අභයවැව පාමුල ඉදිවන සත්විසිරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ හා ධර්ම ශාලාව | දිනමිණ

අභයවැව පාමුල ඉදිවන සත්විසිරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ හා ධර්ම ශාලාව

අනුරාධපුරය ශ්‍රී ලංකාවේ ප්‍රථම අගනගරය ලෙස ඉතිහාසයට එක් වී තිබේ. එහෙත් එය ශ්‍රී ලංකාවේ ප්‍රථම අගනගරය පමණක් නොවේ. සමස්ත බෞද්ධ ලෝකයාගේම ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පූජනීය පුරවරයකි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම සභ්‍යත්වයක සහ සංස්කෘතියක දිවමන් සාක්ෂි වන ඉපැරණි නටඹුන් රැසක් මෙන්ම වැව් පොකුණු විශාල ප්‍රමාණයක් තවමත් සුරැකී තිබෙන ඓතිහාසික අතිපූජනීය ශුද්ධ නුවරකි.

නිර්මල බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වර්තමානයේ මේ ශුද්ධ නුවර වටා වෙහෙර විහාර ඉදි වෙමින් පැවතීම බෞද්ධ ජනතාවගේ සතුටට හේතුවකි. වර්තමානයේ ඉදි වෙමින් පවත්නා මින් එක් සිද්ධස්ථානයක් වන්නේ ලංකාවේ පළමු වන සැලසුම්ගත වාපි නිර්මාණය වන අනුරාධපුර රුවන්වැලි මහා සෑයට නුදුරින් පණ්ඩුකාභය රජතුමා විසින් තනවන ලද 'අභයවැව' හෙවත් බසවක්කුලම වැව පාමුල රමණීය භූමි භාගයක පිහිටි 'සිරි අභය විහාරය සහ භාවනා මධ්‍යස්ථානයයි.'

ශ්‍රී ලංකාධරණී තලයේ සසුනඹර එකලු කළ, බෞද්ධ නිර්මාණ රැසක් බිහි කළ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමිගේ අනුශාසකත්වයෙන් හා මඟපෙන්වීමෙන් සිරි අභය විහාරය හා භාවනා මධ්‍යස්ථානයේ අභිනව විහාරාධිපති, අනුරාධපුර රුවන්වැලි සෑය මහා විහාර මහ පිරිවෙනේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත මැදිරිගිරියේ සුමේධ හිමි මේ විහාර කර්මාන්තය කඩිනමින් නිම කිරීමට මහත් වෙහෙසක් දරන අයුරු ඉතාම ප්‍රශංසනීය වේ.

මේ විහාරස්ථානය කුඩා සංඝාවාසයකින් ආරම්භ කරන ලද්දේ අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, කැලණි පාර්ශ්වයේ, උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක මතුගම ශ්‍රී ධීරානන්ද නාහිමි විසිනි. ඒ 1981 වසරේ දීය. ආර්ථික අපහසුකම් මධ්‍යයේ වුවද 1985 වසර වන විට මෙහි විහාර මන්දිරයක් තනවා නිම කර 'රත්නමාලි දහම් පාසල' හා 'සුමඟ' පෙර පාසල ආරම්භ කරන ලදී. විහාරස්ථානයේ අභිවෘද්ධිය තකා මෙහි වැඩ වාසය කළ අපවත් වී වදාළ හපුතලේ සද්ධාලෝක හිමිගෙන් සිදු ව ඇති සේවාව අගය කළ යුතුව ඇත. දහම් පාසල ගොඩනැඟීමේ දී ශාස්ත්‍රපති, පණ්ඩිත පස්ගම්මන ඤාණසාර, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රිදියගම ඤාණතිලක, කැප්පටිපොළ විමලසිරි හිමිවරුන් සිදු කළ කැපකිරීම් දායක කාරකාදීන් තවත් ප්‍රශංසා මුඛයෙන් සිහිපත් කරයි. 'සුමඟ' පෙර පාසල ආරම්භ කිරීමට මුල් වූයේ දිවංගත ශාමා සමරකෝන් මහත්මියයි. ඒ මහත්මිය ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුව ඇත.

