හොඳ ව්‍යව­සා­ය­ක­ත්ව­යක් තියෙ­න­ව­නම් ර‍ට දියුණු කළ හැකියි | දිනමිණ

හොඳ ව්‍යව­සා­ය­ක­ත්ව­යක් තියෙ­න­ව­නම් ර‍ට දියුණු කළ හැකියි

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ, ව්‍යව­සා­ය­කත්ව අධ්‍ය­යන අංශයේ,  අධ්‍ය­යන අංශ ප්‍රධානී,  ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය,  රුක්මාල් වීර­සිංහ මහතා

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් රටක ආර්ථිකය සවිමත් කරමින් සාම්ප්‍රදායික ජීවනෝපාය මාර්ග අභිබවමින් නොනවතින ගමනක යෑම සඳහා ව්‍යවසායකයකු විසින් කළ යුතු කර්තව්‍ය සුවිශාල ය. එක් පුද්ගලයකුට සිදු කළ නොහැකි කාර්යයභාර්යක් තුළින් විශ්වය ජය ගැනීමට ව්‍යවසාහකයා ස්වකීය දැනුම සහ අත්දැකීම් මනාව උපයෝගී කර ගත යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ භූමිකාව කෙසේ විය යුතු ද? යන්න පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ව්‍යවසායකත්ව අධ්‍යයන අංශයේ, අධ්‍යයන අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රුක්මාල් වීරසිංහ මහතා සමඟ සිදු කළ සම්මුඛ සාකච්ජාවකි.

 

ගුණාත්මකභාවයෙන් යුක්ත ව්‍යවසායකයකු යනුවෙන් හඳුන්වන්නේ කවරෙක් ද?

ව්‍යවසායකයෙක් කියලා කියන්නේ වයාපාරිකයකුට වඩා වෙනස් පුද්ගලයෙක්. සාමාන්‍ය ව්‍යාපාරිකයා, දැනට තියන භාණ්ඩ හා සේවා වෙළෙඳ පොළට ගැළපෙන ලෙස සකස් කරගෙන මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ සිතන කෙනෙක්. ව්‍යාවසායකයා යනු දැනට වෙළෙද පොළේ තියන අවස්ථාවලින් ඔබ්බට ගොස් අලුත් වෙළෙඳ පොළ අවස්ථාවන් ජනනය කරලා, නිර්මාණශීලී විදිහට හිතලා නව භාණ්ඩ හා සේවා අලුත්ම ආකාරයේ ව්‍යාපාර ජනනය කිරීම තුළින් සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට වඩා වපසරියක ව්‍යාපාර කරන පුද්ගලයෙක්.

ව්‍යවසායකයන්ගේ කර්මාන්ත එක තැන හිර වෙලා නෑ. එක් කර්මාන්තයක්, එක තැනක, එක වෙළෙඳ පොළක, එක පාරිභෝගික කොට්ඨාසයක හිර වෙලා නෑ. දැනට හඳුනා නොගත් අවශ්‍යතා, මිනිසුන්ගේ නොවිසඳුණු ප්‍රශ්න, හඹාගෙන ගිහින් ඒ වෙනුවට නව්‍යමය විසඳුම් දෙනවා. එතන දී අවදානමක් තිබුණත් නිර්භයව මුහුණ දෙනවා. තරගකාරීත්වය මොහුට අභියෝගයක් නෙමෙයි. සෑම විටම ව්‍යවසායකයා සුවිශේෂීභාවය නිසා ඉදිරියෙන් සිටිනවා. ව්‍යවසායකයා තමන් වෙනුවෙන් ව්‍යාපාර කරනවට වඩා සමස්ත සමාජය වෙනුවෙන් ව්‍යාපාර කරනවා. සමාජයේ අභිප්‍රායන් වෙනුවෙන් තියෙන්නේ නොනවතින ගමනක්. එතුළින් අඛණ්ඩ වර්ධනයක් සිදු වනවා. මෙවැනි ව්‍යවසායකයකු වන්නට නම් හොඳ ව්‍යවසායකත්ව ගුණාංග වර්ධනය කර ගත යුතු වනවා.

