බාබඩෝස් 23 | දිනමිණ

බාබඩෝස් 23

මම හිටියේ අමොර්ගෙ ඇද ළඟ. එයාට තාම සිහිය නෑ. අමොර් ගැන මං තරහින් හිටියා තමයි. ඒත් අනේ මේ වගේ කරදරයක් වුණාම කාගෙද හිත උණු නොවෙන්නේ. එයා වාහන එලවන්නේ සෙල්ලම් කාර් එලවන ගාණට. ඒත් ඉතිං වාහනේ හැප්පුණේ නවත්තලා තියෙනකොටනේ. එතකොට මම හිටියේ අමොර්ගෙ ඩෙනිම් සාක්කුවේ.

'හෙලෝ...නෑ.නෑ. අමොර් නෙවෙයි. අමොර්ගෙ නංගි කතා කරන්නේ.

නැහැ. අමොර්ට එන්න විදිහක් නෑ. එයා එක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් එකේ. තාම සිහිය නෑ.

අනේ මම දන්නෑ ඕවා. කවුරු කාට වෙඩි තිබ්බත් අපිට වැඩක් නෑ.'

අමොර්ගෙ නංගි; ලෝලා, රතු වෙච්ච මූණෙන් කෝල් එක කට් කළා. අමොර්ගෙ හොඳම යාළුවා, ලෙසතු ඇහි බැම උඩ යවලා අභිනයෙන් ඇහුවා මොකද කියලා. ලෝලා වම් අත ගස්සලා නොරිස්සුමෙන් පණිවිඩය කිව්වා.

'අර ඉබන්ට වික්‍රම් කියලා මිනිහෙක් වෙඩි තියලලු. අපේ අක්කිට එන්නලු සාක්කි දෙන්න පොලිසියට.'

ලෙසතුගෙ ඇස් උඩ ගියා වික්‍රම්ගෙ නම ඇහුණම. ලෝලා ප්‍රශ්නාර්ථයකින් ලෙසතු දිහා බැලුවා.

'ඔයා දන්නවද වික්‍රම් කියලා කෙනෙක්? ඒ මිනිහා මොකටද ඉබන්ට වෙඩි තියන්නේ? අනික අපේ අක්කි මොකටද ඒවට සාක්කි දෙන්නේ?'

'අනේ නෑ ලෝලා. මම එහෙම කෙනෙක් දන්නෑ. ඉබන්ව ඉතිං අපි හැමෝම දන්නවනේ. එයා කරපු දේවලුත් දන්නවනේ. අමොර් එයත් එක්ක සම්බන්ධෙ නවත්තලා දැන් ගොඩක් කල්නේ.'

ලෙසතු ඒ වෙනකොටත් අමොර්ගෙ යාළුවො කීප දෙනෙකුට පණිවිඩ යවලා ඉවරයි. අමොර්ගෙ අම්මයි-තාත්තයි කාමරේට ආවෙ එතකොටයි.

'මහන්සි ඇතිනේ. දුව එහෙනම් ගෙදර ගිහින් එන්න'

අමොර්ගෙ අම්මා ලෙසතුගෙ ඔළුව අතගෑවා. ලෙසතුගෙ ෆෝන් එක මගෙත් එක්ක බඩ බැඳගෙන ඉන්නේ. එයා බාබඩෝස් 23. අපි ඉක්මනට මැෂින් ලැන්ග්වේජ් එකෙන් පණිවිඩ මාරු කර ගත්තා. ලෙසතු යන්නේ අමොර්ගෙ යාළුවො වගයක් හම්බ වෙන්න. වෙන දේවල් මට කියන පොරොන්දුව පිට බාබඩෝස් 23 ලෙසතුගේ හෑන්ඩ් බෑග් එකට බැහැලා යන්න ගියා.

ඒ අතරේ කෝල් බර ගාණක් ආවා. ඒක ඉවසන්න බැරිවද කොහෙද ලෝලා මාව සයිලන්ට් මෝඩ් දාලා පුටුවක වාඩි වුණා.

බාබඩෝස් 23 මට වඩා සෑහෙන්න දියුණුයි. එයා ලෙසතු සහ යහළුවන්ගේ හමුවීම මට ලයිව් පෙන්නන්න ගත්තා. මම තනියෙම තිරය පත්තු කරගෙන ඒක බලන්න පටන් ගත්තා.

'ලෙසතු, මේක හිතන තරම් සරල වැඩක් නෙවෙයි. වික්‍රම් බැදපු මිනිහෙක්. දැන් ඒ මිනිහගෙ ගෑනි බලයි මොකක්ද මේ පටලැවිල්ල කියලා. අනික වෙඩි තියන්න තරම් දුර-දිග ගිය එකක්.

