අමුතු ගස් | දිනමිණ

අමුතු ගස්

වික්ටර් කොලුපායෙව්

1936 උපත ලද වික්ටර්, ටොම්ස්ක් බහු තාක්ෂණික ආයතනයේ උපාධිය ලැබුවේය. 1965 දී ඔහු සිය ප්‍රථම පොත ප්‍රකාශයට පත් කළ අතර 1969 ප්‍රථම විද්‍යා ප්‍රබන්ධය පළ කළේය. 1972 සිට දිගටම විද්‍යා ප්‍රබන්ධ පළ කළ ඔහුගේ බොහෝ කෘති විදේශ භාෂාවලට පරිවර්තනය කොට තිබේ. ඔහු ටොම්ස්ක් (Tomsk) නගරයේ වාසය කරයි.

ප්‍රථමයෙන්ම දැඩි අන්ධකාරයකි. අනතුරුව අර්ධ වශයෙන් සිහි ලැබෙන්නට විය. තමා තවමත් ජීවත්ව සිටින බව ඔහුගේ හිරි වැටුණ මොළයෙන් ඔහුට අවබෝධ විය. මට ආපසු සිහි ලැබිය යුතුයි. ඔහු ආරක්ෂක පටිය දැඩිව අල්ලා ගත්තේය. කර්කශ නාදයක් සහ කන් බිහිරි කරවන අන්දමේ හඬක් මොහොතකින් ඔහුට ඇසිණ. අනතුරුව දැඩි නිහඬතාවකි.

සිහි ලැබුණ විගස ඔහුට දක්නට ලැබුණේ තම හිසට උඩින් ඇති විනිවිද පෙනෙන ආවරණයයි. ඔහු තමාගේ ශක්තිය නැවත ලැබෙන තුරු මොහොතක් සිටි අතර අනතුරුව ඔහුට මෑත අතීතයේදී සිදු වූ සියල්ල සිහිපත් විය. සිදුවන්නට ඇත්තේ නැවත පණ ගැන්වීමේ යාන්ත්‍රණයේ කිසියම් වරදක් බව ඔහුට වැටහිණ. ඒ අප්‍රසන්න අවස්ථාව නැවත ඇති නොවිය යුතුය යන්න ඔහුගේ අපේක්ෂාව විය. එහෙත් දරුවන්ට සිදු වූයේ කුමක්ද? ඔහු කල්පනා කළේය. ඔවුන්ගේ මැදිරිය ඊළඟ කොටසේ ඇත. ඔහු තොරතුරු ඇතුළත් සිතියම ඇති ස්ථානය වෙත ගමන් කරන අතර අතරමගදී සියලුම විදුලි සංඥා දර්ශකයන් දෙස යාන්තමින් බැලුවේය. තරමක අවුල් තත්ත්වයක යුත් එක් කොළ පැහැති දර්ශකයක් හැරෙන්නට අන් සියලු දර්ශක නියමිත පරිදි ක්‍රියාත්මක වෙයි. ඒ අවුලට පත්ව ඇති දර්ශකය ඔහුගේ දර්ශකයයි.

“හොඳයි කමක් නැහැ” ආපසු යන ගමනේදී වැරදි නිවැරදි කර ගත හැකිය. දැන් ඔහුට අවශ්‍ය වන්නේ දරුවන් බැලීමටයි. ඔහු ළමයින්ගේ මැදිරියේ දොර විවෘත කර බැලූ විට සියල්ල යථා පරිදි පවතින බව පෙනී ගියේය. වෙනත් ලෙසකින් කිවහොත් එය සම්පූර්ණ අවුල්ජාලයකි. ළමයි කෑකෝ ගසමින් එකිනෙකා වෙත කොට්ටවලින් දමා ගසති. පැහැදිලිව පෙනී යන හැටියට ඔවුහු වෙනස් වන තත්ත්වයට ඉතා හොඳින් මුහුණ දෙමින් සිටිති. “තාත්තෙ” වීනා කෑගැසුවාය. “අපි දිනුම්, සන්ඩ්‍රෝව කොට්ටවලට යට කළා. ඒත් මේක පටන් ගත්තෙ එයාමයි”

“මම තමයි” සන්ඩ්‍රෝ කැමැත්තෙන්ම පාපොච්චාරණය කළේය. “ඒ ගොල්ල හිටියෙ කලකිරුණු නිදිමත ගතියකින්. මට ඕනෑ වුණා. ඒ අයව ක්‍රියාශීලීව තියන්න.

