උත්තර නැති ප්‍රශ්න | දිනමිණ

උත්තර නැති ප්‍රශ්න

අපේ කළු ජෙමාගේ පෙට්ටිකඩේ ළඟ වැදුණු පෝස්ටරයක්, මට ඊයේ දවාලේ ආයෙමත් සිහියට ආවා. පෝස්ටරයේ කියැවී තිබුණේ කාලෙකට ඉස්සර පට්ට වාමාංශිකයකුව සිට ඊට පස්සේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකට මුක්කු ගැසූ මිත්‍රයෙක්ගෙ වේදිකා නාට්‍යයක් ගැන. කොහොමත් මාසෙකට හමාරකට සැරයක් නාට්‍යයක් බලන්න යන එක, මගෙයි, මායියගෙයි ජීවිතවල සංස්කෘතික අංගයක් හැටියට තාමත් එල්ලෙන කෑල්ලක්. අපේ උන්දෑ ඒක දැක්ක ගමන් කීවේ 'අනේ යන්' කියලා. ඔන්න ඉතිං අපි ගියා. රංග ශාලාවෙන් එළියට බැහැපු ගමන් මායියා, මගෙන් ප්‍රශ්න අහන්න ගත්තා.

“ඔයාට මොකද හිතෙන්නෙ නාට්‍ය ගැන?“

“මං තාම ඒ ගැන හිතන්න ගත්තෙ නෑ“

“ආහ්. ඒකෙ එච්චර හිතන්න දේවල් තියෙනවද?“

“මං මේ ඒ ගැන කල්පනා කරනවා“

අපි දෙන්නා අතර ගියේ ඔන්න ඔය වගේ සංවාදයක්. අර, තමන්ගෙ චිත්‍රපටයේ මංගල දර්ශනයට එන්න කියලා, ඒක බලලා සිනමාශාලාවේ දොරෙන් එළියට එද්දිම, 'චිත්‍රපටය ගැන අදහස් කියන්න' කියලා මයික්‍රොෆෝනය අල්ලන චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමේ මාධ්‍යකරුවනුයි, අපේ මායියයි අතර කිසි වෙනසක් නෑ. ඒත් මගේ කතා බහ ඒ ගැනම නෙවෙයි. කොහොම හරි ඒ කාලේ අපේ නාට්‍යකරුවාට තිබිච්චි දැක්ම මොකක් හෝ හේතුවකට පස්සෙ කාලෙ වෙද්දි ඇල්මැරිලා ගිහින්. ඒක එයාගෙ නාට්‍ය දැක්කම පේනවා. ඒ කියන්නේ ඒකෙ මං කැමති 'දේශපාලන දැක්ම' නැති බව නෙවෙයි. නාට්‍යයක් බැලුවත්, චිත්‍රපටයක් බැලුවත් මට ඒ ගැන ටිකක් හිතන්න ඕන. ඒ නිසාම ඒ ගැන අදහස් ක්ෂණිකව ඉදිරිපත් කරන්න මට බෑ. සමහරවිට එ්ක මගේ දුර්වලතාවක් වෙන්න ඇති. කොහොම හරි අර නාට්‍ය ගැන ටික දවසක් කල්පනා කෙරුවම මට දැනුණේ පැරණි වම ගැන, නාට්‍යකරුවාට තිබුණු ළෙංගතුකමත්, ඒකෙ දුර්වලතා ගැන විවේචනයත් එක්කම එයාටම කියලා දැක්මක් නොතිබීමත්, හරයාත්මක වශයෙන් කලා කෘතියක් විදිහට ඒක සරල සිල්ලර සටන්පාඨ පාවිච්චි කිරීමේ බලෙන් පුරුද්දන ගතියත්, පෙනෙන්නට වුණා. ඒත් මේ සංසිද්ධිය ආයෙම මට ඊයේ මහ දවල් සිහිපත් වුණෙ ඇයි? ඒ පරණ වාමාංශිකයෙකුව ඉඳලා 'හමුවෙන්න තවම හැකි කොමරේඩ්' කියලා, පොතක් ලියපු කැටිපෙගෙ පොත් එළිදක්වන මංගල්‍යයට සහභාගිවූ හින්දා. කොහොම හරි මේ සංසිද්ධි දෙක අතරේ සමාන හා අසමාන ලක්ෂණ මට පෙනෙන්න ගත්තා.

