‘අම්මා’ අලුත් අර්ථ­යක් | දිනමිණ

‘අම්මා’ අලුත් අර්ථ­යක්

පාසල් ගේට්ටුව අද අතීතයට වඩා වෙනස් තැනකි. කලකට පෙර පාසල් ගේට්ටුව අසල සිටියේ පාසල් මුරකාරයා පමණි. කුඩා පාසල් අසල නම් ගේට්ටුව මුරකරන්නට හෝ කිසිවකු සිටියේ නැත. විවර කර තිබුණු ගේට්ටුවෙන් අවශ්‍යතාවකට පාසලට එන කෙනකු, දරුවකුගේ අධ්‍යාපනය හෝ වෙනත් ප්‍රශ්නයක් පිළිබඳව කතාබහ කරන්නට එන කෙනකු, පාසල අධීක්ෂණය කරන්නට එන අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරියකු හැර වෙනත් කිසිවකු පැමිණියේ නැත.

කාලය සමඟ බොහෝ දේ වෙනස් වෙයි. කාලයක් අසම්මත යයි සැලකුණු දේ පවා සම්මතය බවට පත්වෙයි. පසුගිය වකවානුව තුළ පාසල් ගේට්ටුව ද ශීඝ්‍ර වෙනස්කම්වලට බඳුන් විය. කියවන ඔබ බොහෝ විට පාසල් ගේට්ටු අසලින් ඔබේ එදිනෙදා අවශ්‍යතා සඳහා ගමන් කරන්නෙක් විය හැක. පාසල ආරම්භයේදීත්, ප්‍රාථමික පන්ති කාලය හමාර වන විටත්, පාසල හමාර වන්නට ආසන්න අවස්ථාවේදීත් බොහෝ දෙමාපියන් ගේට්ටුව අසල පිරී සිටිනු ඔබ දකින සුලභ දසුනක් විය හැක. මෙකියන දෙමාපිය ප්‍රජාව නියෝජනය කරන වැඩි දෙනෙක් කාන්තාවෝ ය. එබැවින් ගේට්ටුව අසල නිරන්තරයෙන් රැස් කන මෙකියන ප්‍රජාව හඳුන්වන්නට ‘අම්මලා’ යන වචනය භාවිත කරන්නට පාසල් ප්‍රජාවේ ඇත්තෝ හුරුපුරුදු වී සිටිත්.

පාසල් අසල රැස්කන බොහෝ මවුවරුන් දරුවා රැගෙන පාසල අසලට එන්නේ උදයෙන් ම ය. දරුවා පාසලේ පන්ති කාමරයට යැවූ පසු කිලෝමීටර ගණනක් ඈතින් ඇති නිවෙසට ගොස් ආපසු පැමිණීම කරදරයක් යයි සිතා ඔවුහු පාසල අසල නගරයේ ම තැන් තැන්වල සිටිත්. සමහරු කාන්තාවන් වෙළඳාම් කරන කුඩා වෙළඳසල් අසලට වී සිටිත්. සමහරු ඒ වෙළඳසල්වලට අත්උදව් දෙත්. කඩකාරියට ද අලාභයක් නැත. අම්මාවරුන්ට වෙළඳාම් කිරීමෙන් ඇගේ ලාභ තීරුව වැඩිවෙයි. ඊට අමතරව අලුත් ගනුදෙනුකාරියන් හඳුන්වාදීම ද අම්මාවරුන් වෙතින් සිදුවෙයි. ඇතැම් අම්මාවරුන්ට සවස් කාලය ද බොහෝ විට පාසලින් පිට ඊට ආසන්න පෙදෙසක දරුවා වෙනුවෙන් බලා සිටින්නට සිදුවේ. ඒ දරුවා අමතර උපකාරක පන්ති යැවීම සඳහා ය. සියලුම විෂයයන්ට දරුවන් පන්ති යැවීම සාමාන්‍ය පෙළ විභාගයේ දී ප්‍රාර්ථිත A 9 ලබාගැනීමට මහඟු පිටුබලයක් වෙති’යි කල්පනා කරන මෙවන් අම්මාවරුන්ට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ළමයින් විෂයයන් දොළහකට පමණ පන්ති යැවීම හා පාසල් යැවීම වෙනුවෙන් සිය මුළු දහවල් කාලය ම වැය කරන්නට සිදුවේ. ඉතින් ඒ අතරතුරේ වැළඳෙන අට අනූවක් රෝග හා නව අනූවක් ව්‍යාධිවල කෙළවරක් නැත. එක්කෝ සීට්ටු ය. නැත්නම් අනුන්ගේ ණය සඳහා ඇපවීම් ය. තව අතෙකින් ගේට්ටුව අසල හමුවූ හිතාදර යෙහෙළියකට දන්නා හඳුනන තැනකින් පොළියට මුදල් රැගෙන දී ඇතිවූ ප්‍රශ්න ය. නැත්නම් අම්මාවරුන්ගේ සමාජයට ඇතුළු වූ කපටි එකියක හැමෝගෙන් ම ණයතුරුස් ගෙන ආපසු නොගෙවීමෙන් ඇතිවන පොලිසිය දක්වා ම යන ප්‍රශ්න ය. අසම්මත පෙම් සබඳතා මෙවන් කුඩා සමාජ තීරුවල පහසුවෙන් ගොඩනැගෙයි. ඉතින් ඒ වෙනුවෙන් කුඩා සමාජ තීරුවේ ම රසවත් කටකතා ය. අවසන ඇතිවන ආරවුල් ය. නඩු අනඩු ය. කෙළවර පවුල් සංස්ථාවේ බිඳවැටීම් ය. මෙකියන අම්මාවරුන්ගේ සමාජය විසින් සමාජයට දායාද කරන ලද යහපත් ඵලවලට වඩා අයහපත් ඵල බොහෝ ය.