“අපි ළඟා වෙලාද තියෙන්නෙ? තාත්තෙ” ඕසා විමසුවාය. ඇය වැඩිමහල්ම තැනැත්තියයි. එයට පිළිතුරු ලැබෙන තෙක් නොසිට ඇය මැදිරිය යථා තත්ත්වයට පත් කරන්නට පටන් ගත්තාය. “ඔව්” පියා පිළිතුරු දුන්නේය. “ අපි ළඟා වෙලයි තියෙන්නෙ. අපේ යානාව දැන් ග්‍රහ ලෝකයේ උප ග්‍රහයාගේ කක්ෂය වටේ යනවා. ඔය ළමයි ඉක්මන් කළොත් නිරීක්ෂණ මැදිරියෙන් ග්‍රහලෝකය බලාගන්න පුළුවන්.

“මම තමයි මුලින්ම” වීනා කෑගැසුවාය.

“බොහෝ වෙලාවට ඔයා තමයි අන්තිමයා වෙන්නෙ” පියා පැවසුවේය. “ඔය ළමයින්ට ඇඳවල් හදන්න හුඟක් වෙලා යාවි” මම ඇයට උදව් කරන්නම් සැන්ඩ්‍රො කීවේය. අපූරුයි. මම ඔය ළමයින්ට මිනිත්තු පහක් දෙන්නම්. ඉක්මන් කරන්න. ඔය ලමයි අවුල් කරපු මැදිරියේ ඒ බවක් පේන්නවත් තියෙන්න බැහැ ඔහු තොරතුරු සිතියම් ගත කර ඇති ස්ථානයට ගිය අතර වෙනස් වන කාල පරිච්ඡේදයට දරුවන් සූදානම් වන අයුරු ගැන සෑහීමකට පත් විය. එහෙත් ඔහුට සිදුව ඇත්තේ කුමක්ද? ඒ ගෙරවීම සහ කන් බිහිරි කරන නාදය ඇයි? යානයේ ඇතුළත සහ පිටත ඉදිකර ඇති ආකාරය ඔහු දැන සිටියේය. එහෙත් ගෙරවිලි ශබ්දය සහ කන් බිහිරි කරවන නාදය ‍නම් ව්‍යාකූලය. ළමයින්ගේ පැමිණීම ඔහුගේ සිතිවිල්ලට බාධාවක් විය. “ඒ ළමයි චරිත ස්වභාවයෙන් එකිනෙකාට වෙනස්ය. ඔවුන්ගේ හැසිරීමද චරිත ස්වභාවය අනුව සිදුවෙයි. තද ගති පැවතුම් ඇති හැමදේටම අවධානය යොමු කරන ඕසා කිසියම් දෙයක් වෙත ඇස් යොමු කරගෙන සිටින්නීය. දුර දිග නොබලා කටයුතු කරන සන්ඩ්‍රෝ නොදන්නා ග්‍රහලෝකයට මුලින්ම ළඟා වීමට දැඩි උනන්දුවෙන් පසුවෙයි. නොඉවසිල්ලෙන් සිටින වීනා අලුත් ක්‍රීඩා භාණ්ඩය එනම් අලුත් ග්‍රහ ලෝකයේ සෙල්ලම් කිරීමට ආශාවෙන් සිටින්නීය. කැරකෙන පුටුවක අසුන්ගෙන සිටින පියා ඉන්ද්‍රජාලිකයකු මෙන් පුදුමාකාර දෙයක් කිරීමට සූදානම් වෙයි. “ඉක්මන් කරන්න තාත්තෙ” වීනා බැගෑපත් ලෙස ඉල්ලා සිටියාය. “සූදානම්. දැන් අපි යමු” පියා බොත්තමක් තද කරමින් කීවේය. නිරීක්ෂණ මැදිරිය ආවරණය කරමින් තිබූ වැස්ම ක්‍රමයෙන් ඉවත් වූ අතර විනිවිද පෙනෙන ආවරණයක් තුළින් ඔවුන්ගේ හිසට ඉහළින් සහ දෙපාවලට පහළින් කැරකෙනා ගෝලය දිස් විය. වීනා සතුටින් උඩ පැන්නාය. සන්ඩ්‍රෝ උනන්දුවෙන් ඉදිරියට එබී බැලුවේය. ඕසා ගල්ගැසී බලා සිටියාය. මීදුම වැනි තුනී තට්ටුවකින් ආවරණය වුණ නිශ්චල ගෝලය ඔවුන්ට දක්නට ලැබිණ. ග්‍රහලෝකයේ පැත්තකට හිරු එළිය වැටී තිබූ අතර වලාකුළු අතරින් නිල් පැහැති සාගර තිත් ලෙස පෙනිණ. ලා දුඹුරු පැහැයෙන් යුත් කාන්තාර, කඳුවැටි සහ ඇස් රවටන හිමෙන් වැසුණ කඳු මුදුන් පෙනෙන්නට තිබේ. “ඔව්” මෙය දකින්නට ආලෝක වර්ෂ සිය ගණනක් දුර ගෙවා පැමිණීමට තරම් අගනේය. පියා ඡායාරූප ගැනීමට වෙහෙස වෙද්දී ළමයි ඇස් ඇරගෙන මෙම පුදුමාකාර දෙය දෙස බලා සිටියහ. “ළඟට යන්න ඕනෙද?” පියා විමසුවේය. “මට ඒකෙ ඇවිදින්න ඕනෙ” සන්ඩ්‍රෝ අවධාරණය කළේය. “වෙලාව ආවාහම... අපි මෙච්චර දුර ගෙවාගෙන ආවෙ මේකෙ මිනිත්තු කීපයක් ගත කරන්න නෙවෙයි”