'වමට ආදරෙන් පොතේ නම වාමාංශික මුහුණුවරකින් ප්‍රකාශයට පත් කළාට, කැටිපේ දැනට කරන රස්සාවයි, එයා ට ප්‍රධාන ධාරාවේ දේශපාලනයට මුක්කු ගහන්නවීමේ කාරණයයි ඇත්ත ජීවිතය හැටියට තිබියදී, කලාවට විතරක් 'වාමාංශික දේශපාලන මුහුණුවරක්' දෙන්නට යාමත් පොඩි මාර්කටිං ගතියක් මිසක් වෙන දෙයක් නෙවෙයි‘ කියන අදහස මුහුණු පොතේ සැරිසරන්න ගත්තා. අනෙක් පැත්තෙන් 'වාමාංශික කන්‍යාභාවය බිඳ නොගෙන සමහර ප්‍රගතිශීලි වැඩවලට' මැදිහත්වීම් කරන්න බෑ. එහෙම නොකොට ලෝක සමාජවාදය එනතුරු වාද කර කර හිටියට වැඩක් නෑ. එහෙම මැදිහත්වී ප්‍රායෝගිකව වැඩකරන්න ගියාම ජීවත්වෙන්නයි, තව තව එක එක වැඩකරන්නයි‘ වෙන බව කියැවුණා. දැන් මේ කතා දෙකම සරල වගේ පෙනුණට සරලම නෑ. ඒ දෙක අතරේ දුරත් පුංචි නෑ.

“ඔයා ඇමතිතුමා ගාව රස්සාවට ගියොත් යාළුවෝ ඔයාට පලුයන්න ගහයි?“ මායියා, පහුගිය දවසක මට ඔහොම කීවේ, එක එක රස්සා වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ තොගයකට ගිහින්, රස්සාවක් ලැබුණේ නැති වුණාම ඇමතිවරයෙක්ගෙ කාර්ය මණ්ඩලයේ රස්සාවකට නම යෝජනා වෙලා තිබිච්චි වෙලාවකයි. මං, මායියගෙ අදහසකට මොකුත් කියන්න ගියේ නෑ. අර රස්සාවට ගියෙත් නෑ. ඒත් ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබුණා.

“ධනේශ්වර ලෝකයක 'සමාජවාදී රස්සා' කියලා ජාතියක් තියෙනවද?“

“ඉස්කෝලෙක ගුරු කමක්, බැංකුවක රස්සාවක්, එහෙමත් නැතිනම් ආණ්ඩුවේ කන්තෝරුවක ලිපිකාර වැඩක් වගේ දෙයක් කළොත්?“ සමහර යාළුවෝ මට යෝජනා කළා.

“දැන් මගේ වයසත් එක්ක, ඕවායේ පැළපදියම් වෙලා හැදෙන්න අමාරුයි“ මගේ අදහස වුණේ ඒකයි. ඒත් ඒ වගේ රස්සා මේ පාලනයට, ධනේශ්වර ක්‍රමයට උදව් කරන ඒවා නෙවෙයිද? ඒ ඉර ගහලා වෙන් කරන්නෙ කොතැනින්ද?

මේ ගැන කතා කෙරුවම, පෙට්ටිකඩේ කළු ජෙමා කියන්නෙත් මෙහෙම කතාවක්.

“මං වුණත් දවසේ ගතමනාව හොයාගන්න මේක කරනවා. මං කීයක් හරි ඉතුරු කරන්නේ බොහෝම සාධාරණව වෙළඳාම කරලා“ කළු ජෙමා කියනවා.

“අඩුවට අරන් වැඩියට දීලා, කීයක් හරි සාක්කුවේ දාගන්න එකේ තියෙන සාධාරණය මොකක්ද බන්?“ මං, උගෙන් එහෙම අහනවා තමයි. ඒත් ඒක උත්තරයක් නෙවෙයි.

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

Or log in with...