ගිනිගේ මරණයට දුන් විවෘත තීන්දුව | දිනමිණ

ගිනිගේ මරණයට දුන් විවෘත තීන්දුව

පසුගිය කාලය තුළ එතරම් දක්නට නොලැබුණු තරුණ රංගන ශිල්පියකු වූ ඉන්දික ගිනිගේ පිළිබඳව ජූලි 23 දා මැදියම් රැයත් 24 දා අලුයමත් අතර කාලය පුරාවට සමාජ ජාල මාධ්‍ය බොහොමයකින් නොසිතූ පුවත් ප්‍රචාරය විය.

ඒ ඔහු හදිසියේ මිය යාමත් සමඟය.

ඉන්දිකව බොහෝ දෙනකු හඳුන්වන්නේ “ගින්නා” යන ආදර නාමයෙනි.

ඒ නිසා ගින්නාගේ මරණය පිළිබඳ පුවත ඉතා වේගයෙන් රට පුරා පැතිර ගියේය. එය බොහෝ දෙනකුට අදහාගත නොහැක්කක් වුහ.

ඉන්දික පදිංචිව සිටියේ මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවත හෙවත් අනිවත්ත ප්‍රදේශයේය. එහි අංක 34/12 තෙමහල් සුවිසල් නිවසේ තම පියා සමඟ පදිංචිව සිටි ඔහු මිය යන විට තිස් හත්වන වියේ පසු විය.

දිනය පසුගිය 23 වන දාය. එදින ඉන්දිකගේ පියාද ගෙදර සිටියේය. දැනගන්නට ඇති පරිදි ඉන්දික එදින මත්පැන් පානය කර තිබේ.

ඊට හේතුව දන්නේ ඔහුමය. වෙනදාටත් ඔහු මත්පැන් පානය කරන බව පියා ද දැන සිටිය නිසා ඔහු එය එතරම් ගණනකට ගත්තේ නැත.

ඉන්දික කාමරයට වී දොර වසා ගත්තේ ඔය අතරතුරය.

ඉන් පසු ඔහු ගීත කීපයක් රස විඳ ඇත. ඒ වනවිට වේලාව රාත්‍රී නවයයි තිහද පසුවී තිබිණි.

පුතුගේ කතාබහක් නොමැති නිසා පියා ඔහු නිදා සිටි කාමරයට ගියත් එහි දොර වසා තිබිණි.

“පුතේ... පුතේ” යැයි කියමින් පියා දොර විවර කරගන්නට උත්සාහ කළ ද කාමරයෙන් කිසිඳු හඬක් අසන්නට නොලැබුණි.

ඔහු යළි යළිත් දොරට තට්ටු කර ගෑ ගැසුවේය. කාමරය තුළ සිටි ඉන්දික කතා නොකිරීම නිසා ඔහුගේ පියාට ඇති වුයේ සැකයකි. ඉදිරිපස දොර කැඩූ ඉන්දිකගේ පියා කාමරයට ඇතුඵ වුයේ ඉන් පසුවය.

“දෙවියනේ............මොකද මේ වුණේ.” ඉන්දික කාමරය තුළ උඩුබැලි අතට වැටී සිටියේය. කුමක් හෝ අනතුරක් සිදු වී ඇති බව පියාට දැනුණි. ඔහු මහ හඬින් කෑ ගැසුවේය. ඔහුගේ හඬට නිවෙසට එක් වු අයගේ ආධාරයෙන් ඉන්දික රෝහල් ගත කෙරිණි.

මිනිත්තු කිහිපයක් තුළ මහනුවර මහ රෝහල වෙත ඔහු රැගෙන ආවද ඒ වන විටත් මෙලොව හැරගොස් තිබිණි. වසර කිහිපයක් කලා ක්ෂේත්‍රයට සෘජු දායකත්වයක් ඉන්දිකගෙන් නොලැබුණද ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු ඔහුට ලෙංගතුව සිටියහ.

ඔහු ටෙලි නාට්‍ය පනහක පමණ ප්‍රමාණයකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති අතර ඊට අමතරව චිත්‍රපට කිහිපයකට ද එක්විය.

සංගීත ක්ෂේත්‍රයේ දක්ෂතා රැසකින් හෙබි ඔහු රංගන හැකියාව මෙන්ම ගායන හැකියාවද ඇති අතළොස්සක් කලාකරුවන් අතර ප්‍රමුඛයෙකි. කලාව සේම ඔහු වඩාත්ම පෙම් බැන්දේ ඔහු ඉගෙනුම ලැබු පාසැලටය.