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදු වන අභියෝග මොනවා ද?

අනෙකුත් අයට සාපේක්ෂව මහා පරිමාණ ව්‍යවසායකයන්ට අභියෝග නෑ. සුළු හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ආරම්භයේ දී හා වර්ධනය වීමේ දී අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ආරම්භයේ දී හා වර්ධනයේ දී මුහුණ දෙන්නට සිදු වන අභියෝග කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ ව්‍යවසායකයා හා බැදුණු අභියෝග ( ව්‍යවසායක දුර්වලතා ) සහ ව්‍යවසායකත්ව පරිසරය හා බැඳුණු අභියෝග. බොහෝ අය පාරිසරික සාධකයන්ට අභියෝග එල්ල කරනවා. ඕනෑම පරිසර සාධකයක් අභියෝගයක් ලෙස තිබුණත් තමන්ට ව්‍යවසායකයකු වීමට ඇති කැමැත්ත, සූදානම, හැකියාව වැඩියි නම් ඒ බාහිර අභියෝග ජය ගන්න පුළුවන්. අභ්‍යන්තරව තිබෙන ලොකුම අභියෝග තමයි, අලුත් විදිහට හිතන අය ද?, ව්‍යාපාරික අවස්ථා හඹා ගෙන යන්න කැමැති ද? සහ අවදානම බාර ගන්න කැමති ද? යන්නයි.

අලුතින් දේවල් සිතන තත්ත්වය හරිම අඩුයි. අපි පිටරටින් දේවල් එනකම් බලා ගෙන සිටිනවා. අපිට තියෙන දේවල්වලින් අපිට විසඳුම් සොයා ගන්න පෙළඹෙන්නේ නෑ. අපිට අලෙවි කරන්න පුළුවන් මොනවා ද?, අපිට තියෙන ස්වභාවික සම්පත් මොනවා ද?, මිනිසුන්ගේ ශ්‍රමය සහ හැකියාවන් යනා දී සියල්ල තුළින් වෙළෙඳ පොළ සොයා ගෙන යන්නේ නෑ. රස්සාවල් ආණ්ඩුවෙන් දෙනකම් බලා ගෙන සිටනවා. වැඩි වැටුපක්, විශ්‍රාම වැටුපක් සහ රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳයි බොහෝ දෙනෙක් සිතන්නේ. කුඩා කාලයේ දී පාසලේ දී මෙන්ම විශ්වවිද්‍යාල පරිසරය තුළදීවත් පුද්ගලයෙක්ව නිසි පිරිදි හැඩ ගස්වන්නේ නෑ. පුද්ගලයකු ලෙස අප ව්‍යවසායකයකු නෙමෙයි. කලාතුරකින් කෙනෙක් තමයි ව්‍යාවසායකයන් ලෙස අප හඳුනා ගන්නේ. ඒ අය අතර සිද්ධාලේප මුදලාලි, මැලිබන් මුදලාලි, නවලෝක මුදලාලි වැනි අයව පෙන්වා දෙන්න පුළුවන්.

ව්‍යාපාරයක් පටන් ගන්න රජයෙන් ආධාර දෙන පුද්ගලයන් සිටිනව ද ? ව්‍යාපාරයක් ආරම්භ කරන්න අරමුදල් ලබා දෙන්න කෙනෙක් ඉන්නව ද ? කියන ප්‍රශ්න ප්‍රධාන වශයෙන් දැන් පවතිනවා. අපේ රටේ පොළී අනුපාතය දියුණු වූ රටවලට වඩා ගොඩක් වැඩියි. දියුණු වූ ව්‍යාපාර සඳහා ණය පහසුකම 2%, 2.5% වගේ පහළ අනුපාතයක් ගන්නවා. අපේ රටේ මේ වගේ පස් හය ගුණයක් වෙනවා. ඒ හින්දා අපේ රටේ ව්‍යාපාරයක් සඳහා ණයක් ගන්න එක ලොකු බරක්. තියන සල්ලි බැංකුවේ දාන එක ලාභයි, බිස්නස් එකක් පටන් ගන්නවට වඩා. අතිරේක බරක් ගන්නේ නැතුව ඉන්න පොලී අනුපාතය ගොඩක් බලපානවා. මුදල් නැති වුණත් ව්‍යාපාරයක් පටන් ගන්න ව්‍යවසායකයන්ට බලපාන ලොකු බාධාවක් තමයි අරමුදල් සපයන ආයතන නව ව්‍යාපාරිකයන්ව පිළිගැනීම අඩු වීම.