“එහෙනම් අපි ග්‍රහලෝකෙ ඇවිදින්න යනවා” වීනා සතුටින් කෑගැසුවාය.

“අපි ගගනගාමීන් අඳින ඇඳුම් අරගෙන ආවෙ මොකටද කියල හිතනවද?” ඕසා විමසුවාය.

“ඇත්තටම අපි ඒකෙ ඇවිදිනවා විතරක් නෙවෙයි. දුවනවා”

“ඔව් ස්වභාවයෙන්ම” පියා පැවසුවේය. ඒත් අපි ග්‍රහලෝකෙට ගොඩ බැස්සහම අපේ දර්ශන පථය සීමාවෙනවා. ඒත් මෙහෙදි අපට විශාල ප්‍රදේශයක් නරඹන්න පුළුවන්.

“අපි තවමත් හුඟක් ඉහළින් ඉන්නෙ” සන්ඩ්‍රෝ විරෝධය පළ කළේය. “අපි තවත් ටිකක් පහළට බැහැල ග්‍රහලෝකෙ වටේ පියාසර කරමු.”

“මේකට කියන නම මොකක්ද?” ඕසා විමසුවාය.

“මම ග්‍රහලෝක සිතියම පරීක්ෂා කරල බැලුවා. මේකට තියෙන්නෙ අමුතු නමක්. මම දන්නෙ නැහැ ඒක අපේ භාෂාවට පරිවර්තනය කරන්නෙ කොහොමද කියලා. ඒකෙ තේරුම පැහැදිලි නැහැ” පියා පිළිතුරු දුන්නේය.

“අපි ඒකට නමක් දෙමු” සන්ඩ්‍රෝ යෝජනා කළේය.

“අපට ඒක කරන්න බැහැ පුතේ. ග්‍රහලෝකෙට දැනටමත් නමක් දීලයි තියෙන්නෙ” පියා පාලක මැදිරියේ අසුන් ගත් අතර යානය ග්‍රහලෝකය වටේ පියාසර කරමින් දඟර ගසමින් කැරකැවෙමින් හෙමිහිට පහළට බසින්නට විය. ඉක්මනින්ම ඔවුන්ට වලාකුළු ආසන්නයට පැමිණිය හැකිවිය. වලාකුළුවල හිදැස් අතරින් ඔවුනට ගංඟා, විල්, ජලාශ කැලෑ, කුඹුරු සහ නගර දක්නට හැකිවිය. “ඔව් ඇත්ත නගර. ඒවා අමුතු වුණත් නගරය” සමහර නගර ප්‍රමාණයෙන් විශාලය. තවත් ඒවා කුඩායි සමහර නගර අඩක් නටබුන් වී තිබේ. තවත් සමහර නගර මුළුමනින්ම නටබුන් බවට පත්ව ඇත.