'හරි. ඒ වුණාට අමොර් කිව්වෙ නෑනෙ ඉබන්ට වෙඩි තියන්න කියලා. ඒක මේ වික්‍රම්ගෙ හිතුමනාපෙට කරපු වැඩක්නේ'

'අනික, අර වීඩියෝ එක. හරි නම් අමොර්නෙ වික්‍රම්ගෙ ඔළුකට්ට කුඩු වෙන්න වෙඩි තියන්න ඕනා'

'පිස්සුද අනේ ඔයාට? ඒකෙ අමොර්ව හරියට අඳුනන්නත් බැහැ. වික්‍රම්ව නම් හොඳට පේනවා. අනික අපේ අමොර් කොහෙද වෙඩි තියන්නේ? එයාට ඉලක්කෙට ගල් කැටයක්වත් විසි කරන්න බැරිකොට.'

'අනේ...මේහ්...මොකෝ අමොර්ව අඳුනන්න බැරි? හොඳට පේනවා'

'ගර්ල්ස්......හරි. හරි. දැන් අපි මොකද කරන්නෙ? ඉබන් කොහේ ඉන්නවා කියලද කිව්වේ? ගොඩක් තුවාලද? මැරෙයිද?'

'කවුරු දන්නවද! ඕකව නම් මැරෙන එකමයි හොඳ. එතකොට මේ ඔක්කොම ඉවරයිනේ'

'අපි ස්නෝට කෝල් කරමුද? එයා නොදන්න ඕපදූපයක් නෑනෙ'

ලෙසතු ස්නෝට කෝල් එක ගන්න අතරතුර මගේ බැටරි බැස්සා. ලෝලා ටීවී එකේ කෑම උයන ප්‍රෝග්‍රෑම් එකක් දිහා කට ඇරන් බලන් ඉන්නවා. කවුද ඉතිං දැන් මාව චාර්ජ් කරන්නේ? මම ඔහේ උඩුබැල්ලෙන් වැතිරිලා උන්නා. අපිට පිළිසරණක් නැති ලොකුම වෙලාව මේක තමයි. බැටරි බැස්සම ඔක්කොම නාටක ඉවර වෙනවා.

විනාඩි 20 විතර පස්සේ ලෝලා නැගිටලා ඇවිත් මගේ තිරය පත්තු කරන්න හැදුවා. එතකොටයි එයා දැක්කෙ බැටරි බැහැලා බව. 20% චාර්ජ් වෙද්දි මම ආයෙත් බාබඩෝස්ට පණිවිඩයක් යැව්වා. එතකොට ලෙසතු කවුද මන්දා මෝටර් බයික්කාරයෙක් එක්ක ගල්කිස්ස පැත්තට යනවා.

'ස්නෝ...ඇත්ත කියන්න. කවුද අර වීඩියෝ එක ලීක් කළේ?'

'කවුරු කළාද කියලා අපිත් තාම හොයනවා ලෙසතු. ඉබන් නම් නෙවෙයි. ඒක මට ෂුවර්.'

'එතකොට වික්‍රම් නටපු නාඩගම මොකක්ද? කොහෙටද වෙඩි වැදිලා තියෙන්නේ?'

'ඒ යකාට පිස්සු ලෙසතු. ඉබන්ගෙ කකුලට වැදිලා තියෙන්නේ. වැඩි අවුලක් නෑ මිනිහට. අද හවස ටිකට් කපාවි. හැබැයි වික්‍රමයට නම් ලේසි වෙන්නෑ. පහළ ගෙදර අන්කල් දැකලනේ සිද්දිය. මිනිහා තමයි පොලිසියටත් කෝල් කරලා තියෙන්නේ. වික්‍රම් වෙඩි තිබ්බ හැටි පියවරෙන්, පියවර මිනිහා විස්තර කරනවා. වික්‍රම් දැන් පොලිස් කූඩුවේ.'

'නෑහ්!!'

'මේක දැන් සීරියස් කේස් එකක් ලෙසතු. අහුමුළුවල හිටපු එවුන් පවා අහු වෙනවා. වික්‍රම් අන්තිමට කෝල් කරපු ලිස්ට් එකේ මගේ නමත් තියෙනවා. අද උදේ මම පොලිසියට ගිහින් සාක්කි දුන්නා. ඒ මදිවට මගේ ඇත්ත නම මොකක්ද කියලා අහලා ඔෆිස් එකටත් කෝල් කළානේ'

'ඉතිං..ඔයාගෙ ඇත්ත නම මොකක්ද'

ජෝන් ස්නෝ බයික් එක පාර මැද්දෙම නැවැත්තුවා. හෙල්මට් එක ගලවලා ලෙසතු දිහා මනමාල බැල්මක් හෙළුවා. ලෙසතුගෙ බෙල්ලෙ හිරිගඩු පිපුණා.

'මා නිසා ඔබ නොපිරූ පෙරුම්

මා නිසා ඔබ නොපැතූ පැතුම්

ඒ සිනහා මැද ඉටුවේවි නම්

ආයෙ නාවත් කම් නෑ ඉතිං'

ඇඳුම් කඩේක මහ සද්දෙන් ඒ සිංදුව දාලා. හරියට නිකං හින්දි ෆිල්ම් එකක් වගේ.