Venture Capital නමැති ආයතන කියලා කියන්නේ ආරම්භ කරන ව්‍යාපාරවලට ණය කොන්දේසිවලට යටත් නොවී ආයෝජනයන්ට හවුල්කාරීත්වය සපයන විදිමත් ආයතනයි.

ශ්‍රී ලංකාවේ මෙවැනි ආයතන නෑ. යුරෝපය, අමෙරිකාව සහ චීනය වැනි රටවල මෙවැනි ආයතන බහුලයි. ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය හැකියාව සහ ව්‍යාපාර අදහස Venture Capital ආයතනයකට ඉදිරිපත් කළ විට ඒවා අගය කරලා, අවශ්‍ය ලෙස අරමුදල් සැපයීම සිදු කරනවා.

ඒකමතික ප්‍රතිපත්ති තීන්දු, තීරණ වගේ දේවල් ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. කලින් කලට ඒවා වෙනස් වනවා. නීතී රීතී පද්ධතිවල සිදු වන වෙනස්කම් ව්‍යවසායකයන් බිහි වීම සම්බන්ධයෙන් අහිතකර ලෙස බලපානවා. ව්‍යාවසායකත්වය දියුණු කරන්න පැහැදිලි, නිශ්චිත, තිරසාර ප්‍රතිපත්ති මාලාවක් සියලුම රජයන්වල වෙනස් වීමෙන් ඇති වන බලපෑම්වලට යටත් නොවී ස්ථිරව තිබිය යුතුයි. එය උපාය මාර්ගික සැළැස්මක් ලෙස සළකනවා.

පවතින දැනුම වර්ධනය කර ගැනීමට සහ නව දැනුම එකතු කර ගැනීම සඳහා ව්‍යවසායකයන්ට අද වන විට අවස්ථාව ලැබී තිබෙන්නේ කෙසේ ද?

ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ඉස්සරහට වඩා දැන් දැනුවත් වෙලා සිටිනවා. පාසල් පද්ධතියේ විශ්වවිද්‍යාල පද්ධතියේ, අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන, මූල්‍ය හා අනෙකුත් රාජ්‍ය ආයතන වාගේම පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්ව සංවිධාන ඉතා කැපවීමෙන් ව්‍යවසායකයන් ඔප්නැංවීම සඳහා කටයුතු කරනවා. කෙසේ වුවත්, ව්‍යවසායකත්ව නැඹුරුව, පළමුව නිවස තුළ, අම්මා තාත්තගේ රැකවරණය තිබෙන කාල සී‍මාවේ දීත්, ඉන් පසු පාසලේ දීත් සිදු කිරීමෙන් අපට සෑහීමකට පත් වෙන්න බැහැ. ඒ වුණත් විශ්වවිද්‍යාල, අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන, රජයේ සහ පෞද්ගලික අංශයේ අදාළ ආයතනවල යම් කිසි ආකාරයක ප්‍රශස්ත මට්ටමක නැඹුරුවක් සහ යහපත් ප්‍රතිරූපයක් දක්නට පුළුවන්. ව්‍යවසායකත්වය පිළිබඳ ඇල්මක්, උනන්දුවක්, ඇති කෙනෙක් එය මැනවින් හදාරලා, සංවර්ධනය වූ දැනුම හා කුසලතා සහිතව ව්‍යවසායකයන් ව්‍යාපාරයක් ආරම්භ කළහොත් ඒවා සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ හා සංවර්ධනය වීමට තියෙන ඉඩකඩ වැඩියි.

