දැලි පිහි­යෙන් කිරි­කෑම | දිනමිණ

දැලි පිහි­යෙන් කිරි­කෑම

අද ස්මාට් ෆෝන් භාවිතය ලෝක න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම ස්මාට් ෆෝනය වත්මන් ලෝකයේ ජීවත් වීම සඳහා අවශ්‍ය කෙරෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ අතර එකක් බවට පත් වී තිබෙනවා. මෙයට හේතුව හැටියට සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නෙ වත්මන් ජන ජිවිතයේ ඇති වී තිබෙන සංකීර්ණබව හා කාලය කළමනාකරණය කරගැනීමේ දැඩි අවශ්‍යතාව මෙසේ එම භාණ්ඩය ජීවිත පැවැත්ම උදෙසා නැතිවම බැරි අංගයක් බවට පත් වී ඇති බවයි. එහෙත් ස්මාට් ෆෝනය හේතුවෙන් ජන ජීවිතයේ අවුල් වියවුල් තවත් වැඩි වී සමාජය ආපස්සට ගමන් කරමින් සිටින බවකුයි ඇතැම් සමාජ විශ්ලේෂකයන් පවසන්නේ. විශේෂයෙන්ම ආගමික නායකයන් හා සුචරිතවාදීන් මේ තත්ත්වය දකින්නේ මිනිස් සමාජයේ පරිහානියට තුඩු දෙන සමාජ ප්‍රවණතාවක් ලෙසයි. දිනෙන් දින වර්ධනය වන අපරාධ, ස්ත්‍රී දූෂණ හා සැලසුම්සහගත මංකොල්ලකෑම් ආදි සමාජ විරෝධි කාර්යයන් සඳහා මේ උපකරණය මනා පිටිවහලක් වී ඇතැයි ඉහත කී කණ්ඩායම් චෝදනා කරන්නේ කලක සිටයි.

මිනිසා ගින්දර සොයාගත් යුගයේ පටන්ම මිනිස් අතින් සිදු වන හැම නිර්මාණයක්ම පාහේ සුදු හා කළු දෙපැහැයම පිළිබිඹු කළ බව රහසක් නෙවේ. ගින්දර හොඳ වහලෙක් වගේම නරක ස්වාමියෙක්ය කියන කියමන නිර්මාණය වුණෙත් ඒ නිසාම විය යුතුයි. ඩයිනමයිට් සොයාගත් ඇල්ෆ්‍රඩ් නොබෙල් එය මිනිසාගේ විනාශයට යොදාගැනීමට අපේක්ෂා කළේ නැහැ. ඒත් පසු කාලයක හානිකර පුපුරණ ද්‍රව්‍යයක් වශයෙන් යොදාගැනීමට මිනිසා පෙළඹුණා. ලෝක ප්‍රකට නෝබල් ත්‍යාග අරමුදල බිහි වන්නේ ඩයිනමයිටය මගින් ඉපයූ මහා ධනස්කන්ධය ලෝකයේ යහපත වෙනුවෙන් යෙදිය යුතු යන සංකල්පයේ ප්‍රතිඵලයක් හැටියටයි. හැම අඳුරු වලාවලම රිදී රේඛාවක් තියෙනවාය කියා මිනිසුන් අතර ප්‍රචලිතව තිබෙන කියමනේ සත්‍යතාව මෙමගිනුත් තහවුරු වෙනවා.

මුලින් ගඩොල් කැටයක් තරමට ලොකුවට නිර්මාණය වුණු ජංගම දුරකතනය මේ වන විට පුංචි චොකලට් පෙත්තකටත් වඩා කුඩා වී තිබෙන බව අපි දන්නවා. ප්‍රමාණයෙන් එතරම් කුඩා වුණත් ගුණාත්මකබව අතින් එය විශ්මිත පරිවර්තනයකට බඳුන් වී ඇති සැටි අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. තවත් අවුරුදු කීපයකට පසුව එය කවරාකාරයේ පරිවර්තනයකට ලක් වෙයිද කියනඑක විශ්වකර්මයාටවත් හිතාගන්න බැරිව ඇති. කොහොම නමුත් සමස්ත සන්නිවේදන ක්ෂේත්‍රයේම විප්ලවීය වෙනසක් ඉදිරි කෙටි කාලය ඇතුළත සිදුවීම නම් අනිවාර්යයි. ස්මාට් ෆෝනයේ ගුණාගුණ ගැන අපට කතා කිරීමට සිදු වන්නේ නුදුරු අනාගතයේ ඇති විය හැකි එවැනි විපර්යාසයන්ද සිහි තබාගෙන බව අමතක නොකළ යුතුයි.