දැනට මෙහි දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 235ක් පමණ දහම් දැනුම ලබන අතර ගුරුභවතුන් 17ක් පමණ ස්වෙච්ඡාවෙන් සේවය කරති. මෙහි දහම් පාසලේ දහම් දැනුම ලබා දහම් පාසලේ අධ්‍යාපන සහතික පත්‍ර හා බෞද්ධ ධර්මාචාර්ය විභාග සිසුන් විශාල පිරිසක් සමත් වී සිටීම සතුටට කරුණකි.

මේ විහාරස්ථානයේ දැනට ඉදි වෙමින් පවතින විහාර කර්මාන්තය වන්නේ සත්විසිරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත ධර්ම ශාලාවයි. 2017 වසරේ දී මුල් ගල තබා අරඹන ලද මේ විහාර කර්මාන්තය 2022 වසරේ දී නිම කර එය බෞද්ධ ජනතාවගේ වන්දනීය තත්ත්වයට පත් කිරීම තම අධිෂ්ඨානය බව විහාරාධිපති මැදිරිගිරියේ සුමේධ හිමියෝ පැවැසූහ.

මේ උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කරනුයේ අනුරාධපුර අභයවැව ඉස්මත්තේ පිහිටි තපෝධාරාම විහාරස්ථ දායක සභාවේත්, අනුරාධපුර අභයවැව සිරි අභය විහාරස්ථ දායක සභාවේත් එකමුතුවෙනි. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා විහාරස්ථානය අවට දායක කාරකාදීන් හා දිවයිනේ විවිධ ප්‍රදේශවල සැදැහැතියන්ගේ දායකත්වය ලැබී තිබීම සතුටට කරුණකි.

බුද්ධ ප්‍රතිමා ඉදිකිරීමට දායකවීම අටමහා කුසලයකි. දැනට මෙහි ඉදි වෙමින් පවතින ධර්ම ශාලාව සහිත සත්විසිරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු නිම කිරීමට රුපියල් කෝටි තුනක පමණ විශාල මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇත. මේ සඳහා සැදැහැති ඔබටත් දායක විය හැකිය. වසර පහක දී නිම කිරීමට සැලසුම් කර ඇති මේ විහාර කර්මාන්තයට ඔබත් දායක වීමට කැමති නම් මාසයකට රු. 500ක් හෝ රු. 1000ක් බැගින් වසර පහක් ආධාර කළ හැකිය. සිමෙන්ති, මැටල්, කම්බි, ලොකු ගඩොල්, පොඩි ගඩොල්, සුදු සිමෙන්ති, පලංචි බට, වැලි ආදී ද්‍රව්‍යවලින් ද ආධාර කළ හැකිය. ආධාර මුදල් 'අභය වැව කාර්ය සාධක සමිතිය' නමින් අනුරාධපුර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විවෘත කර ඇති 100050414204 ගිණුම් අංකයට හෝ අනුරාධපුර කොමර්ෂල් බැංකුවේ විවෘත කර ඇති 8530008353 ගිණුම් අංකයට බැර කළ හැකිය. වැඩි විස්තර විහාරාධිපති සිරි අභය විහාරය සහ භාවනා මධ්‍යස්ථානය, අභයවැව, අනුරාධපුර ලිපිනයෙන් හෝ 025-3259619, 077-4070822, 077-7458452, 071-5570422, 070-2234090, 071-6238838, 077-0294632- දුරකතන අංකවලින් විමසිය හැකිය.

අනුරාධපුර නැඟෙනහිර සමූහ
සේනපුර ඩී. නිශ්ශංක

 

අදහස් 1ක් ඇත

Mema pinkama facebook wala mithuran athare share kala noheka. eya sakasa dena men illami.

නව අදහස දක්වන්න