අසාර්ථකත්වය මඟ හරවා ගැනීම සඳහා ව්‍යවසායකයන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කර ගැනීම ඉතා වැදගත්. මේ සඳහා විශ්වවිද්‍යාල පද්ධතියේ විවිධ ව්‍යවසායකත්ව පාඨමාලා තියෙනවා. රාජ්‍ය මැදිහත්වෙලා කරන රාජ්‍ය ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් තියනවා. යම් යම් ස්වේච්ඡා සංවිධාන, මේ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම සඳහා යොමු වෙලා සිටිනවා. ඒ නිසා මේ සඳහා තියෙන ඉඩකඩ පුළුල් වෙලා තියෙනවා.

අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විශාල භූගෝලීය පරිසරයක් තුළ ස්වභාවික සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ තුළින් ව්‍යාවසායකයන්ට එල ප්‍රයෝජන රැසක් ලබා ගැනීමට හැකි වනවා නේද?

අපේ රට දීර්ඝ ඉතිහාසයක් තිබෙන රටක්. ස්වභාවික සම්පත්වලින් අනූන හොඳ මානව සම්පතක් තියෙන රටක්. මුළු අවුරුද්ද පුරාම අව්ව, වැස්ස තිබිලා, ඕනම දෙයක් වැවෙන සරුසාර පසක් තියන, හිරු එළිය, ජලය, වාතාශ්‍රිය යනා දී ප්‍රධානම ස්වභාවික සාධක නොඅඩුව තිබිලා, අපිට අවශ්‍ය ආහාර පිටරටින් ‍ගේන එකෙන් පෙනෙන්නේ අපිට ලැබිලා ‍තියෙන දෙයින් ප්‍රයෝජනයක් ගන්නේ නෑ කියලයි. අපේ ජාතික ආදායමෙන් හතරෙන් එකක් වියදම් කරන්නේ පිටරටින් බඩු ගේන්න. අපි අපනයනය කරනවා වගේ දෙගුණයක් අපි පිටරටින් ගෙන්වනවා. එයින් පෙනෙන්නේ අපිට ලැබිලා තියන සම්පත්වලින් අප ප්‍රයෝජනයක් ගන්නේ නෑ කියන එකයි.

ලෝකයේ අපිට වඩා කුඩා රටවල් උදාහරණ ලෙස, සිංගප්පූරුව, තායිවානය, මාලදිවයින, යුරෝපයේ පවතින අනෙකුත් රටවල් ( පින්ලන්තය, නෙදර්ලන්තය ) අපි තරම්වත් සම්පත් නැති, ජනගහනය අඩු රටවල් අද ලෝකයේ බලවතුන් වෙලා. භූමිය, ශ්‍රමය හා ප්‍රාග්ධනය කියන සාධක තුන නැතත් හොඳ ව්‍යවසායකත්වයක් තියෙනවනම් ර‍ටක් දියුණු කරන්න පුළුවන්. ඒ වාගේම මේ සාධක තුනම තිබුණත් ව්‍යවසායකත්වය නැති තැන රටක් දියුණු කරන්න බෑ කියන එකට මේක හොඳ සාධකයක් වනවා.

ඒ නිසා අපේ රටේ ලැබී ඇති සම්පත්, මානව හැකියාව, විශිෂ්ට ශිෂ්ටාචාරය, ස්වභාවික සෞන්දර්ය, භූගෝලීය පිහිටීම වැනි කාරණාවලින් ලබා ගත හැකි ආර්ථික වාසි මේ වන තෙක් අප ලබා ගෙන නෑ. ඒ නිසා අනාගතයේදීවත් ව්‍යවසායකයෙක් විදිහට කටයුතු කරලා, මේ තත්ත්වය ( සංවර්ධනය වෙමින් පවතින තත්ත්වය ) සංවර්ධිත තත්ත්වය දක්වා, වෙනස් කර ගැනීමට අපිට ලොකු වගකීමක් තියනවා.