කලාකරුවන් රැසක් ජාතියට දායද කළ මහනුවර ධර්මරාජ විදුහල ඉන්දිකගේ තක්ෂිලාව විය. 1981 වසරේ ජූලි මස 09 දින උපත ලද ඉන්දික විවාහ වන්නේ ජූලි මස 05 වෙනි දිනකය.

ඒවගේම නොසිතූ මොහොතක මරු තුරුළට ගිය ඔහුට වාසනාව මෙන්ම අවාසනාවද ගෙන ආවේ ජූලි මාසයේ වීම පුදුමයකි.

ධර්මරාජයට අසීමිත ලෙස පෙම්කළ ඉන්දික එහි ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායක මෙන්ම විද්‍යාලයීය තූර්යවාදන, රග්බි,පාපන්දු,පිහිනුම් ආදි ක්‍රීඩා මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්හි ද දක්ෂතා දැක්වීය.

පාසැල් වියේ සිටම සංගීතයට දක්ෂයකු වු ඔහු එහි දක්ෂතම සිතාර් වාදක ශිල්පයා ද විය. ධර්මරාජයට මෙලෙස අසීමිතව ආදරය කළ ඔහු සිය අතක බහුවේ ධර්මරාජ විදුහල් නිළ ලාංඡනය පවා කොටා ගත්තේය. ධර්මරාජ ආදී සිසුන් එක් වු සෑම අවස්ථාවකම ඉන්දික එහි නොවුයේ නම් ඒ...එහෙමත් අවස්ථාවකය. ඉන්දිකට එක් දියණියක් සිටී.

ඇය අට හැවිරිදි කවීතා ගිනිගේ ය. පළමු විවාහයේ දියණිය වන ඇයට ඔහු පණ මෙන් ආදරය කළේය. පළමු විවාහක බිරිඳ කෞෂිගෙන් මෙයට වසර කිහිපයකට පෙර වෙන්වෙන ඉන්දික නැවත විවාහ වන්නේ ඉනෝකා සමඟය.

පවුල් දිවියේ ඇතැම් අවස්ථාවල ඔහු ගත් තීන්දු තීරණ මෙන්ම ඔහුට ලැබුණු තීන්දු තීරණ වලින් ද ඔහුට සතුට සැනසුම ගෙන ආවේද යන්න සැකයකි. ජනප්‍රියත්වය සමඟම ඉන්දික සම්බන්ධයෙන් කටකතා ද පැතිර ගියේය. ඊට ඇතැම් ජනපි‍්‍රය නිළියන් ගේ නම් ද ඈඳී තිබිණි. ඉන්දික මියගියේ ඇයි ? ඔහු කෙසේ මිය ගියේද ?

මේ තරම් තරුණ වියේදී ඔහු මරු වැළඳ ගත්තේ කුමන හේතුවක් නිසාද ? කලා ක්ෂේත්‍රය තුළත් ඔහුට ආදරය කළ අය අතරත් නැගුණු බරපතල ප්‍රශ්නයක් විය. රෝගී තත්ත්වයන් කිහිපයකට ඖෂධ භාවිතා කරන ඉන්දික එවැනි ඖෂධ මාත්‍රාවක් අධික ලෙස ලබාගැනීම හේතුවෙන් මිය යන්නට ඇතැයි පොලිසියේ සැකයයි. එහෙත් එය තවම සනාථ වී නැත.

කෙසේ වෙතත් ඉන්දිකගේ මරණයට හේතුව සියදිවි නසා ගැනීමක් දැයි නිශ්චිතව සඳහන් නොවේ. රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි ඉන්දිකගේ මරණය කෙසේ සිදුවී දැයි දැනගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහරෝහලේදී පැවැති අතර එහි මහේස්ත්‍රාත් පරීක්ෂණය මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා විසින් සිදු කරන ලදි.

මෙහිදි වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෘතදේහය හා ස්ථානීය පරීක්ෂණය සිදුකළේය. ඔහුගේ නියෝගය මත මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. සිවසුබ්‍රමනියම් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර මරණය සම්බන්ධයෙන් ලැබුණේ විවෘත තීන්දුවකි.

එහෙත් ලබන අගෝස්තු 15 දා මෙහි සාක්ෂි විමසීම සිදුවන අතර මියගිය ගිනිගේගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකිරිමෙන් පසු එදිනට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය වෙත භාර දිමට නියමිතය.

මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.ආර්.එස්. ධර්මදාස මහතාගේ උපදෙස් මත එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති කපිල රණසිහ මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් දයාරත්න (57486) ඇතුඵ නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

(ඉන්දික පොල්කොටුව)

නව අදහස දක්වන්න