'විමිඳු'

ජෝන් ස්නෝ ලෙසතුගෙ ඇස් දිහාම බලාගෙන නම කිව්වා. ලෙසතු ස්නෝගෙ ඇස් මඟාරින ගමන් 'යමු අනේ' කිව්වා. ස්නෝ පරාද වෙන පාටක් නෑ. හුළඟ කපාගෙන එන සද්දෙත් එක්ක මහ හයියෙන් කතා කරන්න පටන් ගත්තා.

'මගේ ඇත්ත නම මොකක්ද කියලා අහපු පළවෙනි ගෑනු ළමයා ඔයා තමයි'

'බොරු නොකියා ඉන්න ස්නෝ. බලාගෙන ගියාම ඉබන්ගෙ යාළුවො ඔක්කොම ඉබන් වගේම පැනි මුට්ටි.'

ලෙසතු සැහැල්ලුවෙන් හිනා වෙන්න ගත්තා. ස්නෝ මොකුත්ම කිව්වෙ නෑ. ඊට පස්සේ ස්නෝගෙ කතාව සම්පූර්ණයෙන්ම නතර වුණා. ලෙසතුත් වටපිට බලමින් ගියා විතරයි.

'හ්ම්...බහින්න.'

ලෙසතු ජෝන් ස්නෝ එක්ක හොස්පිට්ල් එක ඇතුළට ගියා. ඉබන් හිටියේ ලොකු වාට්ටුවක. ඉබන්ගෙ ඇද ළඟම පොලිස් රාළහාමි කෙනෙක් පුටුවක් තියාගෙන වාඩිවෙලා. ලෙසතු ආයෙත් අඩියක් පිටිපස්සට වුණා.

'බය වෙන්නෙපා. එයා ඊයෙ ඉදන්ම ඔතන වාඩිවෙලා ඉන්නවා.'

ඉබන් ස්නෝව දැකලා දුක්බර හිනාවක් පෑවා. ඊළඟට ලෙසතු දිහා බලලා බිම බලා ගත්තා.

'ඉබන්, ඔයාට දැන් හොඳද?'

'වැඩක් නෑ ලෙසතු. මීට වඩා හොඳයි අරූ මගෙ ඔළුවටම වෙඩි තිබ්බා නම්. කකුලෙ වේදනාව ඉවසන්න බෑ. අනික මම නොකළ වරදකටනෙ ඌ මට වෙඩි තිබ්බේ. උගේ ඇග විතරයි; මොළේ නෑ.'

'එතකොට කවුද වීඩියෝ එක ලීක් කළේ?'

'අනේ මම දන්නෑ ලෙසතු. මටත් ඒක හිතා ගන්න බෑ. අනික වික්‍රම්ගෙ වීඩියෝ අපිට කොයින්ද?'

'ඒ කියන්නෙ ඔයාගෙ වීඩියෝ ඔයා ළඟ තියෙනවයි කියන එකද?'

'පිස්සු කතා කරන්නෙපා ලෙසතු. ඔයා දන්නවනේ අමොර්ගෙ හැටි. එයාට හොරෙන් වීඩියෝ එකක් තියා ඇල්පෙනෙත්තක්වත් ළඟ තියාගන්න මට පුළුවන්ද?'

මේක යකාගෙ පැටලැවිල්ලක්නේ. මම තිරය නිවාගෙන තනියෙම කල්පනා කරන්න වුණා. එතකොට ඉබන් වරදක් කරලා නෑ!! ඒ යකා බොරුවට වෙඩි කාලා තියෙන්නේ!!

ඒ අතරේ ලෙසතුයි, ස්නෝයි ගියා ඉබන්ට තැඹිලි හොයන්න.

හරියටම වෙලාවට සුදූ ආවා වාට්ටුවට. එයා හිටියේ පරල වෙලා. ඉබන් දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.

'ඔයාට දැන් හොඳයිද මල්ලි? මම එක තප්පරයක් ඇහැ පියා ගත්තෙ නෑ. අපේ ලොකු පුතාට වික්‍රම්ගෙ මොකක්ද වීඩියෝ එකක් හම්බ වෙලා. හතර විළි ලැජ්ජාවෙ බෑ. කසාද බඳින්න ළඟ කොල්ලෙක් ඉන්නවා කියලා නෙවෙයිනෙ මේ මිනිහගෙ වලත්තකම. වැඩක් නෑ මල්ලි කතා කරලා.'

සුදූ යන්නම් කියලා නැගිටිනකොටම ස්නෝයි, ලෙසතුයි තැඹිලි අරන් එනවා. සුදූ පැන්නා ඉස්සරහට. ගැහුවා ලෙසතුගෙ කම්මුලට. හරියට නිකං හෙණයක් පාත් වෙනවා වගේ.

'බැල්ලී....උඹ නේද වීඩියෝ එකේ ඉන්නේ'

කාංචනා අමිලානි
@moogater

නව අදහස දක්වන්න