සංචාරක ක්ෂේත්‍රයෙහි ව්‍යවසායකයකු වීම සඳහා නිර්මාණශීලීත්වය සහ ව්‍යාපාරික ඥානය පමණක් ප්‍රමාණවත් ද?

සංචාරක ක්ෂේත්‍ර‍යේ හොඳ සාර්ථක ව්‍යවසායකයෙක් වීම සඳහා නිර්මාණශීලීත්වය සහ ‍ නවෝත්පාදනය අත්‍යවශ්‍යයි. අපිට ආවේණික ලෙස අප සංචාරක කර්මාන්තය, වර්ධනය කර ගත යුතුයි. යුරෝපයේ සංචාරය කරන සංචාරකයා අත්විඳින දෙයට වඩා හාත්පසින් සංචාරක අත්දැකීමක් ශ්‍රී ලංකාවේ දී ලැබිය යුතු වනවා. ඒ සඳහා අපේ කෘෂිකාර්මික විශිෂ්ට පසුබිම, ස්වභාවික පරිසරය, සංස්කෘතික ශිෂ්ටාචාරය, මානුෂික ගුණාංග ප්‍රධාන කර්මාන්ත බද්ධ කර ගත යුතු වනවා. උදාහරණයක් ලෙස වී ගොවිතැන හා බැඳුණු සංචාරක කර්මාන්තය පිළිබඳ සිතන්නට පුළුවන්. ඒ වාගේම චීනයේ තේ සංස්කෘතිය හා සම්බන්ධ සංචාරක කර්මාන්තය පෙන්වා දෙන්න පුළුවන්. කෙසේ වුවත්, ඉහත සඳහන් කළ ව්‍යවසායකයා සුදානම් විය යුතු කාරණාවලට අමතරව, මේ සඳහා වන පරිසරය සැකසීම ඉතා වැදගත් වනවා.

රටේ හොඳ නීති පද්ධතියක් තිබිය යුතුයි. මේ රට සුරක්ෂිත රටක් බව සංචාරකයන්ට හැඟී යා යුතුයි. ඒ වාගේම ශ්‍රී ලංකාවේ අනතුරුදායක බව අඩු විය යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන විට සාධාරණ, විනිවිදභාවයක් තිබිය යුතුයි. ජාත්‍යන්තරව පිළිගත් සම්මතයකට අප ගරු කළ යුතුයි. යටිතල පහසුකම්, මාර්ග පද්ධති, සනීපාරක්ෂණ පහසුකම්, කෑම බීම ඉතා ප්‍රමිතියෙන් යුක්තව හොඳ මට්ටමක තිබිය යුතුයි. ජපානය වැනි රටවල මේ කාරණා වඩා සැළකිල්ලට භාජනය කරනවා. එහෙත් අප රටේ සංචාරය කිරීමේ දී ඔවුන්ට අවශ්‍ය පරිදි සැකසූ පොදු වැසිකිළි, ප්‍රවාහන පද්ධතියක්, ආහාර සපයන ආපන ශාලා ආදිය දැකීම තුළින් සංචාරය කරන්න, උනන්දුවක් ඇල්මක් ඇති වන්නේ නැහැ. ඒ වාගේම මාර්ග තදබදය වැනි කාරණා ද අවාසිසහගත ලෙස පවතිනවා.