ස්මාට් ෆෝනය මේ වන විට සමස්ත ලෝකවාසීන් විසින් කෙතරම් ආදරයෙන් වැළඳගෙන තිබෙනවාද කීවොත් එය භාවිත කරන ජනයා වෙනුවෙන් වෙනම මංතීරු පවා නිර්මාණය කිරීමට ඇතැම් රටවල් පියවර අරං. ජංගම දුරකථන නිෂ්පාදනය වගේම පරිභෝජනය කිරීම අතින්ද ලොව ප්‍රමුඛස්ථානයක වැජඹෙන රටක් වන චීනය මේ සඳහා කදිම උදාහරණයක්. එහි ප්‍රකට නගරයක් වන ෂි අන්වල යන්තා නම් වීදියේ රතු, කොළ හා නිල් වර්ණ ආලේප කළ විශේෂ මංතිරුවක් ස්මාට් ෆෝන් භාවිත කරන මගීන් වෙනුවෙන් තනා ඇති බව වාර්තා වෙනවා. එම මංතිරුව මත ස්මාට් ෆෝන් පින්තාරු කර කර ඇති අතර එම දුරකථන පරිහරණය කරන්නන් පමණක් ඒ මංතීරුවේ ගමන් කරන බවක්ද කියවෙනවා. මේ මංතිරුව ඉතා ජනප්‍රිය වී ඇති අතර ඒ පිළිබඳව චීනයේ “ද පේපර්” පුවත් පත කළ ජනමත විමසුමකදී එක් වැඩිහිටියෙක් මෙසේ පවසා තිබුණා.

“දැන් කාලේ තරුණ ජනයාගේ ජීවිත ඉතා වේගවත්. ඔවුන් නිතරම ජංගම දුරකථන දිහාට ඇස් හරවගෙනයි ඉන්නේ. මේක අපේ හිතට ලොකු සහනයක්. ඒ වගේම හොඳ ආරක්ෂාකාරි පියවරක්.”

මේ අතර ලෝකයේ පරිසරවේදී හා වනසතුන් සුරැකීමේ සංවිධාන ගණනාවක් ස්මාට් ෆෝන් තාක්ෂණය පරිසරය හා වනසතුන් ආරක්ෂා කරගැනීම සඳහා යොදාගැනීමට පියවර අරං. මේ කාර්යයේ ඉදිරියෙන්ම සිටින සංවිධානයක් ගැන ආරංචි ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්. “මැරොන්ගා ඕස්ට්‍රේලියා සංරක්ෂණ ආයතනය” හා “ට්‍රැෆික්” නම් අනවසර වනසතුන් ජාවාරම වැළැක්වීමේ ව්‍යාපාරය ඒකාබද්ධ වී අරඹා ඇති මේ වැඩසටහනට ස්මාට් ෆෝන් භාවිත කරන්නන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙන බවයි කියවෙන්නේ. වන සංරක්ෂණ නිලධාරින්ට පරිසර විනාශ කරන්නන් හා වනසතුන් නසා දමන්නන් පිළිබඳ ඡායාරූප හා තොරතුරු සපයන ලෙස මෙම දුරකථන භාවිත කරන්නන්ගෙන් ඉහත සංවිධානය කළ ඉල්ලීමට තරුණ ජනයාගෙන් ලැබෙමින් තිබෙන සහයෝගිතාව ඉතාම දිරිගන්නාසුලූ බව එම සංවිධනය මහත් සතුටින් ප්‍රකාශ කර තිබෙනවා. මේ ආකාරයට එංගලන්තයේ “වෙස්ටර්” හා අමෙරිකාවේ “සන්ඩියාගෝ” නම් සංවිධානද සිය කලාපවල වැඩ අරඹා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

මේ වන විට නීති විරෝධී වන සතුන් ජාවාරමේ නියැළෙන්නන් වාර්ෂිකව උපයන ආදායම ස්ටර්ලින් පවුම් බිලියනය ඉක්මවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව පෙනී යන්නේ. දුර්ලභ සත්ත්වයෙක් වන රයිනෝගේ අඟ ඉතා වටිනා අතර එහි කිලෝවක මිල අමෙරිකන් ඩොලර් 6500 ඉක්මවන බවත් ඒ වාර්තා තවදුරටත් පෙන්වා දෙනවා. මෙය ලොව ඉතා වටිනා ද්‍රව්‍ය වන රත්තරන් හා ප්ලැටිග්නම් වලටත් වඩා ඉහළ මිලක්. ඒ වගේම බෙයිජිං නුවර ඇත් දළ කිලෝ එකක මිල අමෙරිකන් ඩොලර් 2200ක් පමණ වන බව හෙළි කර සිටින්නේ බ්‍රිතාන්‍යයේ “චැතම් හවුස් ” නම් බුද්ධි මණ්ඩලයයි. මේ අතර අද ලෝකයේ සිදුවෙමින් පවතින හැම හොඳ නරක දේකටම නම ඈඳෙන චීනය දෙසට දුර්ලභ වන සතුන්ගේ අවයවවලින් කෙරෙන නිෂ්පානවලට විශාල වෙළඳ පොළක් නිර්මාණය කර තිබීම ගැන ලෝකයේ බොහෝ පරිසරවේදීනගේ ඇඟිලි දිග් වී තිබෙනු දකින්න ලැබීමත් දැඩි කනස්සල්ලට හේතුවක්.