“තාත්තෙ මෙහෙ කිසියම් වර්ගයක ශිෂ්ටාචාරයක් තිබුණද?” සන්ඩ්‍රෝ විමසුවේය.

“ඔව්. යටත් පිරිසෙයින් එවැන්නක් තියෙන්න ඇති” ඒත් ඒවා තවමත් පවතිනවා නම් අපට සලකුණක්වත් දකින්න පුළුවන් වේවි. අපි එක නගරයක් බලමු.”

“ඔව් අපි බලමු” පියා පැවසුවේය. නගරවලට කිලෝ මීටර් දහයක් උසින් යානය නතර කළ අතර සියලු දෙනාම නිරීක්ෂණ මැදිරියේ සිට පිටතට ඇස් යොමු කළහ. නගරවල කිසිම සෙලවීමක්වත් දක්නට නැත. ඒ දෙස බලා සිටි ඔවුන්ගේ ඇස් රිදුම් දෙන්නට විය. ඕසා කතා කළාය. “බලන්න අර තිත් වගෙ දේවල් හෙලවෙනව ව‍ගේ පේනවා”

“මොකක්? කොහෙද?” සෙස්සෝ විමසූහ.

“අර අතන එවා හරියට පුංචි කුරුස වගෙයි”

“ඒ ඔක්කොම ඔයාගෙ හිතේ තියෙන මනස්ගාත” සැන්ඩ්‍රෝ පැවසුවේය.

“කොහෙත්ම නැහැ වීනා තම සොහොයුරියට උපකාර වූවාය. “ඒවා හෙලවනවා. ඒත් හුඟක් හෙමින්” මිනිත්තු කිහිපයක් බලා සිටීමෙන් පසු ඒවා සෙලවෙන බවට ඔවුහු එකඟවූහ. මීට අමතරව ඔවුන්ට පෙනී ගියේ ඒවායේ ප්‍රමාණය එහි ඇති ගොඩනැගිලි තරමටම විශාල බවයි. ඒ නිසා ඒ නගරවාසීන් විය නොහැකිය. ඒ විතරක් නෙවෙයි ඔහු තව දුරටත් කීවේය. ඒවා ග්‍රහලෝකෙ මතුපිට පාවෙනවා. ඒවායෙ සෙවණැල්ල පහතට වැටිලා තියෙනවා.

“එතකොට නගරවාසීන් කො?” වීනා නොඉවසිල්ලෙන් විමසුවාය. වෙනත් ග්‍රහලෝකයක ජීවීන් දැක ගැනීමට ඇය බලවත් සේ ආශා කළාය.

“අපි තවත් පහළට බහිමු” පියා යෝජනා කළේය. යානය ග්‍රහලෝකයේ මතුපිටට මීටර් 500 පමණ උසින් නතර විය. යානය නතර කරනු ලැබුවේ පාවෙන කුරුස ඇති ස්ථානයේ මධ්‍යයටයි. දැන් නගරයේ මාවත් පැහැදිලිව දැකිය හැකිය. සෑම තැනකම ඇත්තේ දැඩි නිහඬතාවකි. කිසිදු සෙලවීමක් නැත. වලාකුළු පවා ඒවායේ හැඩය වෙනස් කර නැත. “කිසිදු සෙලවීමක් නැති අමුතු නිහඬතාවක් ඇති ලෝකයක්” පියා පැවැසුවේය. “කිලෝ මීටර් සිය ගණනකට උඩදී නම් ඒක මනරම් දර්ශනයක්.”

“අර බලන්න අර” වීනා කෑගැසුවාය. “අර අතන ගහක් වැවෙනවා. බලන්න ඒකෙ අතු විහිදෙන හැටි” වීනා පෙන්වූ දිසාවට සියල්ලෝම නෙත් යොමු කළහ.

“අමුතුම ගහක්” සන්ඩ්‍රෝ පැවසුවේය. “අනික එක ගහකට වඩා තියෙනවා” “මම නම් මේ වගෙ ගස් කවදාවත්ම දැකලා නැහැ ඕසා කෑගෑවාය. “අපේ ඇස් ඉදිරිපිටදීම ඒවා වැඩෙනවා” ඔවුන් දුටු ප්‍රථම ගස ඔවුන්ගේ ඇස් ඉදිරිපිටදීම වැඩෙන්නට විය. එමගසේ ක‍‍ඳේ සිට අතු හැම පැත්තටම විහිද ගිය අතර ක්‍රමයෙන් ඒවා නැවී බිමට පහත් විය. ඉන් අනතුරුව සෑම ගසක්ම බිමට පහත් වී ක්‍රමයෙන් නොපෙනී ගියේය.

