවේ එලෙසයි.

'The Queen Of Hugs'

අවසන් තරගයෙන් පසුව ලොව පුරා පුවත්පත්වල, අන්තර්ජාලයේ ප්‍රංශයේ ජයග්‍රහණය තරම් සමාන ඉඩක් වෙන් කරමින් කොලින්ඩා ගැන පුවත් පළවන්නට වූයේ එම සිරස්තලය යටතේයි. ඒවා තවමත් ප්‍රංශයේ ජයග්‍රහණයට ඉහළින් යළි යළිත් අලුත් වෙන ඡායාරූප පෙළක් බවට පත්වෙලා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට ‍පෙර ක්‍රොඒෂියානු ක්‍රීඩකයන් ගැන කතාබහ කරන්නට වූ ලෝක පාපන්දු ප්‍රජාව දැන් කතා කරන්නේ කොලින්ඩා ගැනයි. ඇගේ අව්‍යාජ ගතිපැවැතුම්, හැසිරීම් ගැනයි. ‍ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලොවට ඉතිරි කළ වැදගත්ම හා ප්‍රබලතම මතක සටහනත් එයයි. 

නව අදහස දක්වන්න