මෙසේ ගේට්ටු අසල රැස්වන අම්මාවරුන්ගේ සමාජය පාසල සම්බන්ධ බොහෝ කටයුතු සඳහා, වෙසෙසින් ම එහි වැදගත් හා එතරම් වැදගත් නැති තීරණ සඳහා බොහෝ සෙයින් බලපෑම් කරන කණ්ඩායමක් බවට පත්ව ඇත. මීට අවුරුදු පහළොවකට පෙර සේවයට වාර්තා කරන්නට කලින් මම මගේ දරුවා රැගෙන මා සේවය කළ පාසලේ ම ප්‍රාථමික අංශයේ අදාළ පන්තියට ගියෙමි. (ඒ කාලයේ දී ද අම්මාවරුන්ගේ සමාජය එක්තරා දුරකට ගොඩනැගී තිබිණි.) අම්මා කෙනෙක් වෙනත් කුඩා දරුවෙකුගේ පුටුවක් රැගෙන තම දරුවාට වාඩිවෙන්නට දෙයි.

“ඇයි ඒ ළමයගෙ පුටුව ගත්තෙ? ඒ ළමය වාඩිවෙන්නෙ කොහෙ ද?”

එම පාසලේ ම ගුරුවරයකු වීමෙන් ලද පුංචි හයියක් ඇති මම ප්‍රශ්න කළෙමි.

“ මගේ ළමයට පුටුවක් නෑ.” අර අම්මා නුරුස්නා හඬින් කීවා ය.

“ ඔයාගෙ ළමයට පුටුවක් නැත්නම් පුටුවක් සොයල දෙන්න. ඔයාගෙ ළමයගෙ වයසෙ ම තව ළමයෙකුගෙ පුටුව උදුරන්න එපා.”

මම දැඩි හඬින් කීමි. මුහුණ නරක් කරගත් කාන්තාව ඉවතට ගියා ය.

“එයාට මොකට ද? ඉහළ පන්තිවලට උගන්නන අය මොකටද මෙව්වට අතදාන්නෙ. මේවා බලන්න ටීචල ඉන්නව. ටීචලට උදව් කරන්ට අපි ඉන්නව.” වැනි හැඟීමක් ඇගේ බැල්මේ විය.

එදවස ප්‍රාථමික පන්තියේ සිය බල පරාක්‍රමය පතුරා සිටි අම්මාවරුන්ගේ සමාජය අද එකේ සිට සාමාන්‍ය පෙළ දක්වා ප්‍රබලව ද උසස්පෙළ දී සාමාන්‍යයෙන්ද ක්‍රියාත්මකව ඇත.

“තේරුමක් නැතිවත් හවස පන්ති කරන්ට වෙලා. අම්මලගෙන් බේරෙන්ට බෑ. බාහිර වැඩක් ළමයින්ට කරනවටත් අම්මල කැමති නෑ.” මෙවන් වචන කියන 6 -9 ශ්‍රේණිවලට උගන්වන ගුරුවරියන් මට බොහෝ විට හමුවී ඇත.

“අපේ ළමයින්ගෙ පන්තියට මේ පීරියඩ් එකට උගන්වන්ට කෙනෙක් නෑ. කවුරුහරි දාන්ට.” යනුවෙන් අණ කරමින් විදුහල්පතිවරයා කෝපගැන්වූ අම්මා කෙනෙක් පිළිබඳව ද මෑතක දී අසන්නට ලැබිණි.

බාහිර පුහුණුකරුවන් සමඟ එක්වී ළමයින්ගෙන් මුදල් එකතු කරන අය, ගුරුවර ගුරුවරියන්ට ත්‍යාග සඳහා මුදල් එකතු කොට ඔවුන්ගේ සිත් දිනාගෙන එය සිය දරුවාට අනිසි වාසි ලබාදීම සඳහා උපයෝගී කරගන්නා අය ආදී වශයෙන් අම්මාවරුන්ගේ සමාජයේ කුප්‍රකට ක්‍රියා පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ බොහෝ කලක සිට ය.

අධ්‍යාපනය සහ එහි ක්‍රියාකාරකම් තීරණය විය යුත්තේ අධ්‍යාපන විශේෂඥයන්ගේ තීන්දු තීරණ මත මිස ගේට්ටුව නියෝජනය කරන අම්මාවරුන්ගේ අදහස් උදහස් මත නොවේ. නිවැරදි තීන්දු නොගන්නේ නම් පමණක් ඊට නීත්‍යනුකූලව එරෙහි වීමේ අයිතිය දෙමාපියන් සතු ය.

‘අම්මා’ යන්නෙහි අර්ථය දරුවන් බිහි කොට හදා වඩා ගන්නිය යන්නයි. අද නම් ඊට අමතර අර්ථයක් එක් විය යුතු ය. ඒ ‘දරුවන් වෙනුවෙන් පාසල්, ළදරු පාසල්, අමතර පන්ති අසල ගැවසෙන්නිය’ යන්නයි.

 මහානාම දුනුමාල


නව අදහස දක්වන්න

Or log in with...