“එතැන කොයිතරම් තියෙනවද බලන්න” සන්ඩ්‍රෝ මවිතය පළ කළේය.

“ඒවා ජීවමානයි. අපි තවත් පහළට බැහැල කිට්ටු වෙලා බලමු”

“දැන්ම නෙවෙයි” පියා පිළිතුරු දුන්නේය.

“මෙතන තියෙන්නෙ නගරයක්. අපි හුදකලා ස්ථානයකට පහළට බහිමු”

කිසියම් හේතුවක් නිසා ඔහු එම ගස්වලට කැමැත්තක් දැක්වූයේ නැත. ඒවා ගස් වැවෙන්නට සුදුසු ස්ථානවල පමණක් නොව නිවාසවල වහලවල් උඩ සහ ගල් ඇතිරූ පාරවල්වල මැද පවා වැවෙයි. ඔහු යානාව උතුරු දෙසට හැරෙව්වේය. ඔවුහු අඩක් නටබුන් වූ සහ මුළුමනින්ම නටබුන් වූ නගර වෙතින් සහ අමුතු ගස් උඩින් පියාසර කරමින් ඈතට ගියහ. නැවත වරක් ඔහුට අප්‍රසන්න ගෙරවිලි හඬ සහ කර්කශ කන් බිහිරි කරවන නාදය ඇසිණ. ඔහුගේ හදවත වේදනා ගෙන දෙන්නට විය. තමා ළමයින්ව මෙහි රැගෙන ඒම වරදක් යැයි ඔහුට ක්ෂණිකව සිතිණ. ඔවුනට වඩා හොඳ හෝටල්. චන්ද්‍ර උද්‍යාන කාර්යක්ෂම මඟපෙන්වන්නන් සිටින ග්‍රහලෝකයකට යා හැකිව තිබිණ. ඊළඟ වාරයේ නම් ඔහු නොවැරදීම මෙවැනි අමුතු මියගිය ග්‍රහලෝකයකට නොව වෙනත් ග්‍රහ‍ලෝකයකට ඔවුන්ව රැගෙන යාමට සිතා ගත්තේය. අන්ත‍ිමේ ඔවුහු හරිත වර්ණයෙන් යුතු තැනිතලා ප්‍රදේශයක් තෝරාගත්හ.

එහි ජලය නිසා හෝ වන සතුන් නිසා ඇතිවූ දිය අගලක් වැනි ස්ථානයක් දක්නට හැකිවිය. එහි වාතය පරීක්ෂා කර බැලූ ඔහුට එම වාතය හුස්ම ගැනීමට සුදුසු බව පෙනී ගියේය. ඔහු ගගනගාමී ඇඳුම නොමැතිව පිටවූවත් ළමයින්ට එම ඇඳුම ඇඟලා ගන්නා ලෙස උපදෙස් දුන්නේය. හදිසි අවස්ථාවක් පැන නැඟුනහොත් ඊට මුහුණ දීම සඳහා ඔවුහු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ජෙට් රැගෙන ගියහ. ළමයි උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව සිටියහ. එහෙත් පියා අසහනයෙන් පසු විය. අමුතු ග්‍රහලෝකය පිළිබඳ නොපැහැදිලි උපද්‍රව්‍යයක සැකය ඔහු තුළ විය. අන්තිමේ ඔවුහු ග්‍රහලෝකයේ මතුපිටට ගොඩ බැස්සහ. ගගනගාමී ඇඳුම් ළමයින්ට බාධාවක් නොවූ බැවින් ඔවුහු එකිනෙකා පසුපස එළවමින් කෑකෝ ගසමින් ප්‍රීතියෙන් දුව පැන ඇවිද්දහ. එහෙත් අවට පරිසරය මුළුමනින්ම අමුතුය. අමුතු දැඩි නිහඬතාව මෙන්ම කිසිදු සුළං හැමීමක් හෝ සෙලවීමක් නොවීම මෙම අමුතු තත්ත්වය වැඩි කළේය.

මතු සම්බන්ධයි

අනුවාදය බොබී ජී. බොතේජු


නව අදහස දක්වන්න