මිනිසුන්ගේ ආකල්ප, සිතුම් පැතුම් හා සංස්කෘතික කාරණාත් බලපානවා. සමහරක් මිනිසුන් දැඩි සම්ප්‍රදායික දෘෂ්ටිකෝණයෙන් සංචාරකයන් දෙස බැලීමට පුරුදුව සිටිනවා. සංචාරකයන් අපේ රටට පැමිණෙන්නේ මුදල් වියදම් කරගෙන, විනෝදයක් ලබා ගන්න වාගේම නව දැනුම ලබා ගන්නයි . සමහර ප්‍රදේශවල දී සංචාරකයන්ට මුහුණ දීමට සිදු වන අත්දැකීම් අමිහිරියි. ඔවුන්ගෙන් මුදල් ලබා ගන්න සමහරු සූක්ෂම ලෙස ක්‍රියා කරනවා. ඒ වාගේම ගුණාත්මක බවින් අඩු භාණ්ඩ හා සේවා සංචාරකයන්ගේ ඇගේ ගසා වංචනික ලෙස මුදල් ලබා ගන්න උත්සාහ කරනවා. එවැනි මානසිකත්වයක් මත සංචාරක කර්මාන්තය දියුණු කරන්න බැහැ. ඒ නිසා සමස්තයක් විදිහට අප සංචාරක කර්මාන්තය, රටේ ආදායම් මාර්ගයක් විදිහට තෝරා ගන්නවා නම්, ඒ සංචාරකයන්ට හිතකර ආකල්ප ගොඩනැ‍ඟීම සහ සමාජ සංස්කෘතික පද්ධති ගොඩනැ‍ඟීම අවශ්‍ය වෙනවා.

ඩුබායි ඇතුළු මැද පෙරදිග රටවල් සහ තායිලන්තය, යුරෝපය, මැලේසියාව, වැනි රටවල ආගන්තුක සත්කාර සුවිශේෂී වෙනස්කම්වලින් යුක්තයි. ශ්‍රී ලාංකික හෝටල් කර්මාන්තයේ ව්‍යවසායකයන්ට ඒ මට්ටමට යා හැකි ද?

සංචාරක ක්ෂේත්‍රයේ නමක් දිනාගත් උක්ත රටවල් සංචාරක ‍ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා සුවිශේෂී වූ පියවරක් ගෙන තියනවා. ඒවා සමහරක් විනෝදාස්වාදය සඳහාම, ගොඩනැඟී ඇති අතර, තවත් ඒවා ස්වභාව සෞන්දර්යය, දැනුම, ගවේෂණය සහ ශිෂ්ටාචාර ගවේෂණය වැනි පැතිවලට යොමු වී තිබෙනවා. සමහර ඒවා අති සුඛෝපභෝගී සංචාරකයන් වෙනුවෙන් ඉදි කළ හෝටල්. විනෝදාගාර, සැප පහසු මුහුදු ගමන්, සුවිශේෂී වූ ආහාර ආදී අංගෝපාංගවලින් යුක්තයි. තවත් ඒවා ඉතා සුන්දර, වෙරළ තීරයන්, ස්වභාවික ස්ථාන, පෞරාණික නටබුන්, ග්‍රාමීය සංස්කෘතිය ආදියත් සමඟ බද්ධ වෙලා තියනවා. නමුත් අති විශාල ආයෝජනවලට අපි තවම යොමු වෙලා නැහැ. ඒ නිසා අපි කලින් සඳහන් කළ පරිදි අපේ පවතින දේ සංචාරකයන් ආකර්ෂණය කිරීම සඳහා කුමනාකාරයෙන් යොදා ගන්නවා ද කියලා තේරුම් ගැනීම අවශ්‍යයි. අපි අපටම ආවේණික වූ නව්‍ය ප්‍රවේශයන් හඳුනාගත යුතුව තිබෙනවා. සාම්ප්‍රදායික කෘෂිකර්මය පදනම් කර ගත් නව්‍ය වූ ගොවිතැන් සංචාරක ක්‍රමයක්‍ ( Farm Tourism ) වැනි ක්‍රමවේද, සමහර රටවල අත්හදා බලමින් තිබෙනවා. අපිට ද මෙවැනි ක්‍රමවේද නිර්මාණය කර ගැනීම, නවොත්පාදනය සඳහා වැදගත් වනවා.

අලුතින් බිහිවන ඕනෑම ක්ෂේත්‍රයක ව්‍යවසායකයකුට ජාත්‍යන්තර මට්ටමට තම ව්‍යාපාර ගෙන යාම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවා ද?