වත්මන් ලෝකයේ ජනමාධ්‍යවල වැඩිම අවධානය දිනා තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම හා අනවසර සංක්‍රමණිකයන් ප්‍රවාහනය වැනි මාතෘකා පමණයි. ඒත් මාධ්‍යයේ ඇස්වලින් වසං වී තිබෙන මෙවැනි නව ජාවාරම් අනාගත ලෝකයට මහත් තර්ජනයක් වන බවයි ජගත් සංවිධානය දැඩි ලෙස අවධාරණය කරන්නේ. ගිනිකොණ දිග ආසියාව මේ අතින් ඉතා නරක තත්ත්වයක පසු වන බවත් ඒ වාර්තා අනුව පෙනී යනවා. මහපොළවේ වෙසෙන දුර්ලභ සත්ත්ව වර්ගයා කෙරෙහි උනන්දුවක් දක්වන මිනිසුන් ඔවුන් සුරක්ෂා කරනු පිණිස සන්නිවේදන තාක්ෂණයේ නව මෙවලම් නිර්මාණශීලී ලෙස යොදාගනිමින් අරඹා ඇති වැඩපිළිවෙළ කෙරෙහි අපිද නොපමාව අවධානය යොමු කළ යුතුයි.

නුතන සන්නිවේදන තාක්ෂණය පැත්තෙන් ඉතා දියුණු මට්ටමක සිටින රටක් හැටියට අපිත් අපේ රටේත් ජනසමාජයේත් සුබසෙත වෙනුවෙන් එම තාක්ෂණය යොදාගැනීම ගැන සිතිය යුතු කාලය එළඹි තිබෙනවා. ස්මාට් ෆෝන් තාක්ෂණය යොදාගනිමින් අපේ තරුණයන් දැනටමත් විවිධ සමාජ මෙහෙවර නිරතව සිටින සැටි දකින්න පුළුවන්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුන් දක්වන දස්කම් ඉතා ආකර්ෂණීයයි. සෙල්ෆි ගහන්නට ගොස් දුම්රියට බිලි වීම්, ප්‍රපාතවලට ඇදවැටීම් වැනි දුක්මුසු පුවතුත් ඒ අතරතර අහන්න ලැබෙනවා. ඒ වගේම මුහුණු පොත වැනි ජනප්‍රිය මාධ්‍ය වැරදි ලෙස යොදාගනිමින් කෙරෙන අමනෝඥ වැඩ ගැනද නිතර නිතර අහන්න ලැබෙනවා. මේවා හැඳින්වීමට සිද්ධ වෙන්නේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වැනි ජන කියමන් මගිනුයි.

කෙසේ වෙතත් අපේ සමාජයේ ස්මාට් ෆෝන් වැනි මෙවලම් භාවිතය අදටත් හැඳින්වීමට සිදු වෙන්නේ දැලි පිහියෙන් කිරි කෑමක් හැටියටයි. එය ප්‍රවේසමෙන් ප්‍රයෝජනයට නොගත්තොත් පුද්ගලයාට මෙන්ම සමාජයටත් අවැඩක් මිස යහපතක් සිද්ධ වෙන්නෙ නැහැ. සාක්ෂරතාව හෙවත් අධ්‍යාපනය වැදගත් වන්නේ මෙතැනදියි. නව සන්නිවේදන මෙවලම් අර්ථවත් ලෙස භාවිත කිරීම මගින් තමන්ට මෙන්ම අවට සමාජයටත් අත්කර දිය හැකි විපුල ප්‍රයෝජන පාසල් දරුවන්ගේ සිට වැඩිහිටි පරපුර දක්වා ඉගැන්වීමේ ජාතික මට්ටමේ වැඩ සටහනක් නොපමාව ඇරඹි යුතු බව ජගත් සංවිධානය හෝ වෙනත් කවුරු හෝ පෙන්වා දෙන තුරු අප කල්මැරිය යුතු නැහැ නේද?

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...