නාවලපිටියේ ලාබ කඩේක ගංජා විකුණන ළමයි දෙදෙනෙක් | දිනමිණ

නාවලපිටියේ ලාබ කඩේක ගංජා විකුණන ළමයි දෙදෙනෙක්

නාවලපිටිය රජයේ අලෙවිසලක් තුළ තබා ගනිමින් කේරළ ගංජා අලෙවි කළ එහි සේවකයකු, තැරැව්කරුවකු සහ පාසල් ළමුන් දෙදෙනකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් ළමයෙකු ළඟ ගංජා පැකට් ඇති බවට ලද තොරතුරකට නාවලපිටිය බස් නැවතුම්පොළ වෙත ගිය කාන්තා පොලිස් කොස්තාපල් 3660 සමන්මලි, පොලිස් කොස්තාපල් 37426 ජය‍සේකර සහය කර ගනිමින් එම සිසුවා පරීක්ෂා කර තිබේ.

ඒ අනුව එම ගංජා පැකට් සොයා‍ගෙන එම සිසුවාගෙන් ලද තොරතුරු මත හරංගල ප්‍රදේශයට ගොස් කේරළ ගංජා සමඟ තවත් පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව එම සිසුවාට කේරළ ගංජා ගෙනවිත් දුන් අයට දුරකතන ඇමතුමක් දී තවත් ගංජා පැකට් අවශ්‍ය බව දන්වා තිබේ.

එම තැරැවුකරුවා යතුරුපැදියකින් ගංජා රැගෙන පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් මෙහි ප්‍රධාන ජාවාරම්කරුවා සොයාගෙන තිබේ. ඒ අනුව පොලිස් කණ්ඩායමක් නාවලපිටිය සතොස ආයතනය වෙත යනවිටත් මෙහි ප්‍රධාන විකුණුම්කරුවා එහි සේවය කරමින් සිට ඇති අතර, සතොස ආයතනය තුළ තබා තිබූ ඔහුගේ ගමන් බෑගයේ කේරළ ගංජා පැකට් 6ක් තිබී සොයාගෙන තිබේ.

මේ ප්‍රධාන සැකකරු කොට්ටාව ප්‍රදේශයේ සිට අවිස්සාවේල්ල හරහා මේ කේරළ ගංජා රැගෙනවිත් රාජ්‍ය ආයතනයක රැකවරණය ලබා ගනිමින් පාසල් ළමුන් ට මෙසේ ගංජා අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන තිබේ. සියලු සැකකරුවන් නාවලපිටිය මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා වෙත ඉදිරිපත් කළ පසු මෙහි ප්‍රධාන සැකකරු වන උඩුවැල්ල ප්‍රදේශයේ පදිංචි සමීර මධුරසිංහ නැමැත්තාට රුපියල් දසදහසක දඩයක් හා බරපතළ වැඩ ඇතිව වසරක සිර දඬුවමක් ලබා දී එය වසර දහයකට අත්හිටවූ අතර, තැරැවුකරුවාටද රුපියල් දසදහසක දඩයක් නියම කර මාස හයක සිරදඬුවමක් ලබාදී එය වසර 10කට අත්හිටුවනු ලැබීය.

සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුට රුපියල් දසදහසක දඩයක් ද අනෙකාට රුපියල් දසදහසක රජයේ ගාස්තුවක් ද ගෙවීමට නියෝග කරන ලදී.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ, ස.පො.අ. චන්ද්‍රසේන බණ්ඩාර, නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. ප. සුජීවද සොයිසා යන නිලධාරීන්ගේ උපදෙස් මත ප්‍ර. පො. ප. මාපා, පො. සැ. 31064 සුගත්, පොලිස් කොස්තාපල්වරුන් වන 32526 විජේතුංග, 35781 ප්‍රියන්ත, 3426 ජයසේකර, 66560 පැතුම්, කා.පො.කො. 36690 සමන්මලී යන නිලධාරීන් පරීක්ෂණ පැවැත්වූ අතර, පොලිස් සැරයන් 45199 අමරසිංහ, සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

ගම්පොළ සමූහ

නව අදහස දක්වන්න