අලුතින් බිහිවන ව්‍යවසායකයන්ට අනිවාර්යයෙන්ම ඉතා දුර දැක්මක් සහිතව තම ව්‍යාපාර පටන් ගත යුතු වනවා. එහි දී අත්‍යවශ්‍යම කාරණා වන්නේ සිටින භූමි ප්‍රදේශයේ සිටින වෙළෙඳ පොළට කොටු නොවී, මිලියන 7000ක වන ලෝක වෙළෙඳ පොළට තමන්ගේ ව්‍යාපාර, යොමු කීරීමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ගෝලීය මට්ටමින් ව්‍යාපාරිකයන් බිහි කර ගැනීමට අත්‍යවශ්‍ය වනවා. ඒ ක්‍රියාවලිය සරල හා පහසු එකක් නෙවෙයි. ඒ වුණත් පොඩි තැනින් පටන් අරගෙන අඛණ්ඩ වර්ධනයක්, පවත්වාගෙන යන ව්‍යාපාරවලට, තමන්ගේ ව්‍යාපාරය ලෝකයට හඳුන්වා දෙන එක අමාරු දෙයක් නෙමෙයි. පාරිභෝගිකයන්ගේ විශ්වාසය සුරකිමින්, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු භාණ්ඩ හා සේවා තරගකාරී මිලකට ඉදිරිපත් කරනවා නම් ලෝක වෙළෙඳ පොළ ජය ගන්න පුළුවන්. අතිශය අවංකභාවයෙන් යුක්තව ලෝක වෙළෙඳ පොළක් සමඟ ගනුදෙනු කිරීම වඩාත් වැදගත්. අවශ්‍ය ගුණත්වය සහතික කරමින් සහ ක්‍රියාවලීන් සම්මත කරමින් නවෝත්පාදන මෙහි දී හොඳ වත්පිළිවෙතක් වනවා. එසේම ව්‍යවසායකයා විදේශීය වෙළෙඳ පොළ නිවැරැදිව හඳුනාගෙන හොඳ අධ්‍යයනයකින් යුතුව ව්‍යවසායකත්ව කටයුතුවල නියැළිය යුතුයි. ජාත්‍යන්තර නීති රීති සහ ආනයන, අපනයන ක්‍රියාවලි, නිවැරැදිව අධ්‍යයනය කිරීම වැදගත්.

වර්තමාන‍යේ දී ශ්‍රී ලංකාවේ අලුතින් බිහි වන ව්‍යවසායකයන්ගේ අනාගත අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ දෙන උපදේශය කුමක් ද?

ව්‍යවසායකයකුට නොනවතින ගමනක් තිබිය යුතුයි. ව්‍යාපාර තමන් වෙනුවෙන් නෙමෙයි, සමස්ත සමාජය වෙනුවෙන් කිරීමට සිතිය යුතුයි. එයින් කියන්නේ ව්‍යාපාර කටයුතුවල අද තිබෙන තත්ත්වය පිළිබඳ තෘප්තිමත් නොවිය යුතු වනවා. නිතරම අනුන් නොකරන දේ තමන්ට කළ හැකි බව විශ්වාස කළ යුතුයි. එසේම අඛණ්ඩව ඉගැනීමට සුදානම් විය යුතුයි. ඉගැනීම යනුවෙන් අදහස් කරන්නේ අධ්‍යාපන පාඨමාලා සම්පූර්ණ කිරීම නොව තමන් නොදන්නා දේ, දැන ගැනීමට පවතින නොසන්සිඳෙන ආශාවයි. මෙසේ වෙළෙඳ පොළ අවස්ථාවන් හඳුනාගෙන අඛණ්ඩව භාණ්ඩ හා සේවාවන්, නව නිර්මාණ හා ප්‍රතිනිර්මාණය මඟින් සමාජීය අවශ්‍යතා වෙනුවෙන් සිදු කරන ව්‍යාපාර සාර්ථක වීමට ඉහළ සම්භාවිතාවක් ඇති බව අපගේ හැඟීමයි.

 

 මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න